දරුවන් ඉරු දිනට දහම් පාසල් යැවීමට නම් ටියුෂන් තහනම් කිරීමට නීති වහා සම්පාදනය කිරීම අත්‍යවශ්‍යයි

  👤  3648 readers have read this article !
By mawbima 2018-06-18

සී. ගරුසිංහ - පඬුවස්නුවර

දහම් පාසල් අධ්‍යාපනය නඟාසිටුවීමට සහ අද්‍යතන ඉරිදා දහම් පාසල මුහුණදී ඇති අභියෝගයන් පිළිබඳව පසුගිය වකවානුව පුරාවට විවිධ පාර්ශ්වවලින් අදහස් යෝජනා හා චෝදනා රැසක් ඉදිරිපත්ව ඇත.

මහ නායක ස්වාමින් වහන්සේ හා භික්‍ෂුන් වහන්සේ
දහම් පාසල් ගුරු සංගමය හා රාජ්‍ය ආයතන
පක්‍ෂ විපක්‍ෂ මැති ඇමැතිවරුන්
මවුපියන්, බෞද්ධ සංවිධාන හා විවිධ සිවිල් සංවිධාන

මේ සියලු පාර්ශ්වයන් ඉස්මතු කර දක්වන්නේ ඉරිදා දහම් පාසල සංවර්ධනය කිරීමට ටියුෂන් පන්ති තහනම් කළ යුතු බවයි. ඒ සඳහා වහ වහා නීති සම්පාදනය කොට සියලු දරුවන් ඉරිදා උදෑසන දහම් පාසල් වෙත දක්කන්නට කටයුතු කළ යුතු බවයි.
දරුවන් ඉරිදා උදෑසනම දහම් පාසලට නොයා ටියුෂන් පන්තියට දුවන්නේ ගෙදරට හොරෙන්ද? බෞද්ධ දරුවන්ට ඒ සඳහා මුදල්, පන්ති ගාස්තු, ඇඳුම් හා දහවලට බත් ගෙඩියක්ද බැඳ දෙන්නේ අසල්වැසියන් විසින්ද? නැත. අභ්‍යන්තරය හිස්වූ අධ්‍යාපන තරගය තුළ මෙම අනෝමීය තත්ත්වය තුළට දරුවන් තල්ලු කරන්නේ මවුපියන් හා පවතින සමාජ ක්‍රමය විසින්මය. එය අහඹු ලෙස සිදුවන්නක් නොව හේතුඵලවාදීව සිදුවන්නකි. ගෝලීයකරණ යුරෝපීය බූවල්ලා විසින් ක්‍රමානුකූලව මෙහෙයවනු ලබන්නකි. අත්‍යන්තයෙන්ම හේතුඵලවාදී දහමක් වන බුදුදහම හා එහි හැසිරීම දැන හෝ නොදැන දහම් පාසල් අධ්‍යාපනය නඟාසිටුවන්නට ගෙනෙන ඊනියා යෝජනා 'පය බරවායට පිටිකර බෙහෙත් බඳනා සේ' ඇස් සරසන්නට තොල අඳුන් ගන්නා සේ' උගුරට හොරා බෙහෙත් බොන්නට, තතනන අණ්ඩපාල වෙට්ටපිත්තලයන්ගේ ගජබින්නාලංකාර ගොඩ වෙදකමක් පමණි.
දරුවන් ඉරිදා ටියුෂන් පන්තියට යෑම සහ ඉරිදා දහම් පාසලට නොයෑම ක්‍රමානුකූලව සකසන ලද හේතු මාලාවක ඵලයයි. එය අප හිතනවාට වඩා යුගයේ දරුවන්ගේ අධ්‍යාපනය පමණක් නොව හෙට දවසද, අනාගතයද, අඳුරු අගාධයකට ඇද දමනු ලබන දරුණු ඛේදවාචකයකි. ඒනිසා හේතුව පසෙක තිබියදී ඵලයට පහරදීමෙන් ගැටලුව නිරාකරණය කළ නොහැකිය.

ව්‍යවස්ථාවෙන්ම බුදුදහමට ප්‍රමුඛතාව ලබා දෙන්නේය යන අලංකාර බෞද්ධ ලේබලය අලවා ඇති රටක් වශයෙන් ලංකාවේ දහම් පාසල් අධ්‍යාපනයට හා ධර්මාචාර්ය සමතුන්ට සමාජමය වශයෙන් යම් වටිනාකමක් ලබාදී තිබේද? නැත. ගොඩනඟා ඇති වල්බූරු වාණිජ ආර්ථිකය තුළ දරුවන්ට ප්‍රායෝගික ඵලදායිතාවක් නැති, දහම් පාසලකට දරුවන් තවදුරටත් යන්නේ නම් හෝ මවුපියන් යවන්නේ නම් ඒ අන් කිසිවක් නොව ගෞතම බුද්ධ ශාසනයේ ඓශ්චර්යය නිසාමය.

රටේ අධ්‍යාපනය හා අර්ථක්‍රමය තුළ දහම් පාසල් අධ්‍යාපනයට හිමි තැන ලබාදීමට මහනාහිමිවරුන්, මවුපියන්, දහම් පාසල් ගුරු සංගම්, බෞද්ධ සංවිධාන හා ධාර්මිෂ්ඨ ජනරජය වහ වහා ක්‍රියා කළ යුතු කාලයයි මේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon