රජයේ සේවකයන්ට සාකච්ඡාවක් හෝ ලබා නොදෙන හවුල් ආණ්ඩුවට ඡන්දය දීමෙන් වැළකෙන්න

  👤  3643 readers have read this article !
By mawbima 2018-01-23

රාජ්‍ය සේවකයාගේ ප්‍රශ්නයක් කතා කර ගැනීමට හෝ අවම තරමින් සාකච්ඡාවක් ලබාදීමට නිහතමානී නොවන ආණ්ඩුවට මෙවර ඡන්දය ලබාදීමෙන් වැළකෙන්නැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලීමක් කරයි.

ලේකම්වරයා පැවසුවේ මෙවර ඡන්දයට පක්ෂ හතරක් ලෙස පෙනී සිටින නමුත් සැබැවින්ම තරග වදින්නේ පක්ෂ 2ක් බවත් එකක් රාජ්‍ය සේවා අයිතීන් කප්පාදු කරන ශ්‍රීලනිප, එජාප හා ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමත් අනෙක් පක්ෂය රාජ්‍ය සේවාව වෙනුවෙන් සටන් වදින ජනතා විමුක්ති පෙරමුණ බවත්ය.
එම නිසා මෙවර තම ඡන්දය භාවිත කිරීමේදී එකී කරුණු සැලකිල්ලට ගෙන ඡන්දපොළට යා යුතු බව ඒ මහතා නැවත වරක් ඉල්ලා සිටියේය.
එදා චන්ද්‍රිකා, මහින්ද, රනිල් කණ්ඩායම් තුන වරින් වර රාජ්‍ය සේවය දියකර හැරීමටත් කප්පාදු කිරීමටත් කටයුතු කළ බව කී ඒ මහතා චෝදනා කළේ මෙදා මෛත්‍රි - රනිල් හවුලද සුපුරුදු පරිදි රාජ්‍ය සේවාව පෞද්ගලීකරණය කරමින් සිටින බවටය.

විදුලි බල මණ්ඩලය කොටස්වලට කැඩීමට ගත් උත්සාහයේදීත්, ඛනිජතෙල් සංස්ථාව, හම්බන්තෙට වරාය, දුම්රිය දෙපාර්තමේන්තුව, ලංගම, රේගුව, සුරාබදු හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීමට දැරූ සෑම උත්සාහයක්ම ව්‍යර්ථ වූයේ ජවිපෙ වෘත්තීය සමිතිවල මැදිහත්වීම නිසා බවද හෙතෙම වැඩිදුරටත් පැවැසුවේ ඊයේ (22දා) පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදීය.
වැඩ කරන ජනතාවට තෝරාගන්න තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ පමණයි. රනිල් වික්‍රමසිංහට, මෛත්‍රිපාල සිරිසේනට, මහින්ද රාජපක්ෂට රාජ්‍ය සේවකයන්ගෙන් ඡන්ද ඉල්ලන්න අයිතියක් නැහැ.

රාජ්‍ය සේවකයන්ට හිමි විශ්‍රාම වැටුප ආණ්ඩුව විසින් ගෙවිය යුතු දෙයක්. නමුත් මේ ආණ්ඩුව වියදම් අඩු කරගන්න කියලා විශ්‍රාම වැටුප කප්පාදු කරන්න යෝජනාවක් ගෙනාවා. 2002 සිට විශ්‍රාම වැටුප කප්පාදු කරන්න උත්සාහ කරමින් තිබුණා. 2016දී අය වැය යෝජනාවක් ලෙස එය ගෙනාවා. රනිල් - මෛත්‍රි ආණ්ඩුව අලුත් පනතක් ගෙනැල්ලා අලුතින් රාජ්‍ය සේවයට ඇතුළුවන සේවකයාගේ විශ්‍රාම වැටුප අහෝසි කළා. ඒ නිසා රාජ්‍ය සේවය දියකර හරින්න උත්සාහ කරපු පාලකයන්ට රාජ්‍ය සේවකයන් ඡන්දය දිය යුතු නැහැ. ඔවුන් ඡන්දය ලබාදිය යුත්තේ රාජ්‍ය සේවය, රාජ්‍ය සේවකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න සටන් කරපු ජනතා විමුක්ති පෙරමුණටයි.
2015 වැටුප් වැඩිවීමෙන් පස්සේ ජීවන අංක දීමනාවට අනුව රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවෙලා නැහැ. 2015 පෙබරවාරි මාසයට ජීවන අංකය 108.9යි. 2017 නොවැම්බර් වන විට ජීවන අංකය 126.4 දක්වා ඒකක 17.5 කින් වැඩිවෙලා තිබෙනවා. ඒ කියන්නේ බඩුමිල වැඩිවෙලා. ජීවන බර වැඩිවෙලා. නමුත් රාජ්‍ය සේවකට ජීවත්වෙන්න සිදුවෙලා තිබෙන්නේ. පරණ පඩි පතෙන්මයි. ආණ්ඩුව ගණනය කොට තිබෙන සංඛ්‍යාව අනුව ජීවන අංකයක මිල රු. 341.00ක් වෙනවා. ඒ අනුව වැඩිවී තිබෙන 17.5ක ජීවන අංකය වෙනුවෙන් රු. 5967ක වැටුප් වැඩිවීමක් සිදුකළ යුතුයි. ජීවන වියදම ගෙවන්නේ නැති ආණ්ඩුව රාජ්‍ය සේවකයන්ගෙන් ඡන්දේ ඉල්ලනවා. පසුගිය කාලේ පුරා අයිතීන් දිනාගත්තේ සටන් කරලා. අපේ රටේ වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු වුණේ ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති ව්‍යාපාරය නිසා.

ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ,
අපේ රටේ රාජ්‍ය සේවකයන්ගේ මෙන්ම වතු සේවකයන්ගේ මෙන්ම පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අයිතීන් ආරක්ෂා කරන්න ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති ව්‍යාපාරය මැදිහත් වෙලා තිබෙනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon