පන්දුව පලුදු කළැයි ශ්‍රී ලංකා නායකයාට ඇඟිල්ල දිගු වෙයි

  👤  3514 readers have read this article !
By mawbima 2018-06-18

සිරිනාම රාජපක්‍ෂ.. ශාන්ත ලුසියාහි සිට....

ශාන්ත ලුසියාහි පැවැත්වෙන ශ්‍රී ලංකා-කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේ පන්දු රකිමින් සිටියදී පන්දුව පලුදු කළේ යැයි චෝදනාවට ශ්‍රී ලංකා පිල වෙත ඇඟිල්ල දිගු කර ඇති අතර ඒ සිදුවීම හේතුවෙන් පෙරේදා (16දා) දිනයේ තරගය ආරම්භ කරන විට පන්දුව මාරු කිරීමට අලීම් ඩාර් සහ ඉයන් ගුල්ඩ් යන විනිසුරුවෝ තීරණය කළහ. විනිසුරුවන් ගත් එම තීරණයට විරෝධය පාමින් තරගයේ තුන්වැනි දිනය වන පෙරේදා දිනයේ තරගය ආරම්භ කරන විට පන්දු රැකීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පිටියට නොපැමිණි අතර පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිතව තිබූ තරගය කෙසේ හෝ පෙරවරු 10.55ට ආරම්භ කළේ මාරුකරන ලද පන්දුවක් යොදා ගනිමිනි.

එහෙත් පන්දුව පලුදු කළ බවට තීරණය කොට තිබූ විනිසුරුවෝ තරගය ආරම්භ කිරීමත් සමඟ ප්‍රතිවාදී කොදෙව් පිලට ලකුණු 5ක් ප්‍රදානය කළ අතර එම තීරණය සඳහාද ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ගේ අකැමැත්ත පළකිරීම හේතුවෙන් යළිත් තරගය අත්හැර යෑමට ශ්‍රී ලංකා පිල තීරණය කළද හතරේ සීමාව තුළම ඔවුන් රැඳී සිටියේය. ඒ අනුව තරග තීරක ජවගල් ශ්‍රී නාත් සහ දෙරටේ කළමනාකාරීත්වය මැදිහත් වීමෙන් යළි තරගය ආරම්භ කරන විට දිනයේ පැය 2ක පමණ කාලයක් අපතේ ගොස් තිබිණි.

කෙසේ වෙතත් පෙරේදා තරගය නිමාවීමෙන් පසුව 'මව්බිමට" අදහස් දැක්වූ ශ්‍රී ලංකා කළමනාකරු අසංක ගුරුසිංහ මහතා කියා සිටියේ තරගයේ 2 වැනි දිනයේ සිදුකළා යැයි කියන වරදක් සම්බන්ධයෙන් එදින කිසිදු පරීක්‍ෂණයකින් තොරව ඊට පසු දින උදෑසන දඬුවම් කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි. තවදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා කළමනාකරුවා "ඒ නිසයි අපි පෙරේදා (3 වැනි දිනයේ) උදේ පිටියට ගියේ නැත්තෙ. තරගයේ 2 වැනි දිනයේ අපේ ක්‍රීඩකයන් පන්දු රකින විටදී කිසියම් දෙයක් (ටොෆියක් හෝ චුවින්ගම් එකක් කෑමෙන් ඇතිවන ශ්‍රාවයක්)පන්දුවේ තැවරීමෙන් පන්දුවේ හැඩය වෙනස් කළ බවට රූපවාහිනි දර්ශන සහිතව සාක්ෂි ලැබී ඇතැයි විනිසුරුවන්ගෙ පැත්තෙන් අපිට දැන්වීමක් කළා. නමුත් එවන් වරදකට ලැබෙන ලකුණු 5ක දඩය අපිට ලබා නොදෙන්නට තරග තීරක ශ්‍රී නාත් වාචිකව අපිට පැවැසූ නිසයි පසුව පිටියට ගියේ. එහෙත් අපි තරගයට ගියාම ලකුණු 5ක් කොදෙව්වන්ට දෙන්න පිටිය මැදදි විනිසුරුවො තීරණය කළ නිසයි අපේ අය නැවත ආවෙ. ඒ රූපවාහිනි දර්ශන බලන්න අපිත් ඉල්ලුවා අද (පෙරේදා) හවස පෙන්වන්නම් කීව. මීට සම්බන්ධ ක්‍රීඩකයා කවුද කියල ඔවුන් අපිට කීව. නමුත් හෙට (ඊයේ, 17දා) අයි.සී.සී. යෙන් පරීක්‍ෂණයක් පැවැත්වෙන නිසා ඒ ගැන කියන්න අපහසුයි" යනුවෙන් පැවැසීය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් චෝදනා ලැබ ඇත්තේ චන්දිමාල් බවට නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරන අතර අයි.සී.සී.ය (අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය) ට්විටර් පණිවුඩයක් මඟින්ද ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් එවන් වරදක් කළ බව ප්‍රකාශයක් කර ඇත. තවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ මෙම තරගයේදී පන්දුව පලුදු කළ බවට කරන ලද චෝදනා තරයේ ප්‍රතික්‍ෂේප කරන බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon