රනිල් අගමැති පුටුවේ සිටින තුරා බැඳුම්කර සිද්ධියට සාධාරණයක් ඉටුවේද සැකයි

  👤  3471 readers have read this article !
By mawbima 2018-01-23

බැඳුම්කර සිද්ධියට අදාළ ඉදිරි කටයුතු සිදුකළ යුත්තේ අපරාධ නීතිය යටතේ බව ජනාධිපතිවරයා පැවැසූ නමුත් බැඳුම්කර වාර්තාව ලබාදී ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුවේ සිවිල් නීති අංශයට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පිරීස් මහතා අවධාරණය කරයි.
බැඳුම්කර වංචාවට වගකිව යුත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එ.ජා.ප.ය මිස තමන් නොවෙයි යන තර්කය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා සිදු කරනුයේ අලියාට වැටෙන ඡන්ද බුලත් කොළයට දමාගැනීමට උත්සාහ කිරීමක් බවද ඔහු සඳහන් කළේය.

ඊයේ (22දා) බත්තරමුල්ල, නෙළුම් මාවතේ පැවැති

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් මෙසේද කීය.
"අගමැතිවරයා බැඳුම්කර වංචාව වසන් කිරීමට උත්සාහ ගත්තේ නැහැ කියලා කිසිවෙක් විශ්වාස කරයිද, ඔහු මුල සිට මේ සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග දෙස බැලූවිට. තමන්ගේ බලය සහ රජයේ තනතුර රනිල් වික්‍රමසිංහ මහතා කිසිම පැකිළීමකින් තොරව පාවිච්චි කරනවා. මේ සම්පූර්ණ ගනුදෙනුව වසන් කිරීමට. මේ උත්සාහය තවමත් නැවතිලා නැහැ. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ඒ තනතුරේ සිටිනතාක් මේ සම්බන්ධයෙන් ස්වාධීන, රටට පිළිගන්න පුළුවන් විමර්ශනයක් කෙරෙන්නේ නැහැ කියලා අපට හිතෙනවා. කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කිසිම අවංක උත්සාහයක් ගන්නේ නැහැ රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එම නිලයේ සිටිනතුරු. ඔහු පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව පාලනය කරනවා. විගණකාධිපති ගෙන්වලා ඔහුට ‍ෙදාස් පවරනවා.

දැන් සිදුවන්නේ කුමක්ද නීතිපති දෙපාර්තමේන්තුව තුළ. දප්පුල ලිවේරා සහ යසන්ත කෝදාගොඩ මහත්වරුන් බැඳුම්කර කොමිසමෙන් සාක්‍ෂි ලබා ගන්නා අවස්ථාවේදී දේශපාලන බලපෑම්වලට යටත් නොවී තමන්ගේ කාර්යභාරය ඉටු කළා. බැඳුම්කර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ කර්තව්‍යයෙන් ඒ දෙදෙනා සම්පූර්ණයෙන්ම ඉවත්කර තිබෙනවා. එය භාර දීලා තිබෙනවා නීතිපති දෙපාර්තමේන්තුවේ සිවිල් අංශයට. වත්මන් නීතිපති ජයන්ත ජයසූරිය මහතා එම නිලය භාර ගැනීමට පෙර වැඩබලන නීතිපති සුහද ගම්ලත් මහතා ඉතාමත් පැහැදිලිව ප්‍රකාශ කර සිටියා අපරාධ නීතිය යටතේ මේ සඳහා ක්‍රියාකළ යුතු බව.

හැබැයි ජයන්ත ජයසූරිය මහතා නීතිපති තනතුරට පත්වූ වහාම එය වෙනස් කළා. අපරාධ නීතිය නොවේ සිවිල් නීතිය පමණයි මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන්න ඕනේ කියන ස්ථාවරයේ තමයි අභිනව නීතිපතිවරයා සිටින්නේ. ඊට පටහැනි ප්‍රකාශයක් ජනාධිපතිවරයා විසින් සිදුකළා. ඔහු කියන්නේ සිවිල් නීතිය ක්‍රියාත්මක කරනවට එතුමා සම්පූර්ණයෙන්ම විරුද්ධයි. අපරාධ නීතිය යටතේ දඬුවම් කිරීම ජාතික අවශ්‍යතාවක් කියලා සිරිසේන ජනාපතිවරයා ප්‍රකාශ කළා. නමුත් ඔහු එලෙස ප්‍රකාශ කළාට එය ක්‍රියාත්මක වන්නේ නැහැ.

ඕනෑම රටක මෙවැනි දෙයක් සිදු වූ විට කොමිෂන් සභාව මඟින් ලබාදෙන නිර්දේශ ඒ අයුරින්ම ක්‍රියාත්මක කරනවා. මෙම වංචාවේ සියලු වගකීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එ.ජා.ප.යට පවරලා ජනාධිපතිවරයා නිදහස් වෙන්න දරන උත්සාහයට කිසිම පදනමක් නැහැ. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා වගේම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාත් මෙයට සම්පූර්ණයෙන්ම
වග කියන්න ඕන.

අර්ජුන මහේන්ද්‍රන්ව පත් කළේ ජනාධිපතිවරයා. ඒ පත්වීම කරද්දී ජනාධිපතිවරයා දැනගෙන හිටියා මොහු ලංකාවේ පුරවැසියකු නොවන බව. ජනාධිපතිවරයා ප්‍රහාරාත්මක වචන භාවිත කරමින් කඩුව ගැන කතා කරනවා. හැබැයි අපිට කිසිම ක්‍රියාවක් පෙනෙන්නේ නැහැ.

කොමිෂන් සභා වාර්තාව ජනාධිපතිවරයාට භාරදුන්නේ 2017.12.31. පාර්ලිමේන්තුවට යැව්වේ දින 18කට පසුව. මොකක්ද මේක හංගන්න තිබෙන අවශ්‍යතාව. ප්‍රශ්නයක් මතුවෙලා තිබෙනවා පාර්ලිමේන්තුවට යැව්වේ හරි වාර්තාවද එහි යම් යම් කොටස් අඩුවෙලා තිබෙනවාද කියලා. සිරිසේන මහතාට ඉදිරිපත් කළ වාර්තාව මුලින්ම යැව්වේ රවි කරුණානායකට, අර්ජුන මහේන්ද්‍රන්ට, අර්ජුන් ඇලෝසියස්ට. මෙහෙමද හොරු අල්ලන්නේ. බෙරිහන් දෙනවා මම මේ අයව නරකාදියට යවනවා කියලා. හැබැයි හොරුන්ට තමයි මුලින්ම බැඳුම්කර වාර්තාව ලබා දුන්නේ.

ඉෂාරා සිල්වා

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon