ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සංකේත වර්ජනයක

  👤  3574 readers have read this article !
By mawbima 2018-06-18

සිරිනාම රාජපක්‍ෂ, ශාන්ත ලුසියාහි සිට.

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම තරගය ශ්‍රී ලංකාව පරාජය වීමෙන් පසුව මෙහි ඩැරන් සැමී ක්‍රීඩාංගණයේ පැවැත්වෙන 2 වැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය (16දා) ශ්‍රී ලංකා පිලට එරෙහිව මතභේදකාරී කරුණු රැසක් ඉස්මතු වූ අතර කෙසේ වෙතත් දිනය අවසන් වන විට පළමුවැනි ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වෝ ලකුණු 300ක් රැස්කර ගත් අතර ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් කඩුලු 1ක් දැවී ලකුණු 34ක් ලබා සිටී. ඒ අනුව ශ්‍රී ලංකා පිල පළමුවැනි ඉනිමට ලබා ගත් ලකුණු 253ට වඩා ලකුණු 47ක් ඉදිරියෙන් සිටීමට සත්කාරකයෝ සමත් වී සිටින අතර ශ්‍රී ලංකා පළමු ඉනිමේදී නායක දිනේෂ් චන්දිමාල්ගේ ඉනිම හැරුණු විට වෙනත් කිසිදු පිතිකරුවකුට සාර්ථක වීමට නොහැකි විය.

දෙවැනි දිනයේදී වැස්සෙන් බාධා ඇතිවූ බැවින් තරගයේ තෙවැනි දිනය වූ පෙරේදා (16දා) කඩුලු 2කට ලකුණු 123ක් සේ කොදෙව් පිතිකරුවෝ ලකුණු රැස්කරන්නට මෙහි ඩැරන් සැමී පිටියට උදෑසන 9.30 පැමිණීමට නියමිතව සිටියද විනිසුරුවන් විසින් පන්දුව මාරු කිරීමට විරෝධය පෑමක් ලෙසට චන්දිමාල් ඇතුළු පන්දු රකින්නෝ පිටියට පැමිණීම ප්‍රතික්‍ෂේප කළහ. කෙසේ වෙතත් පැය 2කට පමණ පසු තරගය ආරම්භ කළද තරගයේ 2 වැනි දිනයේදී පන්දු රකිමින් සිටි අවස්ථාවේ ශ්‍රී ලංකා ක්‍රීඩකයකු පන්දුව පලුදු කළේ යැයි චෝදනාවට ලක්කරමින් ලකුණු 5ක් කොදෙව්වන්ට එකතු කිරීමට විනිසුරුවෝ තීරණය කළහ. කෙසේ වෙතත් පෙරේදා දිනයේ පළමුවැනි කඩුල්ල ලෙසින් හොප් ලකුණු 19කට දවා ගැනීමට ලක්මාල් සමත් වූ අතර එදින තේ පානයට පෙර ඉනිමේ 70 වැනි පන්දුවාරය යැවූ අකිල ධනංජයගේ 5 වැනි පන්දුවට චේස් විසින් ලකුණු 3ක් ලබා ගැනිමත් සමඟ කොදෙව් පළමුවැනි ඉනිමේ ලකුණු 200 සටහන් වූ අතර ඉන් පෙර 60 වැනි පන්දුවාරයේ පළමුවැනි පන්දුවට අකිල ඉදිරියේ ලකුණු 60ක් ලබා සිටි ඩ්වේන් ස්මිත් 4 වැනි කඩුල්ල ලෙස දැවී ගියේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවීමෙනි. කෙසේ වෙතත් ඉන් පසුව රොස්ටන් චේස්ට එක්වූ ශේන් ඩව්රිච් 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 68ක සබඳතාවක් සටහන් කර සිටියදී කුමාරගේ පන්දුවක් හමුවේ චේස් ලකුණු 41ට දැවී ගියේය.

ප්‍රථම ටෙස්ට් තරගයේදීද ශතකයක් ලබා ගත් ඩව්රිච් මෙම තරගයේදීද ලකුණු 55ක් රැස්කර සිටියදී දික්වැල්ලට උඩපන්දුවක් දීමෙන් ලක්මාල් ඉදිරියේ දැවී ගිය පසුව මෙම තරගය තමන්ගේ මංගල ටෙස්ට් තරගය කරගත් වේගපන්දු යවන කසුන් රාජිත බිෂූ සහ නායක හෝල්ඩර් දෙදෙනාම දවා ගැනීමත් සමඟ කඩුලු 8කට 279ක් සේ සටහන් විය. ඉන් පසුව කොදෙව්වන්ගේ අවසන් කඩුලු දෙකම ළහිරු කුමාර විසින් දවාගන්නා ලද අතර කඩුලු 4ක්ම දවා ගත් කුමාර වේගපන්දු යවන්නකු ලෙස යළිත් කැපී පෙනුණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon