සිංහරාජයේ අලි මෙහෙයුම නිසා උඩපත්තුව දෙකට බෙදේ

  👤  3654 readers have read this article !
By mawbima 2018-06-18

කලවාන - සේන ජයකොඩි

සිංහරාජයේ දැනට සිටි අලි දෙන්නා අල්ලා ඉවත් කිරීමට ගෙන තිබූ තීරණය අන්තිම මොහොතේ අවලංගු කෙරිණි. මේ අලි අල්ලා ගෙන යෑම මෙසේ නතර වූයේ දෙවැනි වතාවටය.

ගියවර (1997දී) අලියා ගෙන යෑම නැවතුණේ වන ජීවී දෙපාර්තමේන්තුව විසින් නිර්වින්දනය කර අල්ලා ගස් බැඳීමෙනුත් පසුවය. එදා එය නතර වූයේ අලියා ගෙන යෑම සඳහා ලොරියට පැටවීමට සූදානම් වෙද්දී පළවූ පාසල් සිසුන් ඇතුළු පරිසරවේදීන් පිරිසකගේ විරෝධතාව නිසාය. මෙදාපාර නතර වුණේ අලියා වටලා අල්ලා ගැනීමට ඔන්න මෙන්න කියා තිබියදීය. ඒ ජනාධිපතිවරයාගේ නියෝගයෙනි.

එදා අලියා ඇල්ලීම සිදු වූයේ එවකට කලවාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායිකාව වූ සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ඉල්ලීම මතය. මෙදා පාර අලියා ඇල්ලීමට සූදානම් වූයේ වනජීවී අමාත්‍ය සරත් ෆොන්සේකා හා නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහත්වරුන්ගේ නියෝග මතය.

කෙසේ හෝ මේ වනවිට කලවාන උඩපත්තුව මෙම අලි ප්‍රශ්නය නිසා උඩ දෙකට බෙදී ඔවුනොවුන්ට චෝදනා කරන තත්ත්වයකට පත්වී සිටිතියි වාර්තා වෙයි. මේ අලින් වෙතින් වැඩි පිරිසක් ඝාතනය වී ඇති අධික ලෙස අලි තර්ජනයට මුහුණ දෙන ගම්වලට අයත් පිරිස අලියා අල්ලා ඉවත් කර දෙන්නැයි අඛණ්ඩව හඬ නඟති. රඹුක, කජුගස්වත්ත, දොළේකන්ද, මානික්කවත්ත, ආදී ගම් රැසක ජනයා ඊට අයත්ය.

"අපට සවස හයෙන් පස්සේ ගෙයින් එළියට බහින්න බෑ. දරුවන් තනියෙන් පාසල් යවන්න බයයි. තේ දලු නෙළීමට කම්කරුවන් කැඳවාගැනීම දුෂ්කරයි. රෑක ලෙඩකු රෝහලකට ගෙනියන්න පුළුවන්කමක් නෑ. මේ අලි නිසා අපේ මානව හිමිකම් කඩවෙලා" ඉහතකී පිරිස පවසති.

අනෙක් පාර්ශ්වය කියන්නේ අලි දෙන්නා සිංහරාජයට ආභරණයක් බවයි. සිංහරාජය කැලෑපාළුවන්ගෙන් රැකී ඇත්තේද අලි දෙන්නා නිසාය යන්න ඔවුන්ගේ මතයයි. හෙරෙන් ගස් කපන්න, කසිප්පු පෙරන්න වල්ලපට්ටා කපන්න කැලේට ඇතුළු වෙන්නෙ මේ අලින්ට බයෙන්. ඒ නිසා අලි දෙන්න සිංහරාජයෙන් ඉවත් කරන්න එපා. ඒ දෙවෙනි පාර්ශ්වයේ ඉල්ලීමයි.

දැනට දැඩි සේ අලි තර්ජන ගම්වල වැසියන් ප්‍රකාශ කරන්නේ පොතුපිටියෙන් පහළ අයටත් ‍ෙදාළේකන්දෙන් එහා පැත්තේ අයටත් අපේ දුක තේරෙන්නේ නෑ. ඔවුන් මහා පරිසරවේදීන් ලෙස පෙනී සිටින්නට උත්සාහ කරන්නේ ඒ නිසයි කියාය.

මේ වන විට ඉතිරිව ඇති අලි දෙන්නා සිංහරාජය සතුව සිටි මහා අලි රංචුවේ අවසාන සාමාජිකයන් දෙදෙනාය. ඉහත කී අලි රංචුව වඳවී යෑමට ප්‍රධාන හේතුව වී ඇත්තේ අධිරාජ්‍යවාදී පාලන සමයේ මහා පරිමාණයෙන් පැවැති අලිගාල් මඟින් වාණිජ මට්ටමින් සිදු කළ අලි අල්ලා ඉවත් කිරීමයි.

1898, 1912, 1921 යන වර්ෂවල සිදුකළ එවැනි අලි ඇල්ලීම් ගැන විස්තර නිල වාර්තාවල සඳහන් වෙයි. 1921.03.10 දින කලවාන රජ්ජුරුවත්ත ගමේ පැවැති අලි ගාලෙන් අලි 14ක් අල්ලා ඉවත් කරගෙන ගිය බව සඳහන් වෙයි. 1912.09.02 පැවැති අලිගාල ගැන විස්තර එවක රත්නපුර මහ ඒජන්ත වූ ටී.බී. ඇලෙක්සැන්ඩර්ගේ දින සටහන්වල දැක්වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon