ඔලිම්පික් කමිටු ලේකම්වරයාගෙන් විශේෂ ප්‍රකාශයක්

  👤  3781 readers have read this article !
By mawbima 2018-01-23

ජාතික ඔලිම්පික් කමිටුව ඉලක්ක කර ගනිමින් ඇතැම් පුද්ගලයන් විසින් පසුගිය දිනවල සිදු කරනු ලැබූ ප්‍රකාශ හා චෝදනා සියල්ල නිෂ්ප්‍රභ කරන බව ජාතික ඔලිම්පික් කමිටු මහ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතාගේ අස්සනින් යුතුව ඊයේ මාධ්‍යට නිකුත් කරන ලද ප්‍රකාශයක සඳහන් කරයි.

ජාතික ඔලිම්පික් කමිටු ලේකම්වරයා විසින් නිකුත් කරන ලද ප්‍රකාශයේ උපුටා ගැනීම මෙසේය. "පෙබරවාරි මස 23 වැනි දින පැවැත්වීමට නියමිත ජාතික ඔලිම්පික් කමිටු නිලවරණය ජයග්‍රහණය කිරීමට නොහැකි බව පසක් කරගත් ජාතික ඔලිමිපික් කමිටුව සමඟ අමනාපව සිටින ක්‍රීඩා සංගම් සුළු ප්‍රමාණයක එකතුවකින් සෑදුණු කණ්ඩායමක් විසින් ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති, ලේකම් හා භාණ්ඩාගාරික ඉලක්ක කරගෙන එහි ගිණුම් කටයුතු නිවැරදි නොවන බවට චෝදනා කරමින් ද්වේෂ සහගත ලෙස හැසිරීම මා තරයේ හෙළා දකිනවා. පළිගැනීමේ අරමුණ හා ද්වේෂයම පමණක් මූලික කරගෙන ඉදිරිපත් කර ඇති මේ සියලු අභූත චෝදනා නිෂ්ප්‍රභ කිරීමට මා කැමැතියි. 2007 වසර සිට 2012 දක්වා අවසන් විගණන ගිණුම් වාර්තා හා විගණකාධිපතිගේ උපදේශයන්ට අනුව සුළු පටිපාටිමය අඩුපාඩු කීපයක් පමණක් එමඟින් පෙන්වා දී ඇති බවත් එම කාලය තුළ සියලුම විගණන වාර්තා විගණකාධිපති විසින් අනුමත කර තිබෙන බවත් මා දැනුම් දීමට කැමතියි."

එම ගිණුම් වාර්තාවල පිටපත් දැනටමත් ක්‍රීඩා අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර තිබන බව පවසන ඔලිම්පික් කමිටු ලේකම්වරයා "2013-2016 වර්ෂ සඳහා වාර්ෂික ගිණුම් වාර්තාවල මුල් කෙටුම්පත් මේ වන විටත් විගණකාධිපතිතුමා විසින් පරීක්ෂාවට ලක්කරමින් සිටිනවා. ජාතික ඔලිම්පික් කමිටුවේ ගිණුම් කටයුතු පිළිබඳවත් විනිවිදභාවය හා යහපාලනය පිළිබඳවත් සුළු අඩුපාඩු කිහිපයක් හැරුණුකොට සියලුම ගිණුම් වාර්තා සත්‍ය හා නිවැරදි බවට ජාතික ඔලිම්පික් කමිටුවේ කළමනාකාරීත්වය වෙනුවෙන් සහතික කරන්න පුළුවන්. අප කමිටුවේ ගිණුම් පිළිබඳව ප්‍රධාන විවේචකයා වන රොහාන් ප්‍රනාන්දු මහතා 2010 දෙසැම්බර් මස සිට ජාතික ඔලිම්පික් කමිටුවේ මුදල් හා කළමනාකරණ කමිටු ප්‍රධානියා ලෙස කටයුතු කළ බව රොහාන් ප්‍රනාන්දු මහතාට අමතක වෙලා තිබෙනවා. ඔහු දැන් ඔලිම්පික් කමිටුවේ ගිණුම් වංචනික බව පවසන්නේ ඇයි කියන කාරණය බැලුවාම ඔහු මුදල් කමිටුවේ සභාපතිත්වය දරමින් සිටි කාලයේ ඔහුගේ වගකීම් නිසි ලෙස ඉටු නොකළ බව ඔහුම පිළිගන්නා බව පේනවා." යැයිද සිල්වා මහතා කියා සිටී.
කර්තෘ සටහන - කෙසේවෙතත් මෙම ප්‍රකාශය මැක්ස්වෙල් ද සිල්වා මහතාගේ අස්සනින් එවා තිබුණද ඊට අදාළ ෆැක්ස් හා විද්‍යුත් තැපෑල මහජන බැංකු ප්‍රධාන කාර්යාලයේ සිට එවන ලද ඒවා බව සනාථ වී ඇත. අප දන්නා පරිදි ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ මහජන බැංකු සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතායි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon