මිහින්තලා රාජමහා විහාරාධිපති හිමියන්ටත් මරණ තර්ජන

  👤  3558 readers have read this article !
By mawbima 2018-06-18

අනුරාධපුර -
මහේෂ් විජේසූරිය

මිහින්තලය රාජමහා විහාරාධිපති භාරකාර වලවාහැංගුණවැවේ ධම්මරතන නායක හිමියන්ට මරණ තර්ජන එල්ල වී තිබෙන බවට පුද්ගලයකු කළ අනතුරු ඇඟවීමක් නිසා උන්වහන්සේගේ රියැදුරා විසින් මිහින්තලය පොලිසියට පෙරේදා (16දා) උදෑසන පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.

මිහින්තලය රාජමහා විහාරාධිපති හිමියන්ට උන්වහන්සේගේ රියැදුරා විසින් කළ දැන්වීමෙන් අනතුරුව උන්වහන්සේ ලබාදුන් උපදෙස්වලට අනුව අසංක සුධීර නානායක්කාර මහතා මිහින්තලය පොලිසියට පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි. උන්වහන්සේගේ රියැදුරා වශයෙන් වසර ගණනාවක් සේවයේ නියුතු ඒ මහතා පසුගිය 15 වැනිදා රාත්‍රියේ මිහින්තලය නගරයට ගිය අවස්ථාවේ මිහින්තලය ප්‍රදේශයේ පදිංචි තරුණයකු පැමිණ රාජමහා විහාරාධිපති හිමියන්ට මරණ තර්ජනයක් තිබෙන බවත් "එය අපේම මිනිස්සුන්ගේ වැඩක් හැබැයි අපි නම් නෑ" යනුවෙන් පැවැසූ බවත් සඳහන් කර ඇත.

විහාරාධිපති හිමියන් නොබියව අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලා සිටින අතර රුසියාවේ හිටපු තානාපති හා අනුරාධපුර දිස්ත්‍රික් හිටපු එක්සත් ජාතික පක්ෂ කළමනාකාර වෛද්‍ය රාජා ජෝන්පුල්ලේ මහතාගේ වෛද්‍ය මධ්‍යස්ථානයට හා නිවෙසට ගිනි තබා 2008 වසරේ පැවැති පළාත් සභා මැතිවරණයේදී අනර්ථයක් සිදුකිරීම සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණයේ පැවැති නඩුවේදී එදින ඇසින් දුටු සියලුම සිදුවීම නොසඟවා විවෘත අධිකරණයේ සාක්ෂි ලබාදීම නිසා උන්වහන්සේට මීට පෙර තර්ජනයන් එල්ල වී තිබිණි.

උන්වහන්සේට අනතුරක් කිරීමට යම් සැලසුමක් ක්‍රියාත්මක වෙමින් පවතින බවට සැක කරන රියැදුරු උන්වහන්සේගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසියට පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි. වෛද්‍ය රාජා ජෝන්පුල්ලේ මහතාගේ නිවෙසට අනර්ථයක් කිරීම සම්බන්ධයෙන් නොබියව අධිකරණය හමුවේ සාක්ෂි දුන් මිහින්තලා රාජමහා විහාරාධිපති හිමියන්ට ආරක්ෂාව සලසන ලෙස ද මීට පෙර පැවැති සර්ව ආගමික සමුළුවකදී ආගමික නායකයන් පිරිසක් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබිණි. මරණ තර්ජනයක් සිදුවී ඇතිද යන්න සම්බන්ධයෙන් මිහින්තලා රාජමහා විහාරාධිපති හා භාරකාර ශාස්ත්‍රපති පූජ්‍ය පණ්ඩිත වලවාහැංගුණවැව ධම්මරතන නායක හිමියන්ගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී උන්වහන්සේ මෙසේ පැවැසූහ.

ඔව්. රියැදුරා මට ඒ පිළිබඳව දැන්වූවා. වසර ගණනාවක් තිස්සේ මාව ඝාතනය කරනවා කියලා විටින්විට තර්ජන තිබෙනවා. හිටපු මන්ත්‍රි පුත්‍රයෙක් ප්‍රසිද්ධියේ කියා තිබුණා මාව ඝාතනය කරනවා කියලා.

මම ජීවිතය පුදන්න බය හිමිනමක් නෙමෙයි. නමුත් මම කරන සමාජ සේවය දරා ගන්න බැරි පිරිසක් තමයි මේවා කරන්නේ. කිරි වෙහෙරේ නායක හිමියන්ට වෙඩි තැබුවා. මටත් ඕන දෙයක් කරන්න පුළුවන්. මොකද මම සඳලුතලෙන් බිමට බැහැලා මිනිස්සු සමඟ ඉන්න නිසා යනුවෙන් උන්වහන්සේ පැවසූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon