ගලි බවුසර රියැදුරකු බවුසරයෙන් ත්‍රිරෝදයක් හප්පා එහි රියැදුරු ඝාතනය කරලා

  👤  3587 readers have read this article !
By mawbima 2018-06-18

කොළඹ - එම්.සී. පෙරේරා

එකම ආයතනයක රියැදුරන් දෙදෙනකු අතර ඇතිවූ මුදල් ආරවුලක් දුරදිග යෑමෙන් පානදුර ගොරකාපොල ප්‍රදේශයේදී ගලි බවුසර් රියැදුරු විසින් තම ගලි බවුසරයෙන් ත්‍රිරෝද රථ රියැදුරකු හප්පා ඝාතනය කර ඇති බව පානදුර උතුර පොලිසිය කියයි.

මෙලෙස ඝාතනය කර ඇත්තේ පානදුර මිරිස්වත්ත පදිංචිව සිටි රසික ප්‍රියශාන්ත (37) නමැති දෙදරු පියෙකි.

පානදුර දිග්ගල ප්‍රදේශයේදී ගලි බවුසර් සපයන ආයතනයකට මීට සති දෙකකට පමණ ඉහතදී රැකියාව සඳහා පැමිණි මියගිය පුද්ගලයා එම ආයතනයේ ත්‍රිරෝද රථයේ රියැදුරකු ලෙස හා ගලි බවුසර් සහායකයකු ලෙස සේවය කළ බවට පොලිසිය කරන ලද මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

ඉකුත් සිකුරාදා (15දා) මියගිය අය අනතුර සිදුකළ ගලි බවුසර් රියැදුරු සමඟ සේවයේ යෙදී ඇති අතර එහිදී ලද සන්තෝෂම් මුදල් බෙදා ගැනීමේදී මුදල් අඩුවෙන් ලබාදීම සම්බන්ධව ගලි බවුසර් රියැදුරා ත්‍රිරෝද රථ රියැදුරු සමඟ බහින් බස් වීමක් සිදුවී ඇති බව විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

පෙරේදා (16දා) ගලි බවුසර් ආයතනයේ හිමිකාරිය මියගිය පුද්ගලයා අමතා එදිනත් ගලි බවුසරයේ සහායක ලෙස සේවය කරන ලෙස කළ දැනුම් දීමක් අනුව ගලි බවුසරය නවතා තිබූ පානදුර වලාන හන්දියට ගොස් ඇති බව පොලිසිය කියයි.

ඒ අවස්ථාවේදී ගලි බවුසර් රියැදුරු මියගිය පුද්ගලයා අමතා "උඹ එන්න එපා මගේ බවුසරයට" යැයි පවසා ත්‍රිරෝද රථ රියැදුරුට පහරදී බවුසරය පණ ගන්වා ගොරකාපොල ඉන්ධන පිරවුම් හල දෙපසට ධාවනය කර ඇති බව පොලිසිය කියයි.

ඒ බව මියගිය පුද්ගලයා ගලි බවුසර් ආයතනයේ හිමිකාරියට දුරකථනයෙන් දැනුම් දීමෙන් පසු ඇය ත්‍රිරෝද රථයෙන් වලාන හන්දියට පැමිණ ඇත. මියගිය පුද්ගලයා ත්‍රිරෝද රථය පණ ගන්වා ගෙන ආයතනයේ හිමිකාරිය සමඟ ගලි බවුසරය සොයා කෙසෙල්වත්ත දෙසට පැමිණීමේදී එය ගොරකාන ඉන්ධන හල අසල නවතා තිබෙනු දැක තිබේ. ආයතනය හිමිකාරිය ත්‍රිරෝද රථයෙන් බැස ඒ දෙසට ගමන් කරන අවස්ථාවේදී ගලි බවුසර් රියැදුරු එය පණ ගන්වා ගෙන ඉදිරියට පැමිණ ත්‍රිරෝද රථයේ පිටුපසින් හප්පා ඇති බව විමර්ශනවලින් අනාවරණය වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

ගලි බවුසරය ත්‍රිරෝද රථයේ පිටුපස ගැටීමත් සමඟ එකී ත්‍රිරෝද රථය බෝක්කුවක ගැටී එහි රියැදුරු පිටතට විසිවී ගලි බවුසරයට යට වී ඇති බව පොලිසිය කියයි. එම අනතුර වන ආකාරය අසල වෙළෙඳසලක සී.සී.ටී.වී. කැමරාවක සටහන්ව ඇති බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.

සැකකාර ගලි බවුසර් රියැදුරු ප්‍රදේශය හැර ගොස් ඇති බව පොලිසිය කියයි.

පානදුර උතුර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රභාත් පරණවිතාන මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පී.ජී.කේ. හරේන්ද්‍ර, උප පොලිස් පරීක්ෂක එච්. ධර්මපාල මහත්වරු පරීක්ෂණ පවත්වති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon