රජගෙදර කවට අන්දරේ තමයි බැඳුම්කර වංචාවේ මහ මොළකරු

  👤  3927 readers have read this article !
By mawbima 2018-01-23

රජ ගෙදර කවට අන්දරේ ලෙස හැසිරෙන රනිල් වික්‍රමසිංහ බැඳුම්කර වංචාවේ මහ මොළකරුවා ලෙස තවදුරටත් අගමැති ධුරයේ කටයුතු කිරීම සදාචාර සම්පන්න නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි පියසිරි විජේනායක පවසයි.
හොරුන්ට දඬුවම් කිරීමට ජනාධිපතිවරයා තනිව සටනක් ගෙන යන බවත් එහිදී එජාපය, ජනතා විමුක්ති පෙරමුණ සහ ඒකාබද්ධ විපක්ෂයේ සියලු දෙනා ඔහුට විරුද්ධව කටයුතු කරන බවත් හෙතෙම පැවැසීය.

අගමැති රනිල් වික්‍රමසිංහ හැර ලංකා ඉතිහාසයේ අගමැති තනතුර මේ තරම් බාල්දු කළ පුද්ගලයෙක් තවත් නොවන බවද ඔහු සඳහන් කළේය.
ඊයේ (22දා) කොළඹ පදනම් ආයතනයේදී සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කෙළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පියසිරි විජේනායක
ඩී.එස්. සේනානායක හිටියා. ඩඩ්ලි සේනානායක හිටියා. බණ්ඩාරනායක මැතිනිය හිටියා. දහනායක මහතා හිටියා. ප්‍රේමදාස මහතා හිටියා. මහින්ද රාජපක්ෂ මහතා හිටියා. නමුත් ලංකා ඉතිහාසයේ අගමැතිකම මේ තරම් බාල්දු කරපු පුද්ගලයෙක් තවත් නැහැ.

අගමැතිවරයා බැඳුම්කරය සම්බන්ධයෙන් බොරු ප්‍රකාශ කරලා, කරලා දැන් බැඳුම්කරය හත්පොළේ ගාගෙන තියෙන්නේ. ජනාධිපතිවරයා අද තනියම මේ සටන කරන්නේ.
අපි දැක්කා සුනිල් හඳුන්නෙත්ති මහතා මේ චෝදනාව සම්බන්ධයෙන් අගමැතිවරයාට තියෙන බරපතළකම අඩු කරන්න කියනවා. මහ බැංකුවේ අධිපතිව පත් කළේ ජනාධිපති කියලා. නිර්දේශ කළේ අගමැතිවරයා ජනාධිපති තමයි පත්වීම දුන්නේ.
දැන් මේ වෙනකොට බැඳුම්කර හොරුන්ව රකින්න නඩයක් බිහි වෙලා ඉන්නවා. ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ බැඳුම්කර හොරු ආරක්ෂා කරනවා. ඒකාබද්ධ විපක්ෂයෙ කතා කරන්නේත් බැඳුම්කර හොරු ආරක්ෂා කරන්න.

ඉතිහාසයේ පළමුවැනි වතාවට ජනාධිපතිවරයෙක් පත් කරපු කොමිසම් වාර්තාවක් ජනතාව හමුවේ තිබ්බා. අපි අහනවා බටලන්ද කොමිසමේ වාර්තාව ආවා. මහින්දගේ කාලේවත්, චන්ද්‍රිකාගේ කාලේවත් ඒකට දඬුවම් කළේ නැහැ. ඊට කලින් ජේ.ආර්. ජයවර්ධනගේ කාලේ කොමිසම් තිබුණා.
ඒ එක කොමිසම් වාර්තාවක්වත් මාධ්‍යවලින්වත් දැකලා නැහැ. ලංකා ඉතිහාසයේ ජනාධිපතිවරයෙක් විදියට පළමු වතාවට ජනාධිපතිවරයා පත් කරපු කොමිසම් වාර්තාව එළියට දාලා පාර්ලිමේන්තුවට දීලා ජනාධිපතිවරයා නිර්දේශ කරනවා. නීතිපතිට පවරනවා වහාම අධිකරණ ක්‍රියාමාර්ග ගන්න කියලා.

ජනාධිපතිවරයා මේ වෙනකොට තනි සටනක ඉන්නේ. ජනාධිපතිවරයාට විරුද්ධව තමයි සියලු දෙනාම ඉන්නේ. එජාපය, ජනතා විමුක්ති පෙරමුණ, ඒකාබද්ධ
විපක්ෂය, විමල් වීරවංශගේ කට්ටිය, ගම්මන්පිල ඇතුළු පිරිස මේ සියලු දෙනාම ජනාධිපතිවරයාට විරුද්ධයි. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ඉතිහාසයේ දැවැන්තම කාර්ය භාරයක් ඉටු කළා. පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායකයට අද වගකීමක් තියෙනවා ජනාධිපතිවරයා සමඟ එකතු වෙලා මේ හොරුන්ට දඬුවම් කිරීමේ කාර්යයට සහාය දෙන්න.

රජගෙදර අන්දරේ තමයි රනිල් වික්‍රමසිංහ කියන්නේ. පාර්ලිමේන්තුවට ඇවිල්ලා විශේෂ ප්‍රකාශ කරලා විහිළුකාරයෙක් වෙලා තියෙනවා. නටනවා. කෑ ගහනවා. අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලනවා වහාම අගමැතිවරයාව ධුරයෙන් ඉවත් කරන්න කියලා. රවිව අස් කළා වගේ ඒ ආදර්ශයම අගමැතිවරයා 23 වැනිදාට පාර්ලිමේන්තුවේදී ධුරයෙන් ඉල්ලා අස්වෙලා පසුපස ආසනයක වාඩි වෙලා පෙන්නන්න කියලා අපි කියනවා. අගමැති ඉල්ලා අස් වෙන්නේ නැත්නම් මේ රටේ ජනතාව ජනතා බලවේග එකට අත්වැල් බැඳගෙන අගමැතිවරයා වහාම ඉවත් කිරීමට පෙළ ගැසිය යුතුයි. අපි මේ රටේ මවුවරුන්ගේ, පියවරුන්ගෙන් දරුවන්ගෙන් ඉල්ලනවා ජනාධිපතිවරයාගේ දෑත් ශක්තිමත් කරලා මේ හොරකම් කරපු මුදල් නැවත අය කරගන්න ජනාධිපතිවරයාට සහාය දෙන්න කියලා.

උදයන්ති මුණසිංහ
ඡායා - තිළිණ ප්‍රනාන්දු

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon