ලෝකයෙන්ම අංක 8 ‘සේරුනුවර හී සැරය’

  👤  3641 readers have read this article !
By mawbima 2018-06-17

ඉන්ද්‍රජිත් සුබසිංහ

දුක්ඛ දෝමනස්සයන් ඇතුළු ජීවිතයක වන ගැහැට ඔහු විඳගත්තේ මවු කුසට පැමිණි කාලයේ පටන්මය. එදා බුදුන් දෙසූ සේරු නම් විල අසබඩ පිහිටි නුවර හෙවත්, සේරුනුවර සමීපයේ ඔහු ඉපදුණද, ඒ කාලය වනවිට එහි නුවරක ශ්‍රී යක් නම් නොවීය. මායිම් ගම්මානවල වෙසෙන මිනිසුන්ගේ ලෙයට කුරුමාණම් අල්ලන කකුල් දෙකේ කොටියා මේ ගමට කළ විපත් සුළුපටු නොවීය. උෟ කොයි මොහොතක පැන ගොදුරු කරගනීදෝ යන හැඟීම විසින් ඔහුද ඔහුගේ නිවැසියන්ද ගම්වැසියන්ද යන සියල්ලන් රැය පහන් කිරීමට තෝරාගත්තේ අසල පිහිටි කැලෑ රොදය. කොටියාගේ කාලතුවක්කු උණ්ඩ වැටෙන සීමාවේය ඔවුන් ඇතිදැඩි වූයේ. අයියලා තිදෙනකුගෙන් පසුව නිවුන් සොයුරකු සමඟ උපන් අප කථානායකයාගේ ජීවිතයේ පළමු වසර දහයක පමණ කාලය ගෙවෙන්නේ මෙසේය.

යුද්ධය නිම වුවද පොළොව සමඟ ඔට්ටු වෙමින්, වගාවෙන් ජීවිතය ගැටගසන මවුපියන්, තමන් ඇතුළු සහෝදරයන් සිවුදෙනාට තුන්වේල පිරිමැසීම පිණිස ගන්නා වෙහෙස තවත් අනවරත යුද්ධයක් ලෙසින් ඔහු දුටුවේ. නමුත් මේ සියලු කරදර පීඩා බාධක මඟින් අයෝමය ශක්තියක් ඒ කයට මනසට සේන්දු වී තිබිණි. ඉකුත් දා ජපානයේ පැවැති ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ මීටර් 400 ඉසව්ව තත්පර 45.79ක වාර්තාගත කාලයකින් නිමකරමින් ඔහු විසින් විදහා දැක්වූයේ ඒ අයෝමය ශක්තියයි. එම ධාවනයේ රඟ කෙසේද යත් වසර 20ක් කිසිවකුට බිඳ දැමිය නොහැකි වූ එම තරගාවලි වාර්තාව ඔහු බිඳ ඔහු එය සියතට ගන්නේය. අසියාවේ අංක එක බවට පත්වන්නේය. එපමණක්ද... මීටර 400 ඉසව්වේ කනිෂ්ඨ අංශයේ ලොව අංක 08 ස්ථානයට පැමිණෙන්නේය.

සේරුනුවර දෙහිවත්ත ගමේ සිට ජපානයේ ගිෆූ නගරයේ 'නගරගාවා' ක්‍රීඩාංගණයට ගොස් එසේ ජයකෙහෙළි නැංවූ 19 හැවිරිදි මේ යෞවනයා අරුණ දර්ශන නම් වන්නේය. මෙරට කනිෂ්ඨ මලල ක්‍රීඩා අංශයේ සුපිරිතම තරුව වන්නේය. ශ්‍රී ලංකාවේ අනාගත මලල ක්‍රීඩා බලාපොරොත්තුව වන්නේය.

සේරුනුවරින් පැමිණි අරුණගේ මීටර 400 ධාවනය අපට සිහිගන්වන්නේ විදුලිපුර සිට පැමිණ මීටර 400 ධාවන පථය දිග්විජය කළ සුගත් තිලකරත්නවය. සුගත් තිලකරත්න යනු වසර 20කට එපිට හෙවත් 1998 දී ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 400 ඉසව්වේ රන් පදක්කමත්, පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ එම ඉසව්වේ ලෝකඩ පදක්කමත් ශ්‍රී ලංකාවට දිනාදුන් විශිෂ්ටයා වෙයි. අරුණගේ ධාවනය, සුගත්ගේ ධාවනය සමඟ සැසඳූ විට, සුගත් කනිෂ්ඨ වයසේදී වාර්තා කළ කාලයට වඩා පැහැදිලි ඉදිරියකින් අරුණ පසුවන්නේය. එය අහඹු ලෙස වාර්තා කළ කාලයක් නොවේ. කාලයට සාපේක්ෂව කෙමෙන් වර්ධනය කරගත් කාලයකි. ඒ අනුව අපට පෙනී යන්නේ තව වසර කිහිපයක ඇවෑමෙන් සුගත්ටද වඩා දුර ගමනක් යන තරුවක්, අරුණ දර්ශන නමින් මෙරට මලල ක්‍රීඩා අම්බරයේ පායා ඇති සෙයකි. මෙරට මීටර 400 ධාවන පථයේ 'විදුලිපුර විදුලිය' යුගය නිමා වෙද්දී මේ 'සේරුනුවර හීසැරය' අලුත් යුගයක් සනිටුහන් කරනු නියතය. අරුණ විසින් ජපානයේදී වාර්තා කළ තත්පර 45.79ක කාලය 2006 වර්ෂයෙන් පසු මෙරට ක්‍රීඩකයකු විසින් එම ඉසව්වේදී වාර්තා කළ හොඳම කාලයයි. අරුණ හැරුණු විට මෙරට මලල ක්‍රීඩා ඉතිහාසයේ තත්පර 46ට අඩුවෙන් එම ඉසව්ව නිම කර ඇත්තේ සුගත් තිලකරත්න, රොහාන් ප්‍රදීප් සහ ප්‍රසන්න අමරසේකර පමණි. නමුත් විශේෂත්වය වන්නේ අරුණ මෙම කඩඉම පසුකර යන්නේ අවුරුදු 19ක් තරම් වයසකදී වීමය.

අරුණගේ දක්ෂතා පමණක් නොව, ඔහු පැමිණි ගමනද ආශ්චර්යක්ය. ඔහු පළමුව අකුරු කරනුයේ දෙහිවත්ත මහ විදුහලෙනි. ඔහු මුල් පාසල් වයසේ එතරම් කැපී පෙනෙන ක්‍රීඩකයකු නොවූ නමුත් සේරුනුවර කොට්ඨාස තරගයකදී ඔහුගේ ධාවන රිද්මය දුටු කේශාලි රත්නසිරි නම් ගුරුවරිය ඒ ක්‍රීඩකයා හඳුනා නොගන්නට අද මෙවැනි සටහනක් නොලියවෙන්නට තිබිණි. පසු කලෙක සේරුනුවර සිට ක්‍රීඩා පාසලක් වන වීරකැප්පෙටිපොළ ජාතික පාසලට මාරුවීමක් ලබා පැමිණෙන මැය මේ ධාවකයා ගැන එම පාසලේ බලධාරීන්ට සැල කරන්නීය. එහි ප්‍රතිඵලය ලෙසින් නේවාසික පහසුකම් සහිතව සිය ක්‍රීඩා දිවිය ඉදිරියට රැගෙන යෑම සඳහා කැප්පෙටිපොළ විදුහලට ඇතුළත්වීමේ අවස්ථාව අරුණට හිමිවිය. එහිදී අසංක රාජකරුණා නම් දක්ෂ පුහුණුකරුවා විසින් අරුණගේ දක්ෂතා දියුණු තියුණු කර පෙරට ගන්නේය. පළමුවෙන් මීටර 400 කඩුලු පැනීමේ ඉසව්වේ යෙදුණු අරුණට ඉන් එහා ගමනක් මීටර 400 ඉසව්වේ ඇති බව වටහාගෙන, අද වන විට ජගත් කනිෂ්ඨ මට්ටමේ අංක 08 ක්‍රීඩකයා ශ්‍රී ලංකාවෙන් බිහිකිරීමේ ගෞරවය හිමිවිය යුත්තේ අසංක රාජකරුණාටය. නමුත් 'සේරුනුවර හීසැරය' බිහිවීමේ මුල් ගෞරවය හිමිවිය යුත්තේ ක්‍රීඩා ගුරුවරියක හෝ නොවී මේ හැදෙන ගස දෙපෙත්තෙන් හඳුනාගෙන ඔහුට මඟ හෙළි කළ කේෂාලි රත්නසිරිටය.

ගෙවුණු වසරේ අරුණ සිය වේගය ශීඝ්‍රයෙන් වැඩි කරගත්තේය. මෙරට කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේදී සිය මීටර 400 ඉසව්ව ජයගනිමින් තත්පර 47ට අඩු ධාවන කාලයක් තුළට පළමු වරට ප්‍රවේශ වන අරුණ ඉනික්බිති දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේදී මීටර 200, මීටර 400 සහ මීටර 400 සහාය දිවීම යන ඉසවු තුනෙන්ම රන් පදක්කම් දිනාගන්නේ සිය වේගය තවත් වැඩි කරගනිමිනි.

ඔහුගේ ධාවනයේ මෙතෙක් හොඳම කාලය වාර්තා වූ ජපානයේ පැවැති ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලට සහභාගි වීම සඳහා ඔහු එහි යැවෙනුයේ එම ඉසව්වට පෙර දිනයේය. නිසි විවේකයක් තබා ඉසව්වට පෙර දින රාත්‍රියේ නිසි නින්දක් හෝ නොලබන අරුණ, තත්ත්පර 46 කඩඉම ඉක්මවමින් සිය ධාවනය අවසන් කළා පමණක් නොව වසර 20ක තරගාවලි වාර්තාවද සියතට ගත්තේය. සැබැවින්ම එම ධාවනය අවසානයේ තමන්ට අභියෝගයක් නොවූ බැවින් අවසන් මොහොතේ සිය ධාවන වේගය බාල නොවන්නට මෙහිදී ඔහුගෙන් වාර්තා වූ කාලය තවත් හොඳ වන්නට ඉඩ තිබිණි. නිසි විවේක කාල අවකාශයක් නොවීම නිසා මෙහිදී මීටර 200 ඉසව්වට සහභාගි වීමෙන් වැළකී සිටීමට ඔහුට සිදුවුවද මීටර 400 සහාය දිවීමේ ඉසව්වේ පළමු තැන ලංකාවට දිනා දීම උදෙසා සුපිරි ධාවනයක යෙදෙමින් මෙහිදී ඔහු සිය දෙවැනි රන් පදක්කමද දිනාගත්තේය.

අරුණට ඇත්තේ ඉතා කෙටි විවේකයකි. ලබන මාසයේ ෆින්ලන්තයේ පැවැත්වෙන ජගත් කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාව සඳහා ඔහු සූදානම් විය යුතුය. එයද ඔහුට ජයග්‍රාහී අද්දැකීමක් වීමට බොහෝ දුරට අවස්ථාව තිබේ. ඒ කෙසේ වෙතත්, අරුණට තව දුර ගමනක් ඉතිරිව ඇත්තේය. මෙතෙක් ඔහුගේ ගමන අනුව අපේ මීළඟ ඔලිම්පික් බලාපොරොත්තුව අරුණය. නමුත් එය උපන් දක්ෂතා මතින් පමණක් යා හැකි ගමනක් නොවේ. ඒ උදෙසා සපුරාලිය යුතු යටිතලයක් තිබේ. එය සපුරාලීම ජාතියේ යුතුකමකි.

මේ සටහන අවසන් කිරීමට මත්තෙන් තවකෙක් ගැන සඳහන් කළ යුතුය. ඒ අරුණගේ නිවුන් සොයුරා පසිඳු බවන්ත ගැනය. ඉකුත් වසරේ ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ දක්ෂතම ධාවකයාගේ සම්මානය අරුණට හිමිවෙද්දී, විසිකිරීමේ ඉසව්වල දක්ෂතම ක්‍රීඩකයා වූයේ, හෙල්ල විසිකිරීමේ ඉසව්ව ජයගත් පසිඳුය. නමුත් පසුව, පසිඳු හෙල්ල පසෙකලා සිය විසිකිරීමේ දක්ෂතාව සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩාවට පුදා රට වටේ ගොස් සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිවල පන්දු යවන්නකු ලෙසින් ක්‍රීඩා කළේය. ඒ හුදු විනෝදය පිණිස නම් නොවන බව අප දනිමු. තරගාවලි සඳහා සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩා කිරීමෙන් යම් මුදලක් ඉපැයිය හැකිය. මලල ක්‍රීඩාවෙන් ජාත්‍යන්තරයට යා හැකි තවත් තරුවක් මෙසේ ගමන් මඟ වෙනස් කළේ සිය නිවුන් සොයුරා වූ අරුණගේ ගමනට අවශ්‍ය වියදම් සපයාදීම, ගොවියකු වූ සිය පියාට හෝ රන් පදක්කම දිනා පැමිණි අරුණව පිළිගැනීමට පාවහන් යුගලක් පවා නොමැතිව කටුනායක ගුවන් තොටට පැමිණි අම්මාට පමණක් තනිවම කළ නොහැකි නිසාද? බලධාරීන්ට සිතන්නට යමක් ඉතිරි කර, අරුණ වෙනුවෙන් රටවැසියාට යුතුකමක් ඉටුකිරීම පිණිස කරුණක් ඉදිරිපත් කර මේ සටහන මෙතැනින් නිම කරමු. නමුත් නුදුරේදීම අරුණ වෙනුවෙන් තවත් ජයග්‍රාහී සටහනක් තැබීමට බලාපොරොත්තු වන්නෙමු.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon