ආණ්ඩුවට අද මාධ්‍ය පහර දෙන විදිහට එදා පහර දුන්නා නම් උදෙන්ම ටෙලිෆෝන් එකෙන් සියලු අය සිහි කරනවා

  👤  3548 readers have read this article !
By mawbima 2018-06-18

හම්බන්තොට - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

දැන් මේ මාධ්‍ය ආණ්ඩුවට ගැහුවත් පසුගිය ආණ්ඩුව කාලේ මෙහෙම ගැහිල්ලක් නොගැහූ බවත් එහෙම කළා නම් උදේ පාන්දර ටෙලිෆෝන් එකෙන් කතා කර සියලු අය සිහි කරන බවත් පසුගිය ආණ්ඩුව කාලේ නොතිබූ මාධ්‍ය නිදහසක් අද තිබෙන බවත් ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.

ඇමැතිවරයා මේ බව කියා සිටියේ හම්බන්තොට ඉදිකර ඇති නව මහ රෝහල තුළ රුපියල් ලක්ෂ 2,190ක් වැය කර ඉදිකරනු ලබන වකුගඩු රෝගී ප්‍රතිකාර ඒකකයට පෙරේදා (16දා) මුල්ගල තැබීමේ උත්සවයට එක්වෙමිනි.

හෙතෙම මෙසේද කීය.

අද ලසන්ත වික්‍රමතුංග වගේ පුවත්පත් කර්තෘවරු මරලා තියෙනවා. උපාලි තෙන්නකෝන් වගේ පුවත්පත් කර්තෘවරු ගුටි කාලා තියෙනවා. පසුගිය කාලයේ පුවත්පත් කර්තෘවරුන්ව මැරුවේ, කීත් නොයාර් බාල්කවල එල්ලලා ගැහුවෙ වෙන කවුද. මාධ්‍යවේදී එක්නැලිගොඩ අදත් නෑ. පෝද්දල ජයන්ත, සනත් බාලසූරිය වගේ මාධ්‍යවේදීන් තාම ලංකාවට එන්නෙ නෑ. සුනන්ද දේශප්‍රිය තාම පිටරට. අද එක මාධ්‍යවේදියකුගෙ ඇඟේ හැප්පිලා තියෙනවද කවුරුහරි. නාවික හමුදාපති කොලර් එකෙන් ඇල්ලුවා කියලා ප්‍රශ්නයක් තිබුණා. ඒ කාලේ කොලර්වලින් නෙවෙයි ඇල්ලුවේ. ඒ කාලෙ නාවික භටයෙක්ගේ ඇඟේ හැපුණත් එයත් ඉවරයි.

එහෙම තිබුණු රටකයි සියලු වෙනස්කම් අද ඇති කරලා තිබෙන්නේ.

ඒ කාලේ පත්තරවල තිබුණෙ ඔෟෂධ හිඟය ගැන. අද හිඟ වන ඔෟෂධ ළඟම තියෙන රෝහලේ තිබේ නම් ඔන් ලයින් ගෙවීම් කරලා ගෙන්වා ගැනීමේ පහසුකම් සහ බලය ලබාදීලා තියෙනවා. ඒ නිසා අද කොහේවත් ඔෟෂධ හිඟ නෑ. අද නුවර රෝහලේ නැති ඔෟෂධ ගේන්නෙ යාපනේ රෝහලෙන්. ඒ කියන්නෙ ඔෟෂධ තියෙනවා. ඒකෙන් අවශ්‍ය ප්‍රමාණය ආනයනය කළා. ඒකෙන් බොහෝ ප්‍රමාණයක් විනාශ වුණා. අද අපි ඒ සියල්ල හරියට යාවත්කාලීන කර තිබෙනවා.

අද ඔෟෂධ ටික තියෙනවා. පරීක්‍ෂණ කරනවා. අක්ෂි කාච ටික නිකන් දෙනවා. පිළිකා රෝගීන්ට සියලුම ඔෟෂධ නිකන් දෙනවා. ශ්‍රවණ උපකරණ නිකන් දෙනවා. ඒක ලක්ෂ 11ක් වෙනවා. ඒකත් දැන් අපි නිකන් දෙනවා. ඒ නිසා අද පාරවල්වල තාත්තගෙ පින්තූරෙ කරේ එල්ලගෙන ශල්‍යකර්මයට සල්ලි ඉල්ලලා කවි කියන දරුවො නෑ. අද ඒවා සියල්ල රජයේ රෝහලේ සිදු කෙරෙනවා. මම පැහැදිලිව කියනවා රජයේ තරම් හොඳ ගුණාත්මක ඔෟෂධ සහ අනෙකුත් දේවල් කොහෙවත් නැති බව. අපේ ආණ්ඩුවට සල්ලි වැහි වැහලා නෑ. ගිය ආණ්ඩුවෙ තියෙන ණය කන්දරාවල් බිලියන නෙවෙයි ටි්‍රලියනවලින් තියෙන්නෙ.

හම්බන්තොට හින්දා මම කියන්න ඕන ණය ගත්ත හැටි. අපි ඇවිත් බැලුවම අවුරුද්දකට ගෙවන්න තියෙන්නෙ ගාණ ඊටත් වඩා ගුණයක් ණය ගෙවන්න තියෙනවා. හේතුව අයි.එම්.එෆ්. එකට පෙන්වන්න අපි මෙච්චරයි ණය තියෙන්නෙ කියලා හොර පාරකින් ණය ගත්තා. සාමාන්‍යයෙන් ආණ්ඩු කරන වැඩ නෙවෙයි මේවා. නමුත් ඒවා කරලා තමයි දැන් ඔය කයිවාරු ගහන්නෙ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon