2010-2012 වසර තුනක විගණකාධිපති වාර්තා අනුව ජාතික ඔලිම්පික් කමිටුවේ කුණු එළියට

  👤  3595 readers have read this article !
By mawbima 2018-01-23

සිරිනාම රාජපක්‍ෂ

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ 2010 සිට 2012 වසර දක්වා කාල වකවානුවට අදාළ වාර්ෂික ගිණුම් වාර්තා පිළිබඳ විගණකාධිපතිවරයාගේ මතයන් හා නිර්දේශයන් ඇතුළත් වාර්තාව මේ වනවිට නිකුත් වී ඇති අතර, එකී කාලය තුළ වත්මන් ජාතික ඔලිම්පික් කමිටු (එන්.ඕ.සී.) පරිපාලනය විසින් සිදුකරන ලද මුදල් අක්‍රමිකතාවන් පිළිබඳව එකී වාර්තාවෙන් ඉස්මතු කර ඇත.

තවද වසර 2013-2016 දක්වා අදාළ එන්.ඕ.සී. වාර්ෂික ගිණුම් වාර්තා පිළිබඳව විගණකාධිපතිවරයාගේ වාර්තාව තවමත් නිකුත් කර නොමැති අතර මෙම විගණන වාර්තා ප්‍රමාදය හේතුවෙන් ලබන පෙබරවාරි මස 23දාට පැවැත්වෙන බව පැවැසෙන නිලවරණයටද බලපෑම් සිදුවිය හැකි බව පැවැසේ. කෙසේ වෙතත් 2010 වසරට අදාළව එන්.ඕ.සී.යේ ගිණුම් පරීක්ෂා කිරීමේදී එක් එක් ක්‍රීඩාවන් වෙනුවෙන් අරමුදල් සැපයීමේදී මූල්‍ය අක්‍රමිකතා සිදුවී ඇති බවට විගණකාධිපතිවරයා පෙන්වාදී ඇත. එනම් රුපියල් මිලියන 3.5කට අධික මුදලක් ගොල්ෆ් (මිලියන 1) හා ටෙනිස් (මිලියන 2.5) යන ක්‍රීඩා දෙකට පමණක් ලබා දී ඇත්තේ එන්.ඕ.සී. යට අනුබද්ධ අනෙක් ක්‍රීඩා සංගම් පිළිබඳව සලකා බැලීමකින් තොරවය. තවද ඕස්ට්‍රේලියානු පුහුණුකරුවන් සඳහා රුපියල් මිලියන 4කට ආසන්න මුදලක් වියදම් කර ඇත්තේ ඊට අදාළ විගණනය සඳහා අවශ්‍ය කිසිදු විධිමත් ලිඛිත එකඟතාවක් නොමැතිවය. තවද භාණ්ඩාගාර චක්‍රලේඛවලට පටහැනිව වියදම් කර ඇති තවත් රුපියල් මිලියන 23කට වඩා මුදලක් පිළිබඳව විනිවිදභාවයක් නොමැති බවද එකී නිර්දේශයන්හි තවදුරටත් සඳහන්ය.

එන්.ඕ.සී. මූල්‍ය කළමනාකරණය පිළිබඳ විගණකාධිපතිවරයා විසින් නිකුත් කරන ලද එකී වාර්තාවේ සඳහන් කරුණු අතර විධිමත් ටෙන්ඩර් පටිපාටියකින් තොරව කටයුතු කිරීම නිසා රුපියල් මිලියන 52කට ආසන්න මුදල් වියදම් කිරීම පිළිබඳව අක්‍රමිකතා පෙන්වා දී ඇත. එනම් ජාතික ඔලිම්පික් කමිටු පරිශ්‍රයේ පිහිටි කායවර්ධන මධ්‍යස්ථානය බදු දීමේදී ටෙන්ඩර් කැඳවීමකින් තොරව සහ විධායක කමිටුවේ අනුමැතියකින් තොරව ලබාදී ඇති අතර කිසිදු ගිවිසුමකින් තොරව මාස 7ක කාලයක් එම කායවර්ධනාගාරය පවත්වා ගෙන යෑමටද එක්තරා සමාගමකට අවස්ථාව ලබා දී ඇතැයි සඳහන්ය.

2010 වසරේ චීනයේ පැවැති ආසියානු ක්‍රීඩා උළෙල සඳහා 21 දෙනකු සහභාගි කරවීමේදී ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතියකින් තොරව ඔවුන් යැවීමට කටයුතු කර ඇති අතර හොකී සම්මේලනයට වියදම් කරන ලද රුපියල් 149,300ක මුදලක් පිළිබඳව ප්‍රශ්නාර්ථයක් ඇත. එනම් එම මුදලට අදාළ බැංකු අණකරයක් එන්.ඕ.සී.ය විසින් ජාතික හොකී සම්මේලනයට නිකුත් කරන ලද නමුත් එම මුදල් 2010 දෙසැම්බර් 31දා වන තෙක්ම හොකී සම්මේලනයට ලැබී නැතැයි අනාවරණය කරගෙන ඇත. මෙවන් බොහෝ කාරණා විගණකාධිපතිවරයාගේ වාර්තාවෙන් මතුකර ඇති අතර, එන්.ඕ.සී.යෙහි 75 වැනි සංවත්සරය වෙනුවෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් (අයි.ඕ.සී.) ඇමෙරිකානු ඩොලර් 75,000ක (රුපියල් 9,319,076) මුදලක් 2012 අප්‍රේල් 9දා එන්.ඕ.සී. යට ලැබුණද ඊට අදාළව අයි.ඕ.සී. යට ඉදිරිපත් කරන ලද ව්‍යාපෘති වාර්තාවටද අනුව කටයුතු නොකළ එන්.ඕ.සී. බලධාරීන් වියදම් කර ඇත්තේ ලැබුණු අරමුදලින් තුනෙන් එකක් පරිපාලන කටයුතු සඳහා බවට හෙළි වී ඇත. තවද 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලට අදාළව එන්.ඕ.සී.ය විසින් අයි.ඕ.සී. වෙත ඉදිරිපත් කරන සැලසුම් සහිත යෝජනාවලියකට අනුව 2012 අප්‍රේල් මස 3දා එන්.ඕ.සී. යට ඩොලර් 25,000 (රුපියල් 3,125,989) ලැබුණද එම මුදල් 2015 දෙසැම්බර් 31දා වන තෙක්ම යොදවා ගෙන නොමැත. කෙසේ වෙතත් තවත් බොහෝ අක්‍රමිකතා මෙකී විගණකාධිපතිවරයාගේ වාර්තාවෙන් පෙන්වා තිබියදී 2013-2017 දක්වා වසරවලට අදාළවද විගණනය කරන ලද වාර්තා තවමත් ලැබීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon