උතුරු පළාත් සභා විපක්ෂ නායකවරයාගේ ගේට්ටුවේ සල්ලි මල්ලක්

  👤  3353 readers have read this article !
By mawbima 2018-06-14

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ සහ මුලතිව් - ශෂිකුමාර්

නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් 12දා සවස යාපනයට පැමිණ උතුරු පළාත් සභාවේ විපක්ෂ නායක එස්. තවරාසා මහතාගේ නිවෙසේ ගේට්ටුවේ සල්ලි මල්ලක් ගැට ගසා තිබේ.

විශ්වවිද්‍යාල සිසුන් මේ අන්දමට සල්ලි මල්ලක් ගැට ගසා ඇත්තේ යුද්ධයෙන් මියගිය පිරිස සැමරීමට මැයි මස 18 වැනිදා මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් පළාතේ පැවැති උත්සවය සඳහා ගිය වියදම් හා අය - වැය පිළිබඳව විපක්ෂ නායකවරයා පළාත් සභා සැසිවාරයේදී දිගින් දිගටම ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධය පළ කිරීමටයි.

මෙම උත්සවය සඳහා උතුරු පළාත් සභාවේ එක් දෙමළ මන්ත්‍රිවරයකුගෙන් රුපියල් 7,000 බැගින් එකතු කළ අවස්ථාවේදී විපක්ෂ නායක තවරාසා මහතාද රුපියල් 7,000 ගෙවා තිබේ.

උත්සවයෙන් පසුව එම මුදල් සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා දිගින් දිගටම කරුණු විමසීමෙන් උරණ වූ නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ සිසුන් එක් සිසුවකුගෙන් රුපියල බැගින් එකතු කොට උතුරු පළාත් සභාවේ විපක්ෂ නායකවරයා දුන් රුපියල් 7,000 පියවා තිබේ.
මෙම රුපියල් 7,000 මුදලද රැගෙන නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා මුණ ගැසී විපක්ෂ නායකවරයාට ලබා දෙන අදාළ මුදල භාරගෙන එය ඔහුට නැවත ලබා දෙන මෙන් ප්‍රධාන අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබේ.
නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ සිසුන් එම මුදලද රැගෙන විපක්ෂ නායකවරයා හමුවීමට ගිය අවස්ථාවේදී එම මුදල භාර ගැනීම ප්‍රතික්ෂේප කරමින් විපක්ෂ නායකවරයා පලා ගොස් ඇත.

පසුව සිසුන් විපක්ෂ නායකවරයාගේ නිවෙසේ ගේට්ටුවේ සල්ලි මල්ල ගැට ගසා ඔහුට දුරකථන ඇමැතුමක් ලබාදී පිටව ගොස් ඇත.

යුද්ධයේදී මියගිය වැසියන් සිහිපත් කිරීම පිණිස පැවැති උත්සවයට නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් විශාල මුදල් පරිත්‍යාගයක් කළ බව පවසන සිසුන් තවරාසා විපක්ෂ නායකවරයාට ඔහුගේ රුපියල් 7,000ක මුදල එතරම් වටින්නේ නම් එය ඔහුට ආපසු භාරදීම උචිතම ක්‍රියාව බවද කියා සිටියි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon