ඉදිරි දශකය තුළදී මහවැලි ගඟත් දූෂිත ගංගා අතරට

  👤  3415 readers have read this article !
By mawbima 2018-06-18

මහනුවර - නදීක දයා බණ්ඩාර

අක්‍රමවත් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඉදිරි දස වර්ෂය තුළදී ලෝකයේ දූෂිතම ගංගා ගණයට මහවැලි ගංගාව ඇතුළත් විය හැකි යැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලය සඳහන් කරයි.

දැනට ලෝකයේ පවතින දූෂිත ගංගා දහය තුළ අන්තර්ගත අපද්‍රව්‍යයන්වලින් මහවැලි ගංගාවත් මේ වනවිටත් සමන්විත වෙමින් පවතින බව එම ගංගාව හා අතු ගංගාවන් පිළිබඳ වසර විස්සකට අධික කාලයක් පර්යේෂණ පවත්වන භූගෝල විද්‍යා අධ්‍යයන අංශයේ ජේ‍යෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ලලිතා දිසානායක මහත්මිය පවසන්නීය.

මහවැලි ගංගාව දූෂිත තත්ත්වයට බලපාන ප්‍රධාන හේතුවක් වන්නේ ඉහළ පෝෂක කලාපයේ අක්‍රමවත් මිනිස් ක්‍රියාකාරකම් වන බවත් මේ සඳහා විශේෂයෙන්ම ඝන අපද්‍රව්‍ය ජලාශයට බැහැර කිරීම අහිතකර අයුරින් බලපා ඇතැයි ආචාර්යවරිය සඳහන් කළාය.

මේ දිනවල ඇදහැලෙන අධික වැසි හේතුවෙන් කඳුකරය ආශ්‍රිත ජලාශවල විශාල වශයෙන් ප්ලාස්ටික්, පොලිතීන්, විද්‍යුත් අපද්‍රව්‍ය ආදිය රැඳී තිබෙනු දැකිය හැකි වේ. මහවැලි ගංගාවේ මෙය බහුලව දැකිය හැකි අතර පොල්ගොල්ල ජල හැරවුමේ මධ්‍යම වශයෙන් ද කොත්මලේ, රන්දෙණිගල හා රන්ටැඹේ ප්‍රදේශවල සුළු වශයෙන්ද මෙම සිද්ධිය දැකිය හැකි යැයි ඇය ප්‍රකාශ කළාය.

කඳුකරයේ වගාවන් සඳහා යොදන රසායනික ද්‍රව්‍ය, වාහන සේවා ස්ථානවලින් බැහැර කරන විස සහිත ඝන අපද්‍රව්‍ය ආදිය මහවැලි ගංගාවට මුසුවීම මේ වනවිට ඉහළ ගොස් පවතී.
ශ්‍රී ලංකාවේ වාර්ෂිකව මෙටි්‍රක් ටොන් 7000ක පමණ කැළිකසළ ප්‍රමාණයක් පරිසරයට එක්වන අතර ඉන් 60%ක් දායක වන්නේ බස්නාහිර පළාත තුළිනි. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව මෙරට ජනගහනයෙන් 18.5%ක් නාගරිකව ජීවත් වන අතර 77.4%ක් ජීවත් වන්නේ ග්‍රාමීය ප්‍රදේශවලය. නාගරික ප්‍රදේශවල කැළිකසළ බැහැර කිරීම හා කළමනාකරණය පිළිබඳ යම් නිශ්චිත වැඩපිළිවෙළක් ඇති නමුත් ග්‍රාමීය ප්‍රදේශවල සියලුම කැළිකසළ අක්‍රමවත් අයුරින් පරිසරයට මුදාහරින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලය කළ අධ්‍යයනයේදී අනාවරණය වූ බව ආචාර්යවරිය කීවාය.

කැළිකසළ බැහැර කිරීම නිසා මීතොටමුල්ල, බ්ලූමැන්ඩල්, කොළොන්නාව, තේක්කවත්ත වැනි ස්ථාන අධික ලෙස දූෂිත තත්ත්වයට පත්වන බවත් ග්‍රාමීය මට්ටමින් අක්‍රමවත්ව කැළිකසළ බැහැර කිරීම හේතුවෙන් ගංගා ඉවුරු, වගුරුබිම්, වෙරළ වැනි තෙත් බිම් ද අහිතකර ප්‍රතිඵලවලට දායක වන බව මෙම අධ්‍යයනයේදී හෙළි වී තිබේ.

ලෝකයේ වඩාත්ම දූෂිත ගංගා දහයක් මේ වන විට හඳුනාගෙන ඇති අතර ඉන්දුනීසියාවේ - සිට්ට්‍රම්, ඇමෙරිකා එක්සත් ජනපදයේ - මිසිසිපි, ඉතාලියේ - සැනාරෝ, පිලිපීනයේ - මෙරිලාවෝ, චීනයේ - කහ ගඟ, ඊශ්‍රායලයේ - ජෝර්දාන් ගංගාව, ඉන්දියාවේ - යමුනා ගංගාව සහ ගංගා නදිය, බංග්ලාදේශයේ - බූරි ගංගාව, ආර්ජන්ටිනාවේ - මැටැන්ගා ගංගාව එම ගණයට අයත් වේ.

මේ වනවිට ශ්‍රී ලංකාවේ කිසිදු ජලාශයක් එම තත්ත්වයට පත්ව නොමැති නමුත් මෙරට මිනිස් ක්‍රියාකාරකම් මේ අයුරින්ම පැවතිය හොත් ඉදිරි දශකය තුළදී ලෝකයේ දූෂිත ගංගා ගණයට මහවැලි ගංගාව එක්විය හැකි යැයි ආචාර්ය ලලිතා දිසානායක මහත්මිය ප්‍රකාශ කළාය.

දැනට දශක කිහිපයකට ඉහතදී මෙවැනි ඝන අපද්‍රව්‍ය රැස්වීමක් සිදුවුණේ නැහැ. ඒ වෙනුවට මතුපිට ගලා ගියේ ස්වාභාවික ද්‍රව්‍ය පමණයි. එවැනි දේ දිරාපත්වුණු නමුත් වර්තමානයේදී ගංගා මතුපිට පවතින ද්‍රව්‍ය දිරාපත්වීමක් වන්නේ නැහැ. නමුත් අද සීඝ්‍ර නාගරීකරණය හේතුවෙන් ඝන අපද්‍රව්‍ය බැහැර කිරීමද විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

මේ නිසා ජලජ ජීවීන්ට හා ජලජ ශාකවලට සෘජු හානි සිදුවන අතර ජලය පාරිභෝජනය කරන මිනිසාට වක්‍ර හානි සිදුවෙනවා. ගංගා ජලය අපවිත්‍රවීම නිසා මිනිස් පරිභෝජනයට ගන්නා ජලය පිරිපහදු කිරීමේදී වැඩි පිරිවැයක් දැරීමට සිදුවෙතැයි ආචාර්යවරිය කීවාය.

1980 අංක 47 දරන ජාතික පරිසර පනත මඟින් පරිසරය රැක ගැනීම සඳහා විධිවිධාන යොදා ඇති බවත් නගර සභා ආඥා පනත, ප්‍රාදේශීය සභා ආඥා පනත ආදිය මඟින් ඝන අපද්‍රව්‍ය කළමනාකරණය හා බැහැර කිරීම සඳහා බලය අදාළ පළාත් පාලන ආයතන වෙත ලබාදී ඇති නමුත් ඒ නීතිය නිසි අයුරින් ක්‍රියාත්මක නොවේ. නමුත් එම නීති ක්‍රියාත්මක කරන්නේ නම් මහවැලි ගංගාව පමණක් නොව සියලුම ජල මූලාශ්‍ර ඉතා සුරක්ෂිත කළ හැකි යැයි ආචාර්ය ලලිතා දිසානායක මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon