ඇමැතිවරුන් වැඩි කරලා ආණ්ඩුවට ඔක්සිජන් දෙන්න බැහැ

  👤  3425 readers have read this article !
By mawbima 2018-06-14

ඉෂාරා සිල්වා
ඡායාරූප
කැලුම් චාමර

පසුගිය පාලන කාලයේ විතැන්ව සිටි පාතාලය නැවත මෙරටට ආනයනය කළේ වත්මන් ආණ්ඩුව බවත් කතරගම කිරි වෙහෙර විහාරාධිපති හිමියන් ඝාතනය කිරීමට උත්සාහ කිරීම ඇතුළු පසුගිය දිනවල සිදුවූ ඝාතන රැල්ලට ආණ්ඩුව වගකිව යුතු බවත් ඒකාබද්ධ විපක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන පැවැසීය.

නීතිය හා සාමය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට අවතීර්ණ වන ලෙස ආණ්ඩුවට කියා සිටින බවද මන්ත්‍රිවරයා අවධාරණය කළේය.

ඊයේ (13දා) බොරැල්ල, එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ මාධ්‍ය හමුවට එක් වෙමින් ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

පෙරේදා (12දා) දිනයේ අපේ රටේ කේන්ද්‍රීය බෞද්ධ සිද්ධස්ථානයක් වන කිරිවෙහෙර පූජා භූමියේ නායක ස්වාමීන් වහන්සේ ජීවිතක්‍ෂයට පත් කිරීම සඳහා පැමිණි ආයුධ සන්නද්ධ සැලසුම් සහගත කණ්ඩායම ගත් උත්සාහය පෙන්වන්නේ ත්‍රස්තවාදී ක්‍රියාවලිය සාමාන්‍ය සිවිල් වැසියන්ගෙන් ඔබ්බට ගොස් සමාජයට නායකත්වය දෙන බෞද්ධ නායකයන්ගේ සහ අනෙකුත් ආගමික නායකයන්ගේ ජීවිත පවා නැති කිරීමට කටයුතු කරන බවයි.
සුමාන දෙකක් නැහැ දෙහිවල ගල්කිස්ස අපේ නාගරික මන්ත්‍රිතුමා ජීවිතක්‍ෂයට පත් කළා. ඒ වගේම කරන්දෙණිය උප නගරාධිපතිතුමා ජීවිතක්‍ෂයට පත් කිරීමේ ක්‍රියාවලිය. මේ සිද්ධි ගණනාවම පසුගිය කාලය තුළ සිදු වුණා. ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධානම කථිකයෙක් වන රංගේ බණ්ඩාර මහතාගේ පුතා රිය අනතුරක් සිදු කරලා. ඒ සම්බන්ධයෙන් පොලිසිය තමන්ගේ රාජකාරිය ඉෂ්ට කිරීම එක්කෝ කල් අරිනවා, නැත්නම් මඟඅරිනවා.

මීට පෙර කිසිම දවසක මේ ආකාරයට නීතිපති, පොලිස්පති ඡන්දය විමසලා පත් කරලා නැහැ. ඒ තරම් පොලිසිය තුළ. රාජ්‍ය නීති අංශයේ ප්‍රධානියා වන නීතිපතිවරයා පිළිබඳ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රට අවුලකට පත් කරලා තිබෙනවා. ආණ්ඩුව මේ සම්බන්ධයෙන් රටට වගකිව යුතුයි.

මේකට හේතු ආණ්ඩුව ඇතුළේම තිබෙනවා. ආණ්ඩුව මේ සියලු දේ කරන්නේ දේශපාලන පැවැත්මටයි. මේ අනතුර ආර්ථික ක්‍ෂේත්‍රයටත් දැන් පැතිර යනවා. ආර්ථික ක්‍ෂේත්‍රයේ තර්ජන වැඩියි. කොල්ලකෑම් වැඩියි. නීතිය හා සාමය ක්‍රියාත්මක කිරීමට අවතීර්ණ වන ලෙස අපි ආණ්ඩුවට කියනවා. ඒකාබද්ධ විපක්‍ෂය හැටියට අපි අගය කරනවා ආසියාවේ සංවර්ධනයේ දියුණුවට හා සාමයට ඉතාම වැදගත් වූ උතුරු කොරියාවේ රාජ්‍ය නායක කිම් සමඟ ආසියාවේ ආරක්‍ෂාව පිළිබඳ නිතර කතා කරන ඇමෙරිකාවේ ජනාධිපති සිංගප්පූරුවේදී හමුවීම.

තුන්වැනි කාරණය පිළිබඳව සඳහන් කළොත් මේ ආණ්ඩුව බලයට ආවේ ඇමැතිවරු අඩු කරනවා කියලා. ආණ්ඩුව බලයට ඇවිල්ලා 19 වැනි සංශෝධනය ගෙන ආවොත් කැබිනට් ඇමැති ධුර ප්‍රමාණය 30කටත් නියෝජ්‍ය අමාත්‍ය ධුර ප්‍රමාණය තවත් අඩු කරන බවත් පාර්ලිමේන්තුවට පොරොන්දු දීලා. අද ඒ සියල්ල සුන්නද්දූලි කරලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පාවිච්චි නොකළ වදන් සහ වගන්ති භාවිත කරමින් ආණ්ඩුව ප්‍රදර්ශනය කරනවා තමන්ගේ බංකොලොත්කම. පෙරේදා (12දා) දිනයේ උප ඇමැතිවරු ගණනාවක් පත් කළා. මෙහෙම උප ඇමැතිවරු, ඇමැතිවරු පත් කරනවා නම් රටක රාජ්‍ය පාලනය කඩා වැටිලා. රාජ්‍ය පාලනයට නැවත ඔක්සිජන් දෙන්න බැහැ මෙවැනි පත්වීම්වලින්, මේවා නාස්තිකාර ක්‍රියා මිසක් ඵලදායි ක්‍රියාවන් නොවෙයි. එම නිසා රජය රටම මූල්‍ය අර්බුදයකට පත් කරලා තිබෙන්නේ. එදිනෙදා වියදම් ගෙනයන්න බැරි තැනට භාණ්ඩාගාරය පත් වෙලා.

පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම,

'ජනතාවගේ ආරක්‍ෂාව බිඳ වැට්ටවීමට එරෙහිව අපි ආණ්ඩුවට විරෝධය පළ කරනවා. පසුගිය කාලයේ කතරගම දේවාලය වහලා තිබුණා ඉතිහාසයේ පළමු වතාවට. මේවා සංකේත. මේ සිදුවීම සිදු වන්නේ කතරගම දෙවියන්ගේ අඩවියේ පමණක් නොවෙයි. අපේ රටේ නීතිය හා සාමය භාර ඇමැතිගේ අඩවියේ කොයි තරම් දුරට රාජ්‍ය නීතියෙන් සාමයෙන් වියුක්ත වෙලා තිබෙනවාද කියලා තේරුම් ගැනීමට මීට වැඩිය දෙයක් අවශ්‍යයි කියලා මම හිතන්නේ නැහැ. දකුණේ කිරිසප්පයෝ මැරෙනවා. ඔවුන්ට බෙහෙත් නෑ. එන්නත් නෑ. ඒ වුණාට කෝටි ගණන් වියදම් කරලා අලුත් ඇමැතිවරු පත් කරනවා. මේවායින් ප්‍රකට වන්නේ ආණ්ඩුවේ අසංවේදීතාව.

ඉතිහාසයේ සිටම මවුගුණ නිසා අම්මා කෙනකුගේ ලේ කිරට හැරෙන බව අපි දැනගෙන හිටියා. නමුත් මේ ආණ්ඩුව අපට පෙන්වලා දෙනවා පිය ගුණ නිසා වොඩ්කා වතුර බවට පරිවර්තනය වන බව. ආණ්ඩුවට ස්තූතිවන්ත වෙන්න ඕන අලුත් සොයා ගැනීම්වලින් රට දැනුවත් කිරීම පිළිබඳව.

අපි ඉතිහාසයේ ලොකුම හොරු කණ්ඩායම හැටියට දන්නේ අලි බබා සහ හොරු හතළිහ ගැන. දැන් මාධ්‍ය හරහා මුළු රටේම සාකච්ඡා වෙනවා අලි බබා සහ හොරු 118 පිළිබඳව. පක්‍ෂ නායකයෝ, කථානායකවරයා මේ සම්බන්ධයෙන් නිහඬ වෙලා තිබෙනවා. මෙහෙම ගියොත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව කියලා දියවන්නාව ඉදිරියේ තිබෙන නාම පුවරුව ගලවලා සීමා සහිත ඇලෝසියස් පුත්‍ර සමාගම කියලා ගහන්න සිදු වෙනවා. පාර්ලිමේන්තුව පිළිබඳ තිබෙන විශ්වාසය කැඩිලා තිබෙන්නේ.'

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon