බැඳුම්කර පරීක්ෂණවලට ඉහළින් බලපෑම්

  👤  3931 readers have read this article !
By mawbima 2018-06-17

සාකච්ඡා කළේ - අනුරාධා හේරත්

ඔබ බලයට පත් වී වසර තුනහමාරක කාලයක් ගතව තිබෙනවා. ජනපති ලෙස ඔබ බලාපොරොත්තු වූ ඉලක්ක සපුරා ගන්න හැකි වුණාද මේ කාලය තුළ?

ඔව්, බොහොම පැහැදිලිව. මම නම් සතුටු වෙනවා. මේ රටේ ජනතාව ලබා ගත්ත ජයග්‍රහණ රාශියක් තිබෙනවා. හැබැයි ඒ ජයග්‍රහණ පිළිබඳව හෝ මේ ජයග්‍රහණ ලැබුවයි කියන එක ජනතාවටත් විශේෂයෙන් ඒ අයගේ පැත්තෙනුත් ඔළුවට එන්නෙ නෑ. නමුත් දැන් අවුරුදු තුනහමාරකට කලින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, මාධ්‍ය නිදහස මේ සියල්ල ගත්තම අසීමිත නිදහසක් රටේ ජනතාව භුක්තිවිඳිනවා. මාධ්‍යත් එහෙමයි. අනෙක් පැත්තෙන් ගත්තම ජාත්‍යන්තර සම්බන්ධතා, මීට කලින් කිසිම ආණ්ඩුවක් නැති විදිහෙ විශාල ජාත්‍යන්තර සබඳතාවන් ශක්තිමත් කරගත්තා. ඒ වගේම අපි විදේශ ණය ප්‍රමාණයත් විශාල වශයෙන් ගෙවලා තියෙනවා. විදේශ ණය වැඩිම ප්‍රමාණයක් ගෙවන්න තියෙන්නෙ මේ වසර තුළ. මේ අවුරුද්දෙන් පස්සෙ ඇත්තටම රටට ණය බර නැහැ. අනෙක් පැත්තෙන් විශේෂයෙන්ම නීතිය, අධිකරණය අපි ශක්තිමත් කරලා තියෙනවා. ජනතාවට බොහොම නිදහස්ව ජීවත් වන්නට පුළුවන් පසුබිම අපි සකස් කරලා තියෙනවා.

නමුත් මේ රජය විශාල චෝදනාවලට ලක්වූ රජයක් හැටියටයි නම් වී තිබෙන්නේ?

රජය ලබාගත් ඒ ජයග්‍රහණ ඇතැම් වෙලාවට යටපත් කර පෙන්නුවත් බොහෝ වෙලාවට ඒවා යටපත් කරන්නේ සමාජ වෙබ් අඩවි හරහා එන අසත්‍ය ප්‍රචාර එක්ක. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා, ඒවා වඩාත් ජනතාවගේ මතකයට සහ අවධානයට එන ලෙස ඒවා ශක්තිමත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

ඔබ මාධ්‍ය නිදහස ගැන සඳහන් කළා. නමුත් මෑතකම වූ ටී.එන්.එල්. රූපවාහිනි සිදු විකාශනාගාරයකට මුද්‍රා තැබීම සම්බන්ධ ප්‍රබලම චෝදනාව එල්ල වුණේ ඔබට?

දැන් ටී.එන්.එල්. එකටම අපේ නියෝජිතයෙක් ගිහිල්ලා පසුගියදා ඒ ගැන බොහොම හොඳට පැහැදිලි කළා. ටී.එන්.එල්. එක බලපත්‍ර නොමැතිව ඒගොල්ලන් විකාශනාගාරයක් පොල්ගහවෙල පවත්වාගෙන ගොස් තිබෙනවා. එවිට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නිලධාරීන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. අනෙක් එක ටී.එන්.එල්. එකට විතරක් වූ දෙයක් නෙමේ. මාස තුන හතරකට කලින් ජාතික රූපවාහිනියටත් ඔය දේ වුණා. පෞද්ගලික මාධ්‍ය ආයතන ගණනාවකට ඔය දඬුවම දීලා තියෙනවා. හැබැයි ඒ ගැන කවුරුත් කතා කළේ නැහැ. නමුත් ටී.එන්.එල්. එකට වෙනත් දේශපාලන පසුබිමක් තියෙනවා. ඒක වෙනම උස්සලා පෙන්නනවා දේශපාලන පළිගැනීමක් කළා කියලා. ඒකට විදුලි සංදේශ නියාමන කොමිසම නීතිය ක්‍රියාත්මක කළා මිසක මගේ පෞද්ගලික සම්බන්ධයක් නැහැ.

ඔබ කියනවා රටේ ජනතාව නිදහසේ සාධාරණව ජීවත් වන බව. නමුත් මේ වන විට ඔවුන් චෝදනා කරන්නෙ පක්ෂ දෙකේ බල පොරය මිස රටේ සංවර්ධනයක් නෑ කියලා.
මේ බල පොරය නවතින්නෙ කවදද?

නෑ. මේ පක්ෂ දෙකේ බල පොරය දිහා බලාගෙන ඉන්න ඕනෙ නෑ. රටේ ජනතාව තම තමන්ගේ තියන වැඩ කරගත්තම එච්චරයි. තමන්ට දෛනික ජීවිතේ දේවල් තම තමන් කරගත්තා නම් ඔය කියන ප්‍රශ්නයක් නෑ. ඒ නිසා මේ හවසට රූපවාහිනිය දිහා බලාගෙන වෙන රණ්ඩු දිහා බලාගෙන ඉන්න එක නෙවේ තිබිය යුත්තේ. තමන්ගේ ජීවන වෘත්තියෙන් කරන සේවාවන්, ව්‍යාපාරික කටයුතු කරගෙන නිදහසේ දරුවො එක්ක සන්තෝෂයෙන් ඉන්න එකයි තියෙන්නෙ. දේශපාලන බල පොරය දිහා බලන්න ඕනෙ නෑ. ඒවා දිහා බලන්න ඕනෙ ඡන්දයක් එන දවසට.

ඔබ මීට පෙර සෝභිත හිමිගේ ආදාහන උත්සවයේදී වගේම සිවිල් සංවිධාන 49ක් එක්ව විහාරමහාදේවි උද්‍යානයේදී විධායක ජනපති ක්‍රමය අහෝසි කරන බවට ප්‍රතිඥා දුන්නා. අදටත් ඒ ප්‍රතිඥාව වලංගුද?

මගේ ඒ ප්‍රතිඥාව එදත් එකයි, අදත් එකයි. හෙටත් එකයි. 20 වැනි සංශෝධනය මොකක්ද කියලා අපි දැනට අධ්‍යයනය කරනවා.

ඔබට හිතෙන්න නැද්ද තනි පුද්ගලයකු යටතේ තියන විධායක බලතල පාර්ලිමේන්තුවට බෙදුණොත් ඒ තුළ නිවැරැදි ප්‍රජාතන්ත්‍රවාදයක් ගොඩනැඟිය හැකියි කියලා?

ඉතින් ඒ මතය තුළනෙ මං හැමදාම ඉඳලා තියෙන්නෙ. ඒක මගෙ වෙනස් වෙලා නෑ. ඒ මතය තුළ මා අදත්, හෙටත් සිටිනවා.

ඔබ බලයට පත්වූ ජනාධිපතිවරණයේ අනෙක් ප්‍රධානතම සටන් පාඨය වුණේ හොරු, දූෂිතයන්ට කිසිදු සමාවක් නැති බව. නමුත් අද වෙද්දි හොරු දූෂිතයෝ පිනුම් ගසමින් නේද තවත් හොරකමේ යෙදිලා ඉන්නේ?

ඔය හොරු සහ දූෂිතයන් ගැන කතා කරනකොට ඔය අහන ප්‍රශ්නෙට වඩා පුළුල් දූෂණය, වංචාව, හොරකම කියන දේවල්. අද අපේ රටේ වගේම ජාත්‍යන්තර වශයෙනුත් ප්‍රබල ප්‍රශ්නයක් බවට පත්වෙලා තිබෙනවා. අද ඇමෙරිකාව වගේ රටවල්වලත් දූෂණය, හොරකම කියන එක ලොකු ප්‍රශ්නයක්. එහි තිබෙන ආර්ථික, වාණිජ හා තරගකාරී සමාජය තුළ මුදල් ඉපයීමේ තරගය නීත්‍යනුකූල ක්‍රමයට වඩා නීත්‍යනුකූල නොවන ක්‍රමයට දූෂිත ආකාරයෙන් තමයි බොහෝ අය පෙලඹිලා ඉන්නෙ. දූෂණය කියන එක, හොරකම කියන එක ඉතාම පුළුල් සමාජ බලවේගයක් බවට පත්වෙලා තියෙන්නෙ.

නමුත් ඒ දූෂණය, හොරකම ඇතුළත් බලවේගයට තිත තබන බවටයි ඔබ ප්‍රතිඥා දුන්නෙ?

ඔව්. දැන් අපි ආණ්ඩුව ආවට පස්සෙ දූෂණයට හොරකමට විරුද්ධ රාජ්‍ය දේපළවලට අදාළ අලුත් නීති හැදුවා. ආයතන හැදුවා. ඒ වගේම විශාල වශයෙන් පරීක්ෂණ පැවැත්වූවා. නඩු දාලා තියෙනවා. නඩු අහනවා උසාවිවල, අධිකරණවල. ඒ වගේ කටයුතු රාශියක් වෙනවා. නමුත් මේ කාලය තුළ වගේ අවුරුදු 3කට, 4කට ඉස්සර වෙලා මේ රටේ දූෂණයට විරුද්ධව මේ වගේ වැඩපිළිවෙළක් තිබුණෙ නෑ. ඒ නිසා එකක් තමයි රටේ පවතින රාජ්‍ය අංශයේ තිබෙන දූෂණ, වංචා, හොරකම් සම්බන්ධයෙන් වඩාත් ශක්තිමත් පුළුල් දූෂණයට විරුද්ධ ජාතික බලවේගයක් අවශ්‍යයි කියා මා නැවතත් කියනවා.

එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීම ඇයි මෙතරම් ප්‍රමාද?

අද වෙද්දි මේ දූෂණය තුළ ඉන්නෙ කවුද, නැත්තෙ කවුද කියලා හොයන්න බැරි තරමට සමාජගත වෙලා. ඒ තරමට සංකීර්ණ තැනට පත්වෙලා. ඒක දේශපාලනඥයාද, රාජ්‍ය නිලධාරියාද, ව්‍යාපාරිකයාද, ඇතැම් තැන්වල සාමාන්‍ය ජනතාවද මේ දූෂණයෙ ඇතැම් විට දැනුවත්ව හෝ නොදැනුවත්ව කොටස්කරුවන් වී තිබෙනවා. ඒ තරමට දූෂිත බලවේග ප්‍රබලයි. ඊට ආගමවත්, භාෂාවවත් ප්‍රශ්නයක් නෑ. ඔබ අහපු ප්‍රශ්නය එක්ක මා සඳහන් කරන්න අවශ්‍යයි දූෂණයට විරුද්ධව සමාජයේ සටන් කරන අය සංවිධානාත්මකව ශක්තිමත් විය යුතුයි. එහෙම නැතිව මාධ්‍ය ඉදිරියේ දූෂණ විරෝධීන් වී පලක් නෑ. ක්‍රියාකාරිත්වය තුළයි එය පෙන්නුම් කළ යුත්තේ.

දූෂණයට ඔබ මේ තරම් විරුද්ධ බව කිව්වත් වංචා, දූෂණ සම්බන්ධ මාතෘකාවලදී ඇයි ඔබ ප්‍රබල විවේචනයකට ලක් වෙන්නෙ?

අද මා එක්ක මේ රටේ තරහා වෙච්ච, අමනාප වෙච්ච පිරිසක් ඉන්නවා නම් මේ වසර තුනහමාර තුළ, විශේෂයෙන්ම පක්ෂ, විපක්ෂ භේදයකින් තොරව මං කියනවා ඒ තමයි මා එක්ක අමනාප වෙලා, මා විවේචනය කරලා නොයෙකුත් ආකාරයේ කටයුතු කරන්නෙ අංක එකේ දූෂිත පුද්ගලයෝ කියලා. නොයෙකුත් ආකාරයේ වැරැදි කරපු අය, වැරදි කරමින් සිටින අය, මම දූෂණයට විරුද්ධව කතා කරන හා ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා නිසාත් ඊට විරුද්ධව සංවිධානය කරන නිසාත් ජාතික හා අන්තර්ජාතික වශයෙනුත් දූෂණයට, වංචාවට, නාස්තියට විරුද්ධව මා ක්‍රියාත්මක නිසාත් අද අපේ රට තුළත් දූෂණ බලවේග ඒකරාශී වී සිටිනවා. එතැනදි තමයි මා විශ්වාස කරන්නේ දූෂණයට විරුද්ධ පුළුල් බලවේගයක අවශ්‍යතාව තිබෙන බව.

ඔබ සෘජුවම පැවසුවා දූෂණයට විරුද්ධව මාධ්‍යයේ පමණක් වීරයෝ වීම පලක් නැති බව. එසේ නම් ඔබට මේ සම්බන්ධව ප්‍රායෝගික වැඩපිළිවෙළක් තිබිය යුතුයි නේද?

ඔව්, මේ රටේ වැරැදි කරන දේශපාලනඥයෝ වගේම ඉතාම අවංක දූෂණයට විරුද්ධ හොඳ දේශපාලනඥයෝ පිරිසක් ඉන්නවා. දේශපාලනයේ කවුද දූෂිත නොවන අය, රාජ්‍ය සේවයේ කවුද දූෂිත නොවන අය, ව්‍යාපාරික ක්ෂේත්‍රයේ කවුද දූෂිත නොවන අය, පොදු ජනතාව තුළ කවුද දූෂණයට විරුද්ධව පෙළගැසෙන අය. මේ හැමටම අද වේදිකාවක් අවශ්‍යයි. ඒ නිසා මං බලාපොරොත්තු වෙනවා විශේෂයෙන් ඵ විරෝධී පුළුල් ජාතික වැඩසටහනක් එම පිරිස සමඟ අරඹන්න. මේ වන විට මා එහි ආරම්භක කාර්යයන් කිහිපයක් ඉෂ්ට කර තිබෙනවා. ඒ වගේම ලබන ජූලි මාසේ යනවා ජෝර්ජියාවේ පැවැත්වෙන ජාත්‍යන්තර දූෂණ විරෝධී සමුළුවට. මම 2016 සහභාගි වුණා එංගලන්තයේ මහා බි්‍රතාන්‍යයේ ලන්ඩන්වල තිබූ දූෂණ විරෝධී ජාත්‍යන්තර සමුළුවට. විශේෂයෙන්ම දූෂණ විරෝධී අන්තර්ජාතික සංවිධාන විශාල වශයෙන් මට ශක්තියක් දෙනවා. ඒ වගේම ඒගොල්ලො මට ආරාධනා කරනවා ජාත්‍යන්තර කටයුතුවලටත් එකතු වෙන්න කියලා. ඒ ශක්තිය, මම ඒ ජාත්‍යන්තර බලවේගත් මං බලාපොරොත්තු වෙනවා මේ රට තුළට ගේන්න දූෂණයට විරුද්ධව ගෙනියන වැඩසටහන ශක්තිමත් කරන්න.

ඒ නිසා දූෂණය සමාජයෙන් අයින් කරනවායි කියන එක, දේශපාලනඥයන්ගෙන් අයින් කරන එක, රාජ්‍ය නිලධාරීන්ගෙන් අයින් කරනවායි කියන එක පහසු දෙයක් නෙවෙයි. මේක සමාජගත වෙලා ඉතාම නරක විදියට ඔඩුදුවලා තියෙන්නෙ.

හැබැයි මේ වන විට ඔබට ජනතාවගෙන් එල්ල වන විශාලතම චෝදනාව තමයි පසුගිය රාජපක්ෂ පාලනයේ හොර, දූෂිත ක්‍රියාවලට හවුල් වූ කිසිවකුට නීතිය ක්‍රියාත්මක කර නොමැති බවට?

ඒ දඬුවම් මම නෙවේ දෙන්න ඕනේ. ඒවා භාරව සිටින අය. පොලිසිය මගෙ අතේ නෑ.

පොලිසිය භාර ඇමැතිවරු, අමාත්‍යාංශ, පොලිසිය භාර දේශපාලන පක්ෂ ඒගොල්ලො වගකියන්න ඕනෑ. සම්මුතිවාදී ආණ්ඩුවක තියෙනවා සම්මුතියක්. ඒ සම්මුතිය තමයි ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකට එකතුවෙලා රට පාලනය කරද්දි මේ තුළ ශ්‍රීල.නි.ප. ඇමැතිවරුන්ගේ අමාත්‍යාංශ සම්බන්ධයෙන් කටයුතු කරන්නෙ මම. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යවස්ථාපිත බලය කොයි ආකාරයක තිබුණත් මේ සම්මුතිය තුළ අනෙක් එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යාංශ කටයුතු සොයා බැලීම කාර්යක්ෂම කිරීම ඒක අගමැතිගේ කාර්යයක්. ඒක ඒ පැත්තෙන් වෙන්නේ. එතකොට ඒ ආයතනික බලය අවුරුදු 3ක් තිස්සේ ඒගොල්ලො අතේ තියෙන්නේ. ඒ නිසා ඒ වගකීම ඒගොල්ලො ගන්න ඕනේ. මගේ වගකීම කිසිම අඩුවක් නැතිව මං ඉෂ්ට කරලා තිබෙනවා.

ඔබ වරෙක චෝදනාවක් කළා වැඩ කරන්න නොදී කකුලෙන් අදින බවට. ඒ ප්‍රකාශයයි ඔබේ මේ ප්‍රකාශයයි ගත්තම කිසියම් ඉහළ දේශපාලන තලයක්ද මේ පිටුපසට වී බලපෑම් කරන්නේ?

පැහැදිලිවම බලපෑම් කරන අය ඉන්නවා. අද මහ බැංකුවේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අනුව අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, මහ බැංකුවේ නිලධාරීන්ට ඉදිරි පරීක්ෂණ කටයුතු ක්‍රියාමාර්ග ගෙන යෑමට ඉඩ නොදෙන බලපෑම් ඇති කරමින් තිබෙනවා. ඒ වුණාට ඒ ගැන කතා කරනවා.

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව දිගින් දිගටම ආන්දෝලනයට තුඩු දුන්නා. පරීක්ෂණ කඩිනම් කළ යුතු බවත් සඳහන් වුණා. නමුත් එහි දෙවැනි පාර්ශ්වය වූ අර්ජුන් ඇලෝසියස්, කසුන් පලිසේන වැනි අය සිරගත කළාට ඊට සෘජුව මැදිහත් වූ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් හෝ දේශපාලනඥයන් කිසිවකුට නීතිය ක්‍රියාත්මක වී නැහැ.

නෑ. ඔය හැමදේම ඔය කියන ඉක්මනට කළ හැකි දේවල් නෙවෙයි. රටක නීතියක් තිබෙනවා. එතකොට කොමිෂන් සභාවක් තිබුණා අවුරුදු 1 1/2ක් විතර. ඒගොල්ලො වාර්තාවක් දුන්නා. මම කලින් කියපු ආයතන, පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, මහ බැංකුව ඒගොල්ලන් ඒ කොමිෂන් සභා වාර්තාව තුළ කටයුතු කළ යුතු වැඩපිළිවෙළක් තිබෙනවා. එතකොට ඒගොල්ලන් ඒවා කරගෙන යනවා. ඒවාට බාධාවක් නෑ. ඒවාට බාධා කරන අය ඉන්නවා. නමුත් ඒ නිලධාරීන්ට අපි ස්තුතිවන්ත වෙන්න ඕනෑ ඒ අය ලොකු කැපවීමකින් ජීවිත පරදුවට තියලා ඒ කටයුතු කරගෙන යනවා. ඒ අයට අපි ශක්තිය දෙන්න ඕන.

බැඳුම්කර සම්බන්ධ කාරණා උසාවියට ඉදිරිපත් කරද්දි බී වාර්තාවේ එ.ජා.ප.යේ දෙදෙනකුගේ නම් සඳහන් වුණා. එතැනදි ඒ දේශපාලනඥයන්ගේ නම් එළියට දාන්න එපා කියලා බලපෑමක් තිබුණා නේද?

එවැනි ආරංචි තමයි මමත් දන්නෙ. ඒ හැර කරුණක් මම දන්නෙත් නෑ. මටත් එවැනි ආරංචි තියෙනවා සමාජය තුළින්. ඉතින් ඒකෙදි හැම කෙනෙක්ම දැනගන්න ඕනෑ එවැනි චෝදනාවලට ලක් නොවන විදියට ඒ පරීක්ෂණ නිලධාරීන්ට සහ ආයතනවලට කටයුතු නිදහසේ කරගෙන යෑමට ඉඩ දෙන්න.

බැඳුම්කර කොමිෂන් වාර්තාව අතට ගෙන එදා ඔබ ජාතියට ප්‍රකාශයක් කළා අහිමි වූ මුදල් නැවත අය කර ගැනීමට විශේෂ පනත් 3ක් ගෙනෙන බව. නමුත් අද වන තුරු එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී නැහැ නේද?

ඒ පනත් ඔක්කොම අපි හදලා ඉවර වෙලා ඔක්කොම පාර්ලිමේන්තුවට යවලා ඉවර වෙලා තියෙද්දි පාර්ලිමේන්තුවේ හිරවෙලා තියෙනවා. ඒකට පනත් දෙකක් සංශෝධනය කරන්න තියෙනවා. නඩු ඉක්මනින් ඇසීමට හා මහ බැංකු මුදල් අය කරගන්න අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභා පනත සංශෝධනය කරන්න. ඒ ඔක්කොම දැන් යවලා පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුවේ තියෙනවා න්‍යාය පත්‍රයට දාන්නෙ නැතිව. පාර්ලිමේන්තුවේ කටයුතුවලට බලපෑම් කරන්න මට කොහෙත්ම පුළුවන්කමක් නෑ.

ඒ වාර්තාවේ පරීක්ෂණවල ප්‍රගති සමාලෝචනයක් සිදු කරන බවත් ඔබ පැවැසුවා. එවැනි සමාලෝචනයක් සිදු වෙනවද?

ප්‍රගති සමාලෝචන කටයුතු කෙරෙනවා. මගේ පැත්තෙන් සිදුවිය යුතු කටයුතු සිදු වෙනවා. නමුත් මේකට බොහෝ බාධාවන් තියෙනවා. ඒ බාධාවන් දෙස බොහොම බුද්ධියෙන් අපි බලන්න ඕනෑ. (සිනාසෙමින්) ඒ බාධා ඉවත් කරගන්නෙ කොහොමද? ඒවාට මුහුණදිය යුත්තෙ කොහොමද කියලා.

බැඳුම්කර කොමිෂන් වාර්තාවේ එදා ඉවත් කළ පිටු 106ත් එදාම ඉදිරිපත් කළා නම් ප්‍රශ්නය මේ තරම් දුරදිග යෑමක් සිදු නොවන්න තිබුණා නේද?

මොනවද ඔය කියන 106?

එම පිටු 106 තුළ අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ගත් හා දුරකථන ඇමතුම් සංවාදවල නිරත වූ පුද්ගලයන් පිළිබඳ තොරතුරු සඳහන් බව කියනවා?

එහෙම පිටින්ම බොරුනේ ඔය කතා. ඒ කොමිෂන්වල ලිපි ලේඛන තියෙනවා ටොන් ගාණක්. ඒවා අපි බලන්නෙ නෑ. අපිට කොමිෂන් සභාව ගෙනැල්ලා දුන්න වාර්තා තමයි අපි පාර්ලිමේන්තුවටත්, නීතිපති දෙපාර්තමේන්තුවටත්, මහ බැංකුවටත් ලබා දුන්නෙ. ඒවා පරීක්ෂා කිරීම ඒ කටයුතුවලට අදාළ ආයතනවල සම්පූර්ණ අයිතියක්. ඒක ජනාධිපතිට අයිති දෙයක් නෙවේ. ජනාධිපති ඉන්නෙ නීතිපති දෙපාර්තමේන්තුවෙ වැඩ කරන්න නෙවේ. එහෙම නැතිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හෝ අධිකරණයේ කටයුතු කරන්න නෙවේ. ඔය චෝදනා කරන අය අන්න ඒක බොහොම පැහැදිලිව තේරුම් ගන්න ඕනෑ. සමාජය තුළ මේ වගකීම් තියෙන්නෙ කාටද කියලා. ජනාධිපතිට අයිති දේ ජනාධිපති කරලා ඉවරයි. කොමිසම පත් කළා, වාර්තාව නීතිපතිට ලබා දුන්නා. ප්‍රගති සමාලෝචන සිදු කළා. මේ ලිපි ලේඛන තුළ තියෙන දේවල් පරීක්ෂණ සිදු කරගෙන යන විට ඒ ඒ නිලධාරීන් තේරුම් ගෙන කළ යුතුයි. ඒක මට කොහෙත්ම අයිති නෑ.

බැඳුම්කර වංචාවට අදාළව මුදල් ගත් බවට ප්‍රබලම චෝදනාව එල්ල වී තිබෙන මන්ත්‍රි සුජීව සේනසිංහ පැවැසුවා ෆුට් නෝට් කණ්ඩායමේ ක්‍රියාමාර්ග හරහා තමයි බැඳුම්කර කොමිසමක් ස්ථාපිත කිරීමට සිදු වුණේ කියලා?

ෆුට් නෝට් කල්ලිය නේන්නම් වැරැදි කළේ. ෆුට් නෝට් කල්ලිය වැරැදි කරපු නිසා තමයි මම කොමිෂන් සභාවක් පත් කළේ. පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව හරියට කටයුතු කළා නම් මට කොමිසමක් පත් කරන්න වුවමනාවක් වෙන්නෙ නෑ. ඒක නොවුණු නිසා තමයි ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිසුරන් සහිත කොමිසමක් පත් කළේ.

විවිධ ඇමැතිවරු විවිධ ස්ථානවල දූෂිතයන්ට දඬුවම් දෙන බව පරීක්ෂණ කඩිනම් කරවන බවට ප්‍රකාශ කරනවා. මහජන නියෝජිතයන් හැටියට ඔවුන්ට එවැනි ප්‍රකාශ කළ හැකිද සහ එය අධිකරණයට සිදුවන බලපෑමක් නොවේද?

ඒක තමයි ඉතින්, මහජන නියෝජිතයනුත් දැනගන්න ඕනෑ කටට ආපු දේ කියන්නෙ නැතිව වගකීමෙන් කටයුතු කරන්න. ඔය වගේ ප්‍රශ්නවලදී හැම කෙනෙක්ම වගකීමෙන් කටයුතු කරන්න ඕනෑ. කවුරු හරි කියපු දෙයක්, සමාජයේ කතාවට ලක්වෙන දෙයක් ගැන එහෙම කතා කිරීම සුදුසු නෑ අපිට යමක් සාක්ෂි ඇතිව, වගකීමක් ඇතිව කතා කළ හැකි දේ තමයි අප කතා කළ යුත්තෙ. ඔය වගේ දෙයක් ගැන කතා කරන එක විශේෂයෙන්ම අධිකරණ ක්ෂේත්‍රයට අයිති දේවල්. නීතිපති දෙපාර්තමේන්තුවට අයිති දේවල්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අයිති දේවල්. මේවා ගැන කතා කරද්දි හැමෝම බොහොම පරෙස්සමින් කතා කරන්න ඕනෑ. මාධ්‍ය වීරයෝ වෙන්නෙ නැතිව. ඒක තමයි මට පැහැදිලිව කියන්න තියෙන්නෙ.

මේ වන විට 2012, 2013 වසරවල ඇපෑල තමයි මේ මොහොතේ විභාගයට ගැනෙන්නෙ. එවැනි මොහොතක සිල් රෙදි නඩුවට අදාළව දඬුවම් නියම වූ ලලිත් වීරතුංග, අනූෂ පැල්පිටට පැවරූ ඇපැල් නඩුව මාස 7කින් විභාගයට ගත්තේ දේශපාලන බලපෑම් නිසා නේද?

ඇත්තටම ඔය කියන ක්ෂේත්‍රයට මගේ කිසි සම්බන්ධයක් නෑනේ. ඕවා ඔය කතා කරන හැම කෙනෙක්ම දන්නවා ඉතාම වගකීමෙන් ඒවා ගැන කතා කළ යුතුයි කියලා. උසාවියේ නඩු පවරන ඒවා, දින නියම කරන ඒවා සම්බන්ධයෙන් ජනාධිපතිට කිසිදු අයිතියක් නෑ ඇඟිලි ගහන්න. ඒවා නිදහස්, ස්වාධීන ආයතන. එක එක්කෙනාට කටට ආපු දේවල් කතා කරන්න පුළුවන්. ඔය කියන කටයුතුවලට මගේ කිසිදු සම්බන්ධයක් නෑ.

පසුගිය අඟහරුවාදා දිනක ඔබ අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු එ.ජා.ප. ප්‍රබලයන් කිහිපදෙනෙක් හා ඔබ පක්ෂයේ ප්‍රබලයන් කිහිපදෙනෙක් සාකච්ඡාවක් පැවැත්වූ බවත් ඊට පාදක වුණේ පසුගිය රාජපක්ෂ කණ්ඩායමේ නඩු තීන්දු කඩිනම් කිරීමට බවත් වාර්තා වුණා. ඇත්තටම මොකක්ද ඒ සාකච්ඡාව?

සම්පූර්ණ බොරු. එවැනි සාකච්ඡාවක් අප අතර තිබුණෙ නෑ.

හැබැයි මාධ්‍යවල
පළ වුණා?

මං දැක්කා. මං දැක්කා ඔබගේ පුවත්පතෙත් ඒ ගැන පළ වුණා. (මහ හ¾ඩින් සිනා) ඒක සම්පූර්ණ බොරු.

ලසන්ත වික්‍රමතුංග, එක්නැළිගොඩ, තාජුඩීන් ඝාතන නඩු, කීත් නොයාර්ට පහරදීම වැනි නඩු ඉක්මන් කළ යුතු බව ඔබ පැවැසුවා. මේ ආකාරයට ඉක්මන් කළ යුතු තවත් නඩු බොහොමයක් තිබෙනවා නේද?

ඔව්. ඉක්මන් කළ යුතු නඩු ඕනෑ තරම් තියෙනවා. මම පොදුවේ තමයි කියන්නෙ. ඒ ඇරෙන්න වෙන වෙනම නම් කරලා නඩු ගැන මම කොයි වෙලේවත් කියන්නෙ නෑ. ඒවා වැරැදි විදියට මාධ්‍යවල යනවා. සමහර ඒවට බොරු ප්‍රචාර දෙනවා. සමහරු කිසි වගකීමක් නැතිව මම කිව්වාය කියනවා.

නමුත් ජනතාවට දේශපාලනය ගැන හෝ රටේ නීතිය ක්‍රියාත්මක වීම ගැන තියෙන්නෙ අල්ප දැනුමක්. ඔවුන් විශ්වාස කරන්නෙ රාජ්‍ය නායකයා හැටියට ඔබ මේ සියලු දේට මැදිහත්ව නායකත්වය දිය යුතුයි කියලා?

ඔව්. නමුත් ජනාධිපතිට අධිකරණයට ඇඟිලි ගහන්න පුළුවන්කමක් නෑ. ඔය ආයතන භාරව සිටින අයයි ඒවා කළ යුත්තෙ. ජනතාව නොමඟ යවන බොරු ප්‍රචාර හුඟක් දීලා තියෙනවා. ඔය හැම එකටම උත්තර දිදී ඉන්න ගියොත් මට වැඩක් කරන්න වෙලාවක් නෑ.

අගමැති රනිල් වික්‍රමසිංහ සමඟ ඔබට වැඩ කළ නොහැකි බව කිව්වා. ඒ ප්‍රකාශය යල් පැනලා. තවමත් ඔබ ඔහු සමඟ කටයුතු කරනවා?

නෑ. ඕවා දැන් ඉතින් ඉවරයිනේ.

නමුත් ඔබ නේද අගමැතිට ඉවත් විය යුතු බවත් අවධාරණය කළේ? ඇයි ඊට ඔබේ බලපෑමක් නොතිබුණේ?

දැන් අපි මේ ආණ්ඩුව කරගෙන යන්න ඕනෑනේ. ඕවා තව අවුස්සන්න වුවමනාවක් නෑ.

ඔබ මැතිවරණ සමයෙදි කිව්වා 'මම හොරුත් සමඟ නැවත කටයුතු කරන්න ලෑස්ති නෑ' කියලා?

කොහෙත්ම මං හොරුත් එක්ක කටයුතු කරන්නෙ නෑ. එදත් එහෙමයි, අදත් එහෙමයි. හෙටත් එහෙමයි.

දැන් ආණ්ඩුවේ ඉන්න බහුතරයක්ම හොරු නේද ජනාධිපතිතුමා?

හොරු හැමතැනම ඉන්නවා. කොහෙද හොරු නැත්තේ. ඒවා ඉතින් නීත්‍යනුකූල ක්‍රියාමාර්ග ගන්න ඕනෑ, ගන්න ඕනෑ තැන්වලදි. ඒකනෙ ඔය ආයතන තියෙන්නෙ.

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීල.නි.ප. මන්ත්‍රි 16 දෙනා කියනවා අනෙක් ශ්‍රීල.නි.ප. කණ්ඩායමත් ආණ්ඩුවෙන් එළියට ආ යුතුයි කියලා. එවැනි සටනක් තියෙද්දි ඔබ මේ කණ්ඩායම් දෙකටම නායකත්වය දෙනවා. මොකක්ද මේකෙ තේරුම?

ඉතින් ශ්‍රීල.නි.ප.ය මගෙ පක්ෂයනේ. ආණ්ඩුව එක්ක කොටසක් ඉන්නවා. ආණ්ඩුවෙන් පිට කොටසක් ඉන්නවා.

එතකොට මෙතැනදි ජනතාව නේද මුළා වෙන්නෙ?

නෑ නෑ. ජනාධිපතිවරයෙක් වුණාම කෙනකුට තමන්ගෙ නිදහසේ වැඩ කිරීමේ අයිතියක් දිය යුතුයි. තිබිය යුතුයි. ඒක බැඳලා කටයුතු කළ යුතු නෑ. ඕක සමාජය තුළ තිබෙන විවිධ හැලහැප්පිලි සහ වෙනසත් එක්ක තිබෙන දේවල්.

ඔබට හිතෙන්නෙ නැද්ද ශ්‍රීල.නි.ප.යෙ සිටි පිරිසක් වෙනම ඒකාබද්ධ විපක්ෂයක් ලෙසට ගොස් වාඩි වීමට ඉඩ දීම දේශපාලන වශයෙන් කරගත් වරදක් කියලා?

නෑ. කවුරුත් දේශපාලන වශයෙන් කෙනකුට වැඳගෙන ඉන්න බෑනේ. තමන්ගේ නිදහසේ තමන්ට වැඩ කරන්න දෙන්න ඕනෑ. ඒ කරන අය හරිද වැරැදිද කියන එක වෙනම දෙයක්.

පක්ෂයක් වශයෙන්?

ඒක තමයි. පක්ෂයක් වශයෙන් ගත්තත් පාර්ලිමේන්තු විපක්ෂ පාර්ශ්වයේ ඉන්න ඕනෑ කිව්වා. අපි ඒකට ඉඩ දුන්නා. අපිට ඒ අය බලෙන් බැඳගන්න බෑනේ.

එහෙම නම් විනය විරෝධී ක්‍රියා කළ බව දන්වා ඒ අය පක්ෂයෙන් ඉවත් කළ යුතුව තිබුණා නේද?

පක්ෂයෙන් ඉවත් කරනවාය කියන එක අද තියෙන නීතියත් එක්ක බොහොම සංකීර්ණ කාරණයක්. පසුගිය අවුරුදු 20ක් ගත්තම පක්ෂ මාරු කළ අය, පක්ෂයෙන් වෙන් වෙච්ච අය ගැන හොයලා බලන්න ඕනෑ මොනවද ගත්ත නීතිමය ක්‍රියාමාර්ග කියලා.

අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව ගේන වෙලාවේ ඒ පිටුපස සිටි මහ මොළකරු ඔබ හැටියටයි හැඳින්වූයේ. නමුත් විශ්වාසභංගයට කලින් ගත් තීන්දු අවසාන මොහොතේ වෙනස් වුණා. ඒ වෙනස පිටුපස සිටියෙත් ඔබද?

මම මහ මොළකාරයා විදියට වැඩක් කළා නම් ඒක ඒ විදියටම කරනවා. මගේ මහ මොළේ මං පොඩි කරගෙන නෑ. ඕකට අත ගහපු මහ මොළකාරයෝ සමාජය හඳුනාගනීවි.

අගමැති ප්‍රමුඛ ආර්ථික කමිටුව විසිරුවා ඔබ ජාතික ආර්ථික සභාවක් පිහිටෙව්වා. රටේ ආර්ථිකය අගාධයට යන බව විවිධ පාර්ශ්ව පෙන්වා දෙනකම් නිහඬ වීමක් නේද තිබුණේ?

ඔය කියන විදියට මේ රටේ ආර්ථිකය කඩාවැටිලා නෑ. ඕක මේ දේශපාලන වාසියට කියන කතාවක්. පහුගිය අවුරුදු 3 1/2ක කාලය ගත්තම විදේශ ණය කොච්චර ගෙවලා තියෙනවද? 2014යි අදයි බඩු මිල බලන්න. එදාට වඩා අද බඩු මිල අඩුයි. මේක තමයි ඇත්ත තත්ත්වය.

නමුත් ඩොලරය 160ට අධිකව ඉහළ ගොස් තිබෙනවා?

ඔව් ඉතින් ඩොලරය 160ට නඟින එක, ඒ තියන විශේෂයෙන්ම ණයත් එක්ක විදේශ වත්කම් තත්ත්වය එක්ක අපි මුහුණදෙන ආර්ථික අර්බුදයේ කොටසක්නෙ ඒක.

ඔබ කියනවා එදා සහ අද භාණ්ඩ මිල අතර වෙනසක් තියෙනවා කියලා. නමුත් අඩු ආදායම්ලාභී පවුල්වල ජනතාව අද ආර්ථික තත්ත්වය සමඟ හෙම්බත් වී සිටිනවා?

ඔය කියන හැම කෙනෙක්ම අරගෙන බලන්න 2014 බඩු මිලයි, අද බඩු මිලයි. එවිට තේරුම් ගනියි. සුළු වෙනස්කම් තියෙනවා.

නමුත් ජනතාවගෙන් මෙවැනි ප්‍රබල චෝදනාවක් එල්ල වන මොහොතක ආණ්ඩුවේ ඇමැතිකම් නැති මන්ත්‍රිවරුන්ට අධීක්ෂණ තනතුරු, ඉන්ධන ගෙවීම්, රුපියල් 75,000ක දීමනාවක් ලබා දීම සාධාරණද?

ඒවා දුන්නු කෙනාගෙන් අහන්න ඕනෑ.

ඔබට මේ සම්බන්ධ මැදිහත් වීමක් ඇත්තෙම නැද්ද?

මගේ දැනුවත් බවක් නැහැ.

සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම රටේ ආර්ථිකයට ප්‍රබල හානියක් බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දුන්නා. ඔබට මේ ගැන තියෙන අදහස මොකක්ද?

ඔව්. ඒ ගිවිසුම අස්සන් කරලා නොයෙකුත් සංවාද යනවා දැන්. යමක් ක්‍රියාත්මක වෙනකොට තමයි ප්‍රශ්න ගැටලු මතු වෙන්නෙ. ඒ අනුව ඒවා නිරාකරණය කරගන්න පුළුවන්.

මැලේසියාව, තායිලන්තය හා ඉන්දියාව සමඟ තවත් ගිවිසුම් 3ක් ගැන සාකච්ඡා මතු වෙනවා. ඒ ගැන ඔබ දැනුවත්ද?

රටවල් එක්ක සාකච්ඡා තියෙනවා. ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් ඕනෑ. රටේ දේශීය ආර්ථිකය ශක්තිමත් වන විදියට රටට වාසි වන විදියට වෙන්න ඕනෑ. ලෝකයේ අද තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක හැම රටක්ම විදේශ රටවල් සමඟ ගිවිසුම් ඇති කරගෙන තිබෙනවා.

නව නියෝජ්‍ය ඇමැතිකම් ලබා දීමත් එක්ක ඇමැතිකම අහිමි වූ රවි කරුණානායකට ඇමැතිකමක් දෙන්න යන බව ආරංචියි. බැඳුම්කර වැනි සෘජු චෝදනාවකට ලක්වූ මෙන්ම ඔබ විසින්ම ඔහුට දඬුවම් දෙන බව කියූ එවැනි මන්ත්‍රිවරයකුට නැවැත ඇමැතිකමක් දිය හැකිද?

ඒක අගමැතිතුමාගෙන් අහන්න ඕනෑ.

එළැඹෙන ජනාධිපති අපේක්ෂකයා ලෙස ඔබ ඉදිරිපත් නොවන බව කිව්වත් ඔබම කිව්වා තව වැඩ කොටසක් කරන්න ඉතිරි වී තිබෙන බව. ඇත්තටම ඔබ නැවත ජනපති අපේක්ෂක ලෙස එනවද? නැද්ද?

පළමුවැනි දේ තමයි ලබන අවුරුද්දේ අවසානේ තියන ජනාධිපතිවරණයක් ගැන මම කතා කරන්න කැමැති නෑ. මං මීට කලිනුත් කිව්වා මේ ගැන කතා කරනවා නම් දේශපාලනඥයෝ රටට ලොකු විනාශයක් කරන්නේ.

ඔබ 2020 දේශපාලනයෙන් විශ්‍රාම ගන්නෙ නෑ කිව්වා. ඒ කතාවේ තේරුම මොකක්ද එතකොට?

මං එහෙම කිව්වේ මට දේශපාලන දැක්මක් තියෙනවා. දේශපාලන වැඩ කොටසක් තියෙනවා. රටට ආදරෙයි මං. ප්‍රජාතනත්්‍රවාදී, දූෂණ විරෝධී, විශේෂයෙන්ම මම හොරකමට, නාස්තියට, වංචාවට විරුද්ධ මිනිහෙක්. ඒ සටන මං සදාකාලිකවම ගෙනියනවා.

ඒක මේ 2020 ආවා කියලා තව අවුරුදු 2කින් ඒක නවත්වන්නෙ නෑ.

නමුත් ඒ සටන ගෙන යන්න දේශපාලනයේ බලයක් තියෙන්න ඕනෑ නේද?

ඔව්. ඉතින් ඒක එදාට බලාගමු අපි.

ඒ කියන්නෙ ඔබ නිත්‍ය වශයෙන්ම එනවා?

එහෙම නෙවෙයි මම කියන්නෙ. පැහැදිලිව තේරුම් ගන්න. මැතිවරණයක් තියෙනවයි කියලා දේශපාලනය කරන අය ගෙදර යනවද? නෑනේ.

අද රටට ප්‍රබලම තර්ජනයක් වන වන සංහාරය ගැන පරිසර ඇමැති ලෙස ඔබට විශාල වගකීමක් පැවරී තිබෙනවා නේද? විල්පත්තු වන විනාශය තවමත් එලෙසම සිදුවන බවට ප්‍රබල චෝදනාවක් එල්ල වෙනවා?

විල්පත්තුවේ ඔය කියන ප්‍රශ්නය නෙවේ තියෙන්නෙ. මේකත් මේ මවන දේවල්නේ. එතන කවුද ඔය ඉඩම් දුන්නෙ? ඔය ඉඩම් දුන්නෙ බැසිල් රාජපක්ෂ. මේ කතා කරන අය ඇයි ඒ ගැන කතා කරන්නෙ නැත්තෙ? ඔය අක්කර 3,000ක් දුන්නෙ වන රක්ෂිතයට අයිති බැසිල් රාජපක්ෂ කාලේ. වන රක්ෂණ නීති කඩලා ඒ ඔක්කොම කරලා ගැසට් කරලා දුන්නා. ඒවායෙ නැවත පදිංචි කිරීම් කරනවා. ඕවා 2012 දීලා තියෙන්නෙ. විල්පත්තු ප්‍රශ්නෙට තනිකරම වගකිවයුත්තා බැසිල් රාජපක්ෂ මිස වෙන කවුරුවත් නෙවෙයි. මං බොහොම පැහැදිලිව කියනවා.

පළාත් සභා මැතිවරණය මේ වසරේ පැවැත්වෙන බව කිව්වා. පැරැණි ක්‍රමයටද නව ඡන්ද ක්‍රමයක් යටතේද පැවැත්වෙන්නෙ?

ඒක ඉතින් පාර්ලිමේන්තුවෙන් තමයි තීරණය වෙන්නෙ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon