ඇමෙරිකානු පුරවැසියකු වන ගෝඨාභය යටත් වෙන්න ඕනෑ එරට නීතියටයි

  👤  3645 readers have read this article !
By mawbima 2018-06-14

දෙනගම ධම්මික රණවීර
ඡායාරූප - සරත් කුමාර

ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇමෙරිකානු පුරවැසියෙක් නිසා ඔහු එරට නීතියට යටත් විය යුතුව ඇති බව සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න පැවැසීය.

ඔහු එම අදහස් පළ කළේ ඊයේ (13දා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගි වෙමින්ය.

එහිදී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට සම කැබිනට් ප්‍රකාශකවරු මෙසේද පිළිතුරු දුන්හ.

භූමිතෙල් මිල වැඩි කළ කැබිනට් මණ්ඩලයම ඒක දවස් කිහිපයකින් වෙනස් කරනවා. මොකද්ද මේ ආර්ථික ක්‍රියාවලිය?

රාජිත සේනාරත්න මහතා,

භූමිතෙල් මිල වැඩි කළත් සහනාධාර දුන්නා. ඒත් සහනාධාර ක්‍රමය වෙනුවට මිල අඩු කරලා දෙන්න කියලා ධීවරයෝ ඉල්ලා සිටියා. ඒ අනුව සහනාධාර ක්‍රමය වෙනුවට මිල අඩු කළා.

රුපියල් 70වට වඩා භූමිතෙල් මිල අඩු කරන්න රජයේ අදහසක් තිබේද?

මේ ගණනට තමයි දැනට මුදල් ඇමැති එකඟ වෙලා තියෙන්නේ.

ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපතිවරයා ගෝඨාභය රාජපක්‍ෂට ජනාධිපති වීමට ඉඩ නොදෙන බව පවසා ඇතැයි මාධ්‍ය වාර්තා පළ වුණා. ස්වාධීන රටකට එවැනි බලපෑම් කළ හැකිද?

එවැනි දෙයක් කතාබහ නොවූ බව මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ප්‍රකාශ කොට තිබුණා.

ගෝඨාභය රාජපක්‍ෂ ගැන මෙවැනි ප්‍රකාශ ඉදිරියේදීත් සිදු වුණොත් රජය කුමක්ද කරන්නේ?

එයා ඇමෙරිකා පුරවැසියෙක්. එයා ඇමෙරිකානු නීතියට තමයි යටත් වෙන්න ඕන. අතුල් කේශාප් කියන්නේ අපේ තානාපති නෙවෙයි. අපේ රටට පත් කොට සිටින එතුමාලාගේ තානාපති.

පාතාල ක්‍රියාකාරකම් නවත්වන්න ආණ්ඩුවට නොහැකිද?

ඒ වෙලාවෙ නම් උස්සාගෙන ගියා. එහෙම කරලත් ඉවර කර ගන්න බැරි වුණා. බ්‍රසීලයේ මාස 3ක් ත්‍රිවිධ හමුදාව යොදවලත් ඒක කරන්න බැරි වුණා. පිලිපීනයෙත් එහෙමයි. ලංකාව ක්‍රියාත්මක වෙන්නේ මේ තිබෙන නීතිය යටතේම තමයි. ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් කමිටුවක් පත් කර තිබෙනවා. ඒ අනුව දැනටමත් විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂක ලේකම්වරයාගේ කාලයේ වගේ ක්‍රියාමාර්ග අනුගමනය කළ නොහැකිද?

ඒකත් සාර්ථක වුණේ නැහැනේ.

ඒත් පාතාලය මර්දනයට අපොහොසත් වීම ගැන ජනාධිපතිවරයා පොලිස්පතිට තදින් කතා කළ බව කියැවෙනවා?

එහෙම කියන්නේ මාධ්‍යයෙන්නේ. අමුතුවෙන් තදින් කතා කරන්න දෙයක් නැහැ. එම කමිටු රැස්වීම මාසයකට වරක් කැඳවනවා. මාත් සහභාගි වෙනවා. ඒකෙදි දැඩි ක්‍රියාමාර්ග යෝජනා එනවා.

අර්ජුන් ඇලෝසියස්ලාගෙන් මුදල් ගත් අය හෙළිදරව් කරන්නේ නැත්තේ ඇයි?

කථානායකතුමා පැහැදිලිවම කිව්වා එවැනි ලැයිස්තුවක් නැහැ කියලා. නමුත් පිටපත් 350 දක්වා ජනාධිපතිතුමාගෙන් ඉල්ලා ගන්න බවත් කිව්වා. ඔය ඇතැම් නම් එළියට එන්නේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ තිබුණා කියලා නොවෙයි. සී.අයි.ඩී.ය ඔවුන්ගේ බැංකු ගිණුම් පරීක්‍ෂා කිරීමේදී තමයි ඒවා එළිවෙන්නේ.

මෙලෙස සල්ලි ගැනීම් සාධාරණද?

මැතිවරණයකදී නොයෙකුත් අය ඇවිල්ලා මුදල් දෙනවා. ඒක නොගන්න කවුරුවත් ලංකාවේ නෙවෙයි ලෝකයෙවත් නැහැ. ඒ සල්ලි ගත්ත කියලා ඒ අය කියන ඔක්කොම කරන්න අපි බැඳිලා නැහැ. ඔවුන්ගේ වැරැදි ක්‍රියා කලාපයන් ආරක්‍ෂා කිරීමට ඉදිරිපත් වෙනවා නම් ඒක වැරැදියි.

ඡන්දවලට වියදම් කරන මුදල් සීමා කරන්න නීතියක් ගේන්න බැරි ඇයි?

ඒක ගේනවා. මැතිවරණ කොමිෂන් සභාපතිවරයා ඒක කෙටුම්පත් කරනවා.

ඔබත් මුදල් අරගෙන තිබේද?

මම නම් ඒ අයගෙන් මුදල් අරගෙන නැහැ.

අර්ජුන මහේන්ද්‍රන් ගෙන ඒම ගැන පරීක්‍ෂණ කෙබඳුද?

උදයංග වීරතුංගට වගේම පරීක්‍ෂණ ක්‍රියාමාර්ග ගනිමින් තිබෙනවා.

නියෝජ්‍ය ඇමැතිවරු පත් කිරීමේ විද්‍යාත්මක පදනම කුමක්ද?

ඇමැති කෙනෙක් ඉන්න තැනට නියෝජ්‍ය ඇමැති කෙනෙක් දමන එක තමයි විද්‍යාත්මක පදනම.

දකුණේ පැතිරුණු ඉන්ෆ්ලුවන්සා තත්ත්වය පාලනය කර තිබේද?

රාජිත සේනාරත්න මහතා, සියයට අනූපහක්ම පාලනය කර තිබෙනවා. වර්ෂාව තියෙන කාලයේ මෙවැනි වෛරස් රෝග එනවා. එක ප්‍රදේශයක වසංගතයක් වුණා. ගිය අවුරුද්දෙ එන වෛරසය නොවෙයි මේ අවුරුද්දෙ එන්නෙ.

ගම්පහට මේක ව්‍යාප්ත වෙමින් තිබේද?

නැහැ.

උතුර නැඟෙනහිර ගැටුම්වලට මැදිවූ අයට වන්දි දීමට හානිපූරණ කාර්යාලයක් පිහිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. එම වන්දි දීමට 'යෝග්‍ය තැනැත්තන්" ලෙස හඳුනාගන්නේ කවුද?

යෝග්‍ය තැනැත්තන් හඳුනා ගන්න නිර්ණායක හදන්න වෙනවා. ඒක රජයෙන් හදාවි!
ඩී.එම්. ස්වාමිනාදන් ඇමැතිවරයාගේ කැබිනට් සංශෝධනයකට ජනාධිපති විරුද්ධ වූ බව ආරංචියි. ඒ මොකක්ද?

උතුරේ විවිධ ජන කොටස්වලට ඒ කියන්නෙ මිය ගිය, අතුරුදන් වූ, දේපළ හානි වූ අයට වන්දි දෙන්නයි ඒ යෝජනාව ගෙනාවෙ. අන්තිමට තියෙනව ත්‍රස්තවාදයට සම්බන්ධ වූ අයට කියල. නමුත් එතැනදි ජනාධිපතිතුමා කිව්වා අපි ත්‍රස්තවාදීන්ට වන්දි දෙනවනම් ත්‍රස්තවාදය පිළිගැනීමක් වෙනව කියල. ඒ වෙලාවෙ මම කිව්වා ඒ කොටස ඉවත් කරල ඉතිරි අයගෙ සහන ඉක්මනට ක්‍රියාත්මක කරන්න කියල. ත්‍රස්තවාදයට සම්බන්ධ වූ අය සම්බන්ධව කටයුතු කළේ නැහැ කියල කාටවත් ‍ෙදාස් කියන්න බැහැනෙ.

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී ක්‍රියා නිසා දකුණෙත් ජීවිත දේපළ හානි වුණා.

ඒ හැම කෙනාටම දෙනවා.

චැනලින් කරන වෛද්‍යවරු වත්මන් බදු ප්‍රතිපත්තිය නිසා එම කටයුතුවලින් ඉවත්වන බව කියා තිබෙනව නේද?

ඒ සංගමය එක්ක මම මුදල් ඇමැතිවරයා හමුවුණා. සෞඛ්‍ය සේවයෙන් වැට් බද්ද අයින් කරන්න කියල මම ජාතික ආර්ථික සභාවෙදිත් කිව්වා. පනවන වැට් බද්ද රෝගීන්ගෙන් තමයි දැන් අය කරන්නෙ. සෞඛ්‍ය බද්ද 55%ක් මේ වනවිට එන්නෙ පෞද්ගලික අංශයෙන්. ඒත් දැන් කරන්න හදන්නෙ සාමාන්‍ය වැට් අනුපාතය 2%කින් අඩු කිරීමටයි. ඒත් වෛද්‍යවරුන්ගෙන් 24%ක් බදු අය කරන්නේ මාසයකට ලක්ෂ තුන හමාරක් හම්බ කළොත් පමණයි. ඒත් ඔවුන්ට දැනට තිබෙන රුපියල් 35,000 ප්‍රවාහන දීමනාව ඉහළ අගයකින් වැඩි කරනවා. එවැනි පහසුකම් රැසක් ලබා දෙනවා. වෛද්‍යවරුන්ගේ ගාස්තු පිළිබඳවත් සංශෝධනය කොට රුපියල් 2000කට එම ගාස්තු සීමා කළා. විනාඩි 10ක් රෝගීන් බලන්නත් ඕන.

හින්දු කටයුතු සඳහා මුස්ලිම් ජාතිකයකු නියෝජ්‍ය ඇමැති තනතුරට පත් කළේ ඇයි?

මීට ඉස්සෙල්ලත් එවැනි පත් කිරීම් කොට තිබෙනවා. ඔහුගෙ ආකල්පයි වැදගත් වෙන්නෙ

උතුරු පළාත් සභාවෙ මහ ඇමැතිවරයාත්, සිවාජිලිංගම් මන්ත්‍රිවරයාත් ජාතිවාදී ප්‍රකාශ කරනවා. ඇයි ඔවුන් ගැන තීන්දුවක් නොගන්නෙ?

ඔය අන්තවාදය හැමතැනම තියෙනවනෙ. මාධ්‍ය, දේශපාලනඥයො ඕවා වපුරනවා. ඒ අයව උතුරෙ ජනතාව ප්‍රතික්ෂේප කර තිබෙනවා. අපි ඒගොල්ලන්ට විරුද්ධයි. ඒ අය ඒ වෙලාවෙ කැමැති වුණා. ඒත් අද දෙමළ පක්ෂත්, රටත් ඔහුගේ පේමන්ට් දේශපාලනය ගැන කලකිරිල.

විග්නේශ්වරන් ප්‍රතික්ෂේප කොට ඇති බව කිව්වත් දමිළ ජන සංහාරය සමරන්න ආරාධනා ලැබ සිටියේ උතුරේ මහ ඇමැතිට විතරයි?

ඉතිං කී දෙනාද හිටියෙ. දරුවො මැරුණු අයගෙ අම්මල තාත්තලවත් 2%ක් නැහැ.

ඒත් ඔවුන්ගේ ප්‍රකාශ ජාතික ආරක්ෂාවට තර්ජනයක්?

ඒ අයගේ ප්‍රකාශ කවුද ගණන් ගන්නෙ.

හම්බන්තොට වරායෙ බදු ගිවිසුම අනුව ලබා දිය යුතු මුදල් චීන සමාගම රඳවාගෙන තිබේද?

අදාළ ඉඩම් නිදහස් කිරීම ගැන සාකච්ඡා කරනවා. ඒ වගේම ඉන්දියාව සහ චීනය මත්තල ගුවන් තොටුපළ මෙහෙයුම් රාජ්‍ය හා පෞද්ගලික සේවාවක් ලෙස පවත්වාගෙන යන්න ව්‍යාපෘති වාර්තා ඉදිරිපත් කර තිබෙනවා. දැනට මත්තලට ගුවන් යානා එන්නෙ නැහැ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon