මා ඡන්දෙ ඉල්ලපු කිසිම වතාවක නිදිවැරුවේ නෑ:

  👤  3545 readers have read this article !
By mawbima 2018-06-14

පහන් විජේසේකර
ඡායා - මංජුල දයාවංශ

පීඩිත මිනිසුන්ගේ දහදිය සුවඳ හැඳින ගත් සැබෑ මිනිසකු වශයෙන් ආචාර්ය ඩබ්.ඒ. අබේසිංහයන් සෑම විටම මිනිසුන්ට හා සමාජයට ආදරය කළ අයකු යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කරයි.

ආචාර්ය ඩබ්.ඒ. අබේසිංහ සූරීන්ගේ ලේඛන දිවියට පනස් වසරක් සපිරීම නිමිත්තෙන් ඒ මහතාගේ සාහිත්‍ය මෙහෙවර අගය කිරීම පිණිස කොළඹ පදනම් ආයතනයේ පැවැති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා ඒ බව ප්‍රකාශ කළේය.

එම උත්සව අවස්ථාව ඇමැතූ ජනාධිපතිවරයා මෙසේද කීය.

අප ඉතාමත් ගරු කරන අපේ රටේ විශිෂ්ට සාහිත්‍යධරයෙක්, නීතිවේදියෙක්, මානව හිතවාදියෙක්. ප්‍රගතිශීලී මත දරන්නෙක් වගේම මිනිසුන්ට ආදරය කරන බුද්ධිමතකු විදියට ආචාර්ය අබේසිංහයන්ගේ මෙහෙවර අගය කිරීමේ අවස්ථාවකට සහභාගි වන්නට ලැබීම ගැන මා ඉතාමත් සතුටු වෙනවා.

අබේසිංහ මහත්මයාව අවුරුදු 20ක 25ක ඉඳන් දන්නවා. එතුමාව හඳුනගත්තේ එතුමාගේ පොතපතින්. එච්චරම ළඟින් ඇසුරු කරන්න ලැබුණේ නැති වුණාට පසුගිය කාලේ උත්සවවල කතාබහ කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම බෞද්ධ දර්ශනය පදනම් කරගත් විශ්ව දැනුම, නිර්මාණශීලීභාවය මෙන්ම පොඩි මිනිසුන් වෙනුවෙන්, දහදිය සුවඳ හඳුනන සැබෑ මිනිසෙක් විදියට එතුමා සෑම විටම මිනිසුන්ට සමාජයට ආදරය කළා.
මං සාමාන්‍යයෙන් මගේ වැඩකටයුතු ඉවර කරලා රෑ දහය, දහය හමාර වෙනකොට නිදාගන්නවා. මොනම දේකදිවත් මං නිදි වරන කෙනෙක් නෙවෙයි. මං පාර්ලිමේන්තුවට හය සැරයක් ඡන්දය ඉල්ලුවා. හත්වැනි සැරයට ඉල්ලුවේ ජනාධිපති ධුරයට. කවදාවත් මං ඡන්ද ගණින තැනට ගිහින් නෑ ඡන්ද කොහොමද කියලා බලන්න. ඔය ඡන්ද හතේදීම කරලා තියෙන්නේ වෙනදා වගේම රෑ දහය, දහය හමාර වෙද්දි නිදා ගන්න එකයි. මං ජනාධිපති අපේක්ෂකයා වෙලා ජනවාරි 08 රාත්‍රියේ කුරුණෑගල පැත්තේ ගෙදරක හිටියේ. වෙනදා වගේම 10 වෙනකොට මං නිදා ගත්තා.

මං හොඳට නිදාගෙන ඉන්න වෙලාවේ මගේ නෝනා ඇඟට අත තියලා කිව්වා නැඟිටින්න රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන් කෝල් එකක් කියලා. මං ඇඳේ ඉඳන්ම කතා කළා.

"දිනුම් නේද' ඇහුවා. මං කිව්වා දිනුම්...? ආහ් දිනුම්ද?

ඔව් දිනුම් කොහෙද ඉන්නේ?

මං කිව්වා කුරුණෑගල ඉන්නේ. මං උදේ එන්නම් කියලා. ආයෙත් නිදා ගත්තා හොඳට.

හොඳට එළිය වැටිලා දවල් වෙලා තමයි මං කොළඹ ආවේ.

පසුගිය දවසක සාමාන්‍ය වැඩ ටික ඉවර කරලා නිදා ගන්න යද්දී පොත් පාර්සලයක් තිබුණා. ඒ තමයි මට දැන් පිළිගන්වපු පොත් තුන. පොත් ටික කියෙව්වෙ මං පාන්දර නැඟිටලා. විශේෂයෙන් ආනන්දයෙන් ප්‍රඥාවට කෘතියෙහි තිබෙන මං කියවපු පිටුවක් දෙකක් කියවන්න හිතුණා.

තොස් වන සුවඳ පිරිබඩ මල් ගෙන අතට
රැස් වෙති දනෝ කිරි වෙහෙරට මුනි පුදට
ඇස් දෙක අන්ධ වුණ මවුපියෝ රකින්නට
මස් දන් නොදී මල් විකුණාපන් සොඳට

මේ කවියෙන් කියවෙන දේ ඔබට මං කියන්නට වුවමනා නැහැ. විශේෂයෙන්ම ආචාර්ය අබේසිංහයන් සමාජය තුළ දුටු බොහෝ දේ ගැන පාඨකයා ආකර්ෂණය වන අන්දමට කාව්‍ය නිර්මාණ කළා.

ආචාර්ය අබේසිංහයන්ගේ මගේ ලෝකය සහ ඔවුන්ගේ ලෝකය කෘතියෙන් වෙනත් සාහිත්‍යධරයන්, ලේඛකයන් ගැන කතා කරලා තිබෙනවා. මාත් හොඳින් හඳුනන එතුමාගේ සමකාලීන මිත්‍රයෙක් රංජිත් නවරත්න මහත්තයා ගැනත් කියලා තියෙනවා.

"දැන් සෑහෙන කාලයක සිට දේශපාලකයන් සමඟ මගේ මොනම ආකාරයකවත් ඇයි හො¼දැයියක් නැත. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, මහජන පක්ෂය, බහුජන නිදහස් පෙරමුණේ සහ අන්තිමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාඩ්පත් හිමි ක්‍රියාකාරිකයකු හැටියට පක්ෂ දේශපාලනයේ දිගු කලක් යෙදී සිටි මම මීට වසර 15කට පමණ පෙර ඒ පක්ෂත් ඒ පක්ෂවල නායකයනුත් සියල්ල අත්හැරියේ ආයෙත් ඒ පැත්ත බලාගෙන බත් කන අදහසකින් නොවේ.

එහෙයින් මේ සමයේ දේශපාලනකාරයන් සමඟ මගේ කිසිම පයුරුපාසානමක් ඇත්තේ නැත. මින් මත්තට ශ්‍රී ලංකාවේ දේශපාලනය කෙවිටකින්වත් අල්ලන අදහස මා තුළ ඇත්තේ නැත. එහෙත් මගේ සද්මිත්‍රව සිටි රංජිත් නවරත්නයන් ගැන මේ සටහන නොලියා සිටිනුද බැරිය.

ඒ වගේම රංජිත් නවරත්නයන්ගේ කවි කිහිපයක් ගැනත් කියා තිබෙනවා.

"නවරත්න කවියාගේ මෙම කවි අධිචෝදනා පත්‍රයක් වැනිය. නිදසුන් වශයෙන් 'ගම හදනා බලවේගය' නමැති උත්ප්‍රාසාත්මක රචනය අවසන් කිරීමට මෙම කවිය උපුටා දැක්වීමට කැමැත්තෙමි.

පන්සල පාසල රෝහල් කතාව, ටික කාලයකට කල් දාපන්
සේවෙට පළමුවෙන්ම මට කැලෑ කොන්ත්‍රාත්තුව දීපන්
ඡන්දයට වියදම් කළ අයගෙන් ගිය වියදම් ටික බේරලා දාපන්
මන්ත්‍රි උෟරේ මොවුන් එළවලා අපිත් එක්ක කාපන් බීපන්

ලොකු කෙල්ලගේ වයස හතළිස් පහ පැනලා
ඉකිබිඳ හඬනවා හොඳටම දුක හිතිලා
සහතික ටිකත් බොඳ වෙයි කඳුළුම වැටිලා
වෙන කා වෙත යම්ද යළි පිහිටක් පතලා

අල්ලපු ගෙදර දෙන්නම දැන් බැංකුවල
උන් දෙන්නා තමයි පාවා දුන්නේ පිල
වැඩ කරවා ගත්තේ බලයෙනි මුදල්වල
මැම්බර් මස්සිනේ අමතක වුණිද මුල

රැකලා දුන්නේ ණය ගත් ධනපති රොත්ත
කපලා දමනු බැරි ඇයි ගොවි ණය ගත්ත
බැඳිලා සමඟියෙන් ඔසවා දෑ කැත්ත
එළවා දමමු දැන් රට කන මේ හැත්ත

මේක මේ අද ඊයේ එකක් නෙමෙයි හුඟක් කලින් ලියපු එකක්.

දහඩිය හෙළන්නට ඉඩමක් ලබා දෙනු
ඇළ පාරකින් ගෙයි බිම්කඩ තෙමා ලනු
සාධාරණය ගොවි පැලටත් ලබා දෙනු
සහතික මිලට වී මලු ටික කිරා ගනු

අභය මුද්‍රාවත් මං ටිකක් එහෙන් මෙහෙන් කියෙව්වා. දිනුම් කණුවට නැඟීම ජීවිතය නෙමෙයි. සම්මුඛ සාකච්ඡාවේදී තමයි මෙහෙම කියන්නේ. පාවාදීම් රාශියකට ගොදුරුවුණ දේශපාලනයෙන් මා අයින් වුණා. ආත්ම ගණනාවකට මං දේශපාලනයට එන්නේ නෑ.
විශේෂයෙන්ම අද අපිට ඒ යුගය ගැන කතා කරන්න පුළුවන් සැබෑ මානව හිතවාදියෙක් විදිහට ආචාර්ය අබේසිංහයන් සමඟ එකතු වන්නට ලැබීම ගැන යළිත් සතුටු වෙනවා.
ඒ වගේම පාණ්ඩිත්‍යය තුළ තවත් නිර්මාණ බිහි කිරීමට ශක්තිය නිරෝගී භාවය සමඟ දීර්ඝායුෂ ලැබේවා කියලා ආශීර්වාද කරනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon