පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ ප්‍රබල ගෝලයන් තිදෙනා අත්අඩංගුවට

  👤  3351 readers have read this article !
By mawbima 2018-06-14

චාමර අමරසූරිය,මහනුවර - ගයා ශ්‍රී කාරියවසම්

ප්‍රධාන පෙළේ පාතාල නායකයකු වන මධුෂ් ලක්‍ෂිත නොහොත් 'මාකඳුරේ මධුෂ්්'ගේ ප්‍රබල ගෝලයන් තිදෙනකු මහනුවර, කඩුගන්නාව ප්‍රදේශයේ හෝටලයක සැඟවී සිටියදී මහනුවර පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් මඟින් ඊයේ (13දා) අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙලම්බඩ, උඩතෝරදෙණිය ප්‍රදේශයේ පදිංචි රණවක ආරච්චිගේ රොහාන් සම්පත් රණවක පෙරේරා (33), මීගොඩ, ගාමිණිපුර ප්‍රදේශයේ පදිංචි මුණසිංහ ආරච්චිගේ හර්ෂ අනුර දේශප්‍රිය (33) සහ පනාපිටිය වස්කඩුව, ගැමුණු මාවත ප්‍රදේශයේ පදිංචි මුණසිංහ ආරච්චිගේ හර්ෂ ප්‍රදීප් කුමාර (25) යන තිදෙනාය.

හර්ෂ අනුර දේශප්‍රිය යන සැකකරු මීට දින කිහිපයකට පෙර පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ වෙඩි ප්‍රහාරයෙන් මහනුවර, මඩවල ප්‍රදේශයේදී ජීවිතක්‍ෂයට පත්වූ රුමල්ෂ ඉරේෂ් මදුශංක නොහොත් 'බයිලා'ගේ ප්‍රධානතම ගෝලයා බවද පාතාල මර්දන ඒකකය පවසයි.

බයිලාගේ ඝාතනයත් සමඟ මොවුන් තිදෙනා කඩුගන්නාව ප්‍රදේශයේ සැඟවී සිට ඇති බවද එම ඒකකය සඳහන් කරයි.

ඩුබායිහි සැඟවී සිටින 'මාකඳුරේ මධුෂ්ගේ' හෙරොයින් ජාවාරම සහ කප්පම් ගැනීමේ කටයුතු මෙහෙයවීම සඳහා ඔවුන් තිදෙනා මහනුවර ප්‍රදේශයට මීට දින කිහිපයකට ඉහතදී පැමිණ ඇති බවද පොලිසිය පැවැසීය.

පසුගිය දිනවල කොළඹ හා තදාසන්න ප්‍රදේශවල සිදුවූ වෙඩි තැබීම් සහ කොල්ලකෑම් හේතුවෙන් එම ප්‍රදේශවල ආරක්‍ෂාව තර කොට ඇති හෙයින් ඔවුන්ගේ ජාවාරම් මහනුවර සිට සිදු කිරීමේ අරමුණින් මධුෂ්ගේ උපදෙස් මත මෙම ගෝලයන් මහනුවර ප්‍රදේශයට පැමිණ ඇති බවද පාතාල මර්දන ඒකකය සඳහන් කරයි.

සැකකරුවන් සන්තකයේ තිබී රුපියල් ලක්‍ෂයකට අධික මුදලක්ද පොලිස් භාරයට ගෙන ඇත.

මෙම සැකකරුවන් තිදෙනා ඉදිරි විමර්ශන සඳහා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයට භාරදී තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon