බිබිල මහ විදුහලක උත්සවයකදී ආගමික වතාවත් මඟ හැරලා

  👤  3486 readers have read this article !
By mawbima 2018-06-18

මොනරාගල - සංජීව බණ්ඩාර

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් බිබිල ‍ෙදාඩම්ගොල්ල මහ විද්‍යාලයේ පැවැති දෙමහල් ගොඩනැඟිල්ලක් විවෘත කිරීමේ උත්සවයකදී ආගමික වතාවත් ඉටු නොකිරීම සම්බන්ධයෙන් උරණ වූ ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් එය සංවිධානය කළ විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුළු සංවිධායක මණ්ඩලය උත්සව අවස්ථාවේදී දැඩි දෝෂ දර්ශනයට ලක් කළේය.

මෙසේ විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුළු සංවිධායක මණ්ඩලය අධ්‍යාපන ඇමැතිවරයා ඉදිරිපිටම දෝෂ දර්ශනයට ලක්කරන ලද්දේ බිබිල ‍ෙදාඩම්ගොල්ල විහාරස්ථානයේ මහගම නන්දරතන හිමියන් විසිනි.

මෙහිදී උන්වහන්සේ මෙසේද පැවැසූහ.

"ඇමැතිතුමනි මේක බෞද්ධ පාසලක්. නමුත් මේ වගේ යහපත් වැඩක් කරද්දීත් ආගමික වතාවත් ඉටුකළේ නැහැ. මම ආව ගමන් මේ මහත්වරුන්ගෙන් ඇහුවා අපෙන් මොකක්ද වෙන්න ඕන කියලා. එතකොට කිව්වේ මොනවත් අවශ්‍ය නැහැ. භවතු සබ්බ මංගලම් ගාථාව කිව්වම ඇති කිව්වා. ඕන නම් පන්සිල් ටිකක් සමාදම් වෙන්න විනාඩි තුනක් යයි. මොකක්ද අපි අපේ දරුවන්ට දෙන ආදර්ශය. කරුණාකර මහා සංඝරත්නයට මේ විදිහට සලකන්න එපා. මහා සංඝරත්නය කියන්නේ කාගෙවත් රූකඩ එහෙම නෙමෙයි. අද මහා සංඝරත්නයට සලකන විදිහ පිළිකුල් සහගතයි. අධ්‍යාපන ඇමැතිතුමනි
ළමයිගේ අධ්‍යාපනය හදන්න කලින් ළමයිගේ හදවත් හදන්න ඕන.

මෙහිදී අදහස් දැක්වූ බිබිල ‍ෙදාඩම්ගොල්ල මහ විද්‍යාලයේ විදුහල්පති ටී.ඩබ්ලිව්. ධර්මරත්න මහතා පැවැසුවේ උත්සව සභාව පැවැත්වීමට වෙන්කර තිබුණේ ඉතාම සීමිත කාල වේලාවක් බැවින් කාලය ඉතිරි කර ගැනීමේ අරමුණින් කලින් සංවිධානය කර තිබූ න්‍යායපත්‍රයට අනුව උත්සව සභාවේ වැඩකටයුතු කළ බවයි. කෙසේ වෙතත් මෙම අවස්ථාවට වැඩමකර සිටි ස්වාමීන් වහන්සේ පිළිගැනීමට හෝ උන්වහන්සේගෙන් අවසර ගැනීමට අතපසු වූයේ නම් හෝ ආගමික වතාවත් ඉටු නොකිරීමෙන් සිදුවූ අතපසුතාවට උන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නයෙන් විදුහල්පතිවරයා සමාව ඇයැද සිටියේය.

මේ උත්සව අවස්ථාව සඳහා නීතිය හා සාමය පිළිබඳ හා රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසක් හා පාසල් දරු දැරියෝ එක්ව සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon