සුදු අම්මේ අපි ගොඩාක් දුක් විඳිනවා ඔයා නාවොත් ළමයි දෙන්නයි මහත්තයයි මැරිලා කියලා ඔයාට ආරංචි වෙයි

  👤  3602 readers have read this article !
By mawbima 2018-06-14

කොළඹ -
එම්.සී. පෙරේරා

'අම්මේ ඔයා අපිව දාලා ගෙදරින් ගිය දවසේ පාන්දර නංගි ඔයාව තුරුල් කර ගන්න ඇඳ අතගගා හොයලා ඔයා නැති වුණාම කෑ ගහගෙන අඬාගෙන නැඟිට්ටා. මට කතා කරලා කිව්වා අම්මා නැහැ අක්කේ කියලා. අපි අම්මේ අම්මේ කිය කියා ගේ වටේම දිව්වා අම්මේ.....අඬ අඬා අපි ළිඳෙත් බැලුවා. මොකද අපි විශ්වාසයෙන් හිටියා අපේ අම්මා අපිව දාලා යන්නේ නැහැ' කියලා.

මීට දින 13කට පමණ පෙරදී සිය දියණියන් දෙදෙනා හා සැමියා අත්හැර වෙනත් පුද්ගලයකු සමඟ පලාගිය කාන්තාවගේ 16 හැවිරිදි වැඩිමහල් දියණිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල්ගතව සිටියදී මේ වන විට රිමාන්ඩ් භාරයේ සිටින මවට ලියන ලද ලිපියක එලෙස සඳහන්ව තිබිණි.

මව අතට පත් කරන ලෙස ඉල්ලා දැරිය එම ලිපිය ඇයගේ ලොකු අම්මා අතට පත්කර තිබූ බව පොලිසිය කියයි.

තම දැරියන් දෙදෙනාට අතවර කිරීමට අනියම් සැමියාට ඉඩ සැලසූ බව කියන සැකකාරිය වන මව මෙම මස 19දා දක්වා රිමාන්ඩ් භාරයට පත් කර තිබිණි.

දැරිය ලියූ එම ලිපියේ මෙලෙසද සඳහන් වේ.

"අම්මා ගැන හොයනකොට ආරංචි වුණා අම්මා"....."මාමා සමඟ ගිහින් කියලා. තාත්තා ඔයා ගිය දවසේ ඉඳන් වේල් දෙකයි කෑවේ. අපිත් එහෙමයි. නංගි රෑට හීනෙන් ඔයාව හොයනවා. එයා චිත්‍ර අඳිනවා, ලියුම් ලියනවා මගේ සුදු අම්මා අපිව දාලා"......."මාමා එක්ක ගියා කියලා. එයා බලාගත්තු අත බලාගෙන ඉන්නවා ඔයාගේ ඇඳුම් තුරුලු කරගෙන. අපි ඉස්කෝලේ ගියහම හැමෝම අම්මව අහනවා. ඒ නිසා අපි ඉස්කෝලේ යන්නේ නැහැ.
විභාගෙට තව මාස පහයි. ඔයා මා එක්ක තරහා ඇති. කමක් නැහැ මගේ අම්මේ. මං ඔයා එක්ක තරහා නැහැ. මං ඔයාට තාමත් ආදරේ කරන්නේ මං පොඩි කාලේ මාව හදාගන්න ඔයා විඳපු දුක මම දැක්ක නිසයි. අපිට ඔයා නැතිව ඉන්න බැහැ. අම්මේ අපේ ගේ පාළුයි.
අපි දෙන්නට ඔයා ආදරේ නම් අපිත් එක්ක යන්න එන්න. මේ ඉස්පිරිතාලෙත් අපි ගොඩක් දුක් විඳිනවා. ඔයා ආයෙත් අපි එක්ක නාවොත් නංගිටයි තාත්තටයි වහ ටිකක් දීලා මාත් වහ ටිකක් කාලා මැරෙනවා. අපේ ජීවිතේ තියෙන්නේ ඔයාගේ අතේ. මට මෙහෙම දුක් විඳින්න බැහැ. මම ඔයාව කොහොම හරි එළියට ගන්නවා. මොකද ඔයා මගේ අම්මා. ඔයා අපි එක්ක ආවොත් අපි සතුටින්, අම්මයි තාත්තයි එක්ක සතුටින් ජීවත් වෙයි. ඔයා නාවොත් ඔයාගේ ළමයි දෙන්නයි ඔයාගේ මහත්තයයි මැරිලා කියලා ඔයාට ආරංචි වෙයි. එතකොට අපිව බලන්න එන්න අම්මේ, මගේ චූටි නංගි මෙහෙම දුක් විඳිනවා. ඔයා අපි එක්ක යන්න එන්න. අපි වෙනදා වගේ සතුටින් ජීවත් වෙමු. අපේ ජීවිත ලස්සන වෙන්න නම් අම්මා කියන කෙනයි තාත්තා කියන කෙනයි ඉන්නම ඕන. ඔයා නාවොත් අපේ ජීවිත නැතිවෙලා යාවි.

"අපිත් එක්ක එන්න සුදු අම්මේ" යැයි දැරිය ලියූ ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon