අවුරුදු 8න් විදුහල්පති මාරු මොකටදැයි සොයනවා

  👤  3377 readers have read this article !
By mawbima 2018-06-14

වසර 10කට වැඩි කලක් ජාතික පාසල්වල පරිපාලනය සිදුකළ විදුහල්පතිවරුන් ස්ථාන මාරු කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛය ක්‍රියාත්මක භාවයට පත් නොකර, වසර 8ක ජාතික පාසල් සේවයකට අදාළව එවැනි තවත් චක්‍රලේඛයක් සඳහා අනුමැතිය ඉල්ලා සිටින්නේ කුමන හේතුවක් නිසාදැයි අවධානය යොමුකළ යුතු බව අධ්‍යාපන සේවා කමිටුවේ සභාපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කරයි.

ඒ මහතා මෙලෙස පැවැසුවේ ජාතික පාසලක වසර 08ක සේවා කාලයක් සපුරා ඇති, විශ්‍රාම යෑම සඳහා වසර 2ක කාලයක් ඉතිරිව තිබෙන විදුහල්පතිවරුන්ව ස්ථාන මාරු කිරීම සඳහා වන චක්‍රලේඛයකට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අනුමැතිය ඉල්ලා ඇත්තේද යන්න පිළිබඳව 'මව්බිම' කළ විමසුමට පිළිතුරක් වශයෙනි.

මෙයට දින කිහිපයකට ප්‍රථම අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙම චක්‍රලේඛය අනුමැතිය පිණිස එවනු ලැබූ බව සනාථ කළ බණ්ඩාර මහතා මෙය විදුහල්පතිවරුන් 60 දෙනකුට පමණ බලපාන කරුණක් වන බැවින් ඒ සම්බන්ධයෙන් සිය කමිටුවේ තීන්දුව පිණිස කරුණු කාරණා රැසක් සැලකිල්ලට ගත යුතුව ඇතැයි පැවැසුවේය.

වසර 10කට වැඩි ජාතික පාසල් සේවා පරිපාලන කාලයක් සපිරූ විදුහල්පතිවරුන් සහ වැඩබලන විදුහල්පතිවරුන් හට මීට ප්‍රථම අනිවාර්ය ස්ථාන මාරු ලබාදීමේ චක්‍රලේඛයක් නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කළ අතර එම චක්‍රලේඛය නිකුත්වීමෙන් මාස 6ක කාලයක් ගෙවී ඇතත් එය ක්‍රියාවට නැංවීමට අධ්‍යාපන අමාත්‍යාංශය මෙතෙක් ක්‍රියාත්මක වී නොමැත.

මේ අයුරින් විටින් විට එක් එක් කාලසීමාවන් පනවමින් අධ්‍යාපන සේවයේ මාරුවීම් ක්‍රමවේදය හාස්‍යයට ලක්කිරීම පසුපස අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියකු සිටින බවත්, විදුහල්පතිවරුන් කිහිප දෙනෙකු කෙරෙහි ඔහුගේ පෞද්ගලික එදිරිවාදිකමක් පිරිමසා ගැනීමේ බලාපොරොත්තුවෙන් මෙම චක්‍රලේඛය ගෙන ඒමට සූදානම් වන බවත් එම අමාත්‍යාංශයෙන් වාර්තාවේ.

මේ පිළිබඳව රාජ්‍ය සේවා කොමිසමේ සභාපති ධර්මසේන දිසානායක මහතාගෙන් 'මව්බිම' කළ විමසුමේදී, අධ්‍යාපන අමාත්‍යාංශයේ මාරුවීම් ආදිය පිළිබඳ අනුමැතිය දීමේ සියලු බලය මේ වන විට අධ්‍යාපන සේවා කමිටුවට පවරා ඇති බැවින් තමන් වෙත ඒ පිළිබඳ තොරතුරු වාර්තා නොවන්නේ යැයි පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon