පොහොට්ටුවෙන් ගෝඨාභය එනවා නම් ප්‍රජාතන්ත්‍රවාදීන් සියලු දෙනා හරිම කැමැතියි

  👤  3717 readers have read this article !
By mawbima 2018-06-18

මතුගම - වසන්ත කුමාර

අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය කරන සියලු දෙනාගේම කැමැත්ත ඒකාබද්ධ විපක්ෂයේ පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ඉදිරිපත් වීම යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා පෙරේදා (16දා) බණ්ඩාරගමදී කීවේය.

බණ්ඩාරගම එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ පැවැති පාක්ෂික හමුවක් අමතා රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මෙසේද කීවේය.

මේ දවස්වල බොහෝ දෙනා කතාබහ කරන්නෙ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇමෙරිකන් පුරවැසිකම ඉවත් කරගැනීමට තියෙන අමාරුකම ගැනයි. ඇමෙරිකාවේ පුරවැසිකම ගන්න කියලා කවුද කිව්වේ. මේ රටේ ජනතාව එතුමට එහෙම ඉල්ලීමක් කරල තියෙනවාද? ඇමෙරිකන් කොඩියට යටත් වෙන්න, ඇමෙරිකාවේ ජාතික ගීයට යටත් වෙන්න, ඇමෙරිකානු ව්‍යවස්ථාවට යටත් වෙන්න දිවුරුම් දීපු ගෝඨාභය රාජපක්ෂ තමාට තියෙන ප්‍රශ්න ඇමෙරිකාවෙන්ම බේරගෙන එන්න ඕන.

දූෂණ චෝදනාවලට ලක්වෙලා අධි චෝදනා ගොනුවෙන්න ඔන්න මෙන්න ඉන්න, මිනීමැරීම්, පැහැරගෙන යෑම් පිළිබඳ චෝදනා තියෙන, තමන්ට බලය තියෙන කාලෙ මේ රටේ දෙමළ ජනතාවට සහ මුස්ලිම් ජනතාවට විරුද්ධව කතා කළ බටහිර පන්නෙට ගැති ටයි කෝට් අඳින ගෝඨාභය රාජපක්ෂ මහත්තය ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණොත් වෙන ඕනෑම අපේක්ෂකයකුට වඩා පහසුවෙන් පරාජය කළ හැකියි. වෙනත් ඕනෑම අපේක්ෂකයකුට වඩා වැඩියෙන් මෙතුමාව පරාජය කළ හැකියි.

ඔහුගේ පුරවැසිභාවය අහෝසි කරන්න කියලා ට්‍රම්ප් මහත්තයට කියන්න පුළුවන් නම් අපි හරි කැමැතියි. ඔය මොන මොන චෝදනා තිබ්බත් මොන පරීක්ෂණ තිබ්බත් ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂම ඉදිරිපත් කරන්න කියලා අපි පොහොට්ටුවෙන් ඉල්ලනවා. අපිට ඕන ගෝඨාමයි.

ගෝඨාභය රාජපක්ෂ මහත්තයට නීති උපදෙස් දෙන්නෙ නීති විශාරද අපගේ මිත්‍ර උදය ගම්මන්පිල මහත්තයයි. ද්විත්ව පුරවැසිභාවයක් තිබුණු ගීතා කුමාරසිංහ මහත්මියටත් නීති උපදෙස් දුන්නෙ උදය ගම්මන්පිලයි. ඇමෙරිකානු පුරවැසි භාවය දරන කෙනකු ඒ පුරවැසි බව ඉවත් කරගන්න ඒ සඳහා අයැදුම්පත ඉදිරිපත් කරගත්තාම ඇති කියල නීති විශාරද උදය ගම්මන්පිල මන්ත්‍රිතුමා කියනවා. ඒ අයැදුම්පත පිළිඅරගෙන සහතිකයක් දෙන්න අවශ්‍ය නැහැ කියලා උදය ගම්මන්පිල නීති තර්ක දානවා. උදය ගම්මන්පිල මන්ත්‍රිතුමාගෙ විශාරද නීති දැනුම ගැන කම්පා වෙනවා. මේ වගේ නීති විශාරදයකු ඉන්න ඕන පාර්ලිමේන්තුවේ විපක්ෂයේ නෙවෙයි. මෙයාව ජාත්‍යන්තර අධිකරණයට යවන්න වටිනවා.

මේ රටේ ප්‍රශ්න වගේම මේ රටේ ඡන්ද දායකයාගේ හැසිරීම පිළිබඳවද අපිට හොඳ අවබෝධයක් තියෙනවා. මේ රටේ ජාතිවාදීන්ට ආගම්වාදීන්ට මේ රටේ පොදු ජනතාව අත්කර දුන් ඉරණම ගැන අපට හොඳ අවබෝධයක් තියෙනවා. 2015දී හැම දෙනාම කිව්වේ මහින්ද රාජපක්ෂව පරාජය කරන්න බැරි බවයි. නමුත් ඒ අභියෝගය අපි ජයගත්තා.

බෞද්ධ භික්ෂුන් වහන්සේ නමකට සිර දඬුවමක් නියම වීම ගැන අපිට කනගාටුවක් තියෙනවා. නමුත් මේ රටේ නීතිය ඉදිරියේදී ගිහියෙක් වුණත් භික්ෂුවක් වුණත් මොන තරාතිරම දැරුවත් ඒ සියලු දෙනාම නීතියට යටත් විය යුතුයි. ඒ සියලු දෙනාටම නීතිය එක හා සමානව ක්‍රියාත්මක විය යුතුයි.

එක්නැලිගොඩ මරාපු අය, මරන්න කුමන්ත්‍රණය කළ අය තවම එළියෙ. ඒ නිසා ඥානසාර හිමියන්ට නීතිය ක්‍රියාත්මක කළා වගේම එක්නැලිගොඩ මරාපු, පැහැරගෙන ගිය, මරන්න කුමන්ත්‍රණය කළ අයටත් ඒ හා සමානව ඉතා කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස අපි සියලු දෙනාට බල කළ යුතුයි. අපි ආණ්ඩුවට බලකර කියා සිටින්නේ නීතිය සමානාත්මකව ක්‍රියාත්මක වීම ගැන මිනිසුන්ට හැඟීමක් ඇති වෙන්නෙ ඒ අයටත් දඬුවම් ලැබුණාමයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon