අතපය බැඳ දැමූ කුරුඳු ඉඩම් හිමිකරුගේ මළ සිරුර නිවෙසේ ඇඳක් මත

  👤  3366 readers have read this article !
By mawbima 2018-06-14

බළපිටිය - දම්සරී ලියනගේ
ඉමදූව - ටී. විතානවසම්

මාපලගම - රසික සෙනෙවිරත්න අම්බලන්ගොඩ - ධර්මදාස සිරිවර්ධන

උෟරගස්මන්හන්දිය, කොරකීන ප්‍රදේශයේ අතපය ගැටගසා මරා දමන ලද වයෝවෘද්ධ පුද්ගලයකුගේ මළ සිරුරක් ඊයේ (13දා) පෙරවරුවේ උෟරගස්මන්හන්දිය පොලිසිය මඟින් සොයා ගෙන තිබේ.

ඝාතනයට ලක් වූ පුද්ගලයා සතු රුපියල් ලක්ෂ තුනකට (3,00,000) ආසන්න වටිනාකමක් යුත් කුරුඳු තොගයක්ද සොරකම් කර තිබෙන බව උෟරගස්මන්හන්දිය පොලිසිය කියයි. මේ ඝාතනය පෙරේදා (12දා) ප.ව. 6.00ත් ඊයේ (13දා) අලුයම 6.00ත් අතර සිදු වන්නට ඇතැයිද පොලිසිය විශ්වාස කරයි.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ කුරුඳු ඉඩමක හිමිකරුවකු වන කොරකීන, උෟරගස්මන්හන්දිය පදිංචිව සිටි තොරම්මයාහකුරු සෝමදාස (78) නමැති අයෙකි.

ඊයේ පෙ.ව. 6.00ට පමණ කුරුඳු තැළීමට පැමිණි පුද්ගලයන් තිදෙනකු විසින් කරන ලද දැනුම් දීමකට අනුව උෟරගස්මන්හන්දිය පොලිසිය මළ සිරුර සොයාගෙන තිබේ. නිවෙසේ කාමරයක පිහිටි ඇඳ මත මියගිය අයගේ අත්දෙක රෙදිවලින් සහ කකුල් ලණුවලින් ගැටගසා මුහුණ තුවායකින් හා සරමකින් ආවරණය කර තිබී ඇත.

මියගිය අය, දරුවන් තිදෙනකුගේ පියකු බවත් එයින් දරුවන් දෙදෙනකු විවාහ වී රාජගිරිය ප්‍රදේශයේ පදිංචිව සිටින බවත් අනෙක් දරුවා කොරකීන ප්‍රදේශයේම සිටින බවත් උෟරගස්මන්හන්දිය පොලිසිය කියයි. මියගිය අය සිය නිවෙසේ තනිව ජීවත්ව සිට ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.

නිවෙසේ පිටුපස අලංකාරයට සවි කරන ලද සිමෙන්ති ආවරණයක් කඩා සොරුන් නිවෙස තුළට ඇතුළු වී තිබේ. පසුව නිවෙසේ හිමිකරු ගැටගසා කුරුඳු සොරකම් කරන්නට ඇතැයි පොලිසිය විශ්වාස කරයි. සොරුන් නිවෙසින් පිටව ඇත්තේ පිටුපස ‍ෙදාර විවෘත කිරීමෙන් පසුව බවද පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ. මියගිය අය කුරුඳු අක්කර දෙකක පමණ හිමිකරුවකු බවත් මීට සති දෙකකට පමණ පෙර කුරුඳු තැළීම ආරම්භ කර තිබෙන බවත් පොලිසිය කියයි.

පෙරේදා (12දා) වන විට නිවෙසේ කුරුඳු මිටි 6ක් (කිලෝ ග්‍රෑම් -130) තිබී ඇත. සොරුන් විසින් මෙම කුරුඳු මිටි 6ම රැගෙන ගොස් තිබේ. මෙහි වටිනාකම රුපියල් ලක්ෂ 3ක් පමණ වන බවද පොලිසිය කියයි.

උෟරගස්මන්හන්දිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුජිත් ප්‍රියන්ත මහතාගේ මෙහෙයවීම මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක විජිත ජයන්ත, ඇල්පිටිය පොලිස් විශේෂ අපරාධ ස්ථාන විමර්ශන ඒකකයේ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක චන්දිමාල් ද සිල්වා, පොලිස් පරීක්ෂක මංගල, පොලිස් සැරයන් මංජුල (64251) යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

මළ සිරුර පිළිබඳ මහෙස්ත්‍රාත් පරීක්ෂණය ඇල්පිටිය මහෙස්ත්‍රාත් ගයාන් මීගහගේ මහතා විසින් ඊයේ සවස පැවැත්වීමට නියමිතව තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon