කරන්දෙණිය උපසභාපති ඝාතනය මෙහෙයවා ඇත්තේ ඩුබායි සිට සුජී හා මයිකල්

  👤  3649 readers have read this article !
By mawbima 2018-06-18

චාමර අමරසූරිය , හික්කඩුව - සංජිව මානික්කුවාවඩු

කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඩොනල්ඩ් සම්පත් (48) ඝාතනය කිරීම සඳහා දකුණේ ප්‍රබල පාතාල නායකයන් දෙදෙනකු වන 'කොස්ගොඩ සුජී' සහ 'මයිකල්' යන දෙදෙනා සම්බන්ධ බවට දැනට සිදුකර ඇති විමර්ශනවලදී හෙළිව තිබේ.
එම පාතාල නායකයන් දෙදෙනාම දැනට ඩුබායිහි සැඟව සිටින බවද පොලිසිය සඳහන් කරයි.

මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු වන මහගමගේ දිනේෂ් ප්‍රදීප් ජයසේකර නොහොත් 'චූටි' යන අය උෟරගස්මංහන්දිය පොලිසියේ නිලධාරීන් විසින් පසුගියදා (15දා) අත්අඩංගුවට ගැනීමත් සමඟ මෙකී තොරතුරු අනාවරණය වී ඇත.

සැකකරු පෙරේදා (16දා) ඇල්පිටිය වැඩබලන මහෙස්ත්‍රාත් ජනක රුවන්පුර මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඊයේ (17) දිනය දක්වා උෟරගස්මංහන්දිය පොලිසිය භාරයේ තබාගෙන තවදුරටත් විමර්ශන කටයුතු සිදු කිරීමට රැඳවුම් නියෝග ලබා දුන්නේය.
මෙසේ රැඳවුම් නියෝග ලබාගෙන ඇත්තේ අංක 12, විහාරගොඩ, වතුගෙදර ලිපිනයේ පදිංචි මහගමගේ දිනේෂ් ප්‍රදීප් ජයසේකර (28) නමැති අයටය.

උෟරගස්මංහන්දිය පොලිසියට ලද තොරතුරක් මත සැකකරු කහව, වේරගොඩ ප්‍රදේශයේ නිවෙසක සැඟවී සිටියදී අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී තමන් වෙඩි තැබීම සිදු කරන ලද බවට පිළිගෙන තිබේ. වෙඩි තැබීම සිදු කරන ලද ටී. 56 ගිනි අවිය වෙනත් අයකුට ලබාදුන් බවද සැකකරු පොලිසියට ප්‍රකාශ කර ඇත. එම ගිනි අවිය සොයා ගැනීම සඳහා තවදුරටත් පරීක්‍ෂණ පවත්වන බවද උෟරගස්මංහන්දිය පොලිසිය කියයි. සැකකරු කලක් ශ්‍රී ලංකා යුද හමුදාවේ සිටි සෙබළකු බවත් ඔහු මේ වන විට යුද හමුදාවෙන් පලාවිත් සිටින බවත් උෟරගස්මංහන්දිය පොලිසිය කියයි.

සැකකරු විසින් හෙළි කරන ලද තොරතුරුවලට අනුව වෙඩි තැබීම සඳහා සැකකරු පැලඳ පැමිණි සපත්තු දෙක සහ හෙල්මටය වෙඩි තැබීම සිදු කරන ලද ස්ථානයට යාබද ඉඩමේ තිබී පොලිසිය විසින් සොයා ගෙන තිබේ. පොලිසිය සැකකරු සමඟ පැමිණ මේවා සොයාගෙන තිබේ.

මෙම ඝාතන සිද්ධියේ වෙඩික්කරු වූ එම සැකකරු ඩුබායිහි සැඟව සිටින පාතාල නායක කොස්ගොඩ සුජීගේ ප්‍රබල ගෝලයකු බවද පොලිසිය සඳහන් කරයි.

පෞද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති අතර ඝාතනයට භාවිත කළ ටී 56 වර්ගයේ මැගසින් දෙකක්, හිස් වැසුමක් පොලිසිය විසින් සොයා ගෙන ඇත.

කහව ප්‍රදේශයේ සැරිසරමින් සිටියදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවද පොලිසිය කියයි. ඝාතනයට යොදාගත් ටී 56 වර්ගයේ ගිනි අවිය මෙතෙක් සොයා ගැනීමට නොහැකි වූ බවද පොලිසිය පවසයි.

ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන්, ඇල්පිටිය කොට්ඨාස භාර පොලිස් අධිකාරි නිහාල් තල්දූව, සහකාර පොලිස් අධිකාරි මහේෂ් කුමාරසිරි යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය සහ උපදෙස් මත උෟරගස්මංහන්දිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සුජිත් ප්‍රියන්ත සහ ඇල්පිටිය, නීති බලගැන්වීමේ ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක බී. බාලේන්ද්‍රසීහ යන මහත්වරු ඇතුළු නිලධාරීන් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon