ආණ්ඩුවේ වැරැදි ප්‍රතිපත්ති වහා වෙනස් කළ යුතුයි

  👤  3667 readers have read this article !
By mawbima 2018-06-18

සංවාදයක් ඇසුරින් සකස් කළේ

පහන් විජේසේකර

ආණ්ඩුවක් හැටියට, ජනාධිපතිවරයෙක් හැටියට, අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය හැටියට කළ යුත්තේ කුමක්ද පිළිබඳව වසර 3ක් ගිහිල්ලත් තවම එක මතයට එන්න බැරි වුණාදෝ කියලා සමාජයේ සැකයක් මතුවෙලා තියෙනවා. කුමන දේශපාලන දෘෂ්ටිකෝණයකින් ප්‍රතිපත්ති හැදුවත් අවසාන වශයෙන් සියල්ලම කරන්නේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය කියන රාමුව ඇතුළේ රටක් විදියට ඉදිරියට යන්නයි. ඉකුත්දා පාර්ලිමේන්තු නව සැසිවාරයේදී ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ප්‍රකාශයේ සඳහන් වුණා අපරාජිත දේශයක් බවට පත් කිරීම ඔහුගේ එක් අරමුණක් බව. කොයි විදියටද අපරාජිත විය යුත්තේ? ආර්ථිකවද, සමාජීය වශයෙන්ද, පාරිසරිකවද කියන ප්‍රශ්නය මතුවෙනවා. ඒවා සාකච්ඡා කරන්න නිර්ණායක මොනවාද? ඒ වගේම

දූෂණයෙන් තොර සමාජයක් හා කාර්යක්ෂම රාජ්‍ය යාන්ත්‍රණයක් බවත් ප්‍රකාශයේ කියැවුණා.

මේ පිළිබඳව අනුර කුමාර දිසානායක මහතාගේ විවේචනය වුණේ මේ ආණ්ඩුව දූෂණයෙන් තොරව ක්‍රියා කළා කීම වලංගු නැති බවයි. ඒ වගේම ජනාධිපතිවරයාගේ කතාවේ තිබුණා ජනවාරි 8දා බලයට එනකොට ඔහු ඉදිරියේ වූ අභියෝග 4ක් ගැන. ඒ අභියෝග 4 අද ජයගෙන තිබෙනවාද? ජය ගැනීමට නොහැකි වුණා නම් නොහැකි වුණේ ඇයි ද යන්නත් ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ හෙළි වුණා. එක අභියෝගයක් තමයි ජනවාරි 8 වෙද්දී ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ බලය ස්ථාපිත කිරීමට තිබීම. අද වෙනකොට ඒක ඉෂ්ට වෙලාද? නැද්ද? එදා ජනවාරි 8 ඡන්දය දුන්න අය කිව්වේ එදා රජය චණ්ඩි වැඩියි. පුරවැසියට සිවිල් අවකාශය තුළ ක්‍රියාත්මක වෙන්න ඉඩ දුන්නේ නෑ. රජය විසින් සමාජය මිටට අරන් තිබුණේ. ඒ නිසා ඒ ආණ්ඩුව වෙනස් කළා. හැබැයි අද පුරවැසියට තියෙන ප්‍රශ්නය කුමක්ද? අද කියන්නේ රාජ්‍යයට පණ නෑ. කෙළින් නෑ. වැනෙනවා කියලා. පමණක් අය හිතනවා නැපෝලියන් බොනපාර්ට් වගේ නායකයෙක් පත්වුණොත් හොඳයි කියලා.
හැබැයි ජනවාරි 8 ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ බලය ස්ථාපිත කිරීමට තිබූ අභියෝගයට උත්තරය එයද?

ජාතීන් අතර සමඟිය, සහජීවනය සහ දේශපාලනික අයිතිවාසිකම් ලබා දීම තිබූ අභියෝගය දෙවැන්නයි. දේශපාලන පක්ෂ මෙන්ම සිවිල් සමාජය අතර සාකච්ඡාවක් තිබෙනවා. මාධ්‍යයේදී මේ පිළිබඳව තියෙන සාකච්ඡාව මොන මට්ටමකද තියෙන්නේ. දේශීියත්වය සහ සිංහල ජාතිකත්වය රටේ තීන්දු තීරණ ගැනීම පාලනය කරන තත්ත්වයක් තියෙනවා. ඒ නිසා දේශපාලනඥයන් මේ ගැන කතා කරන්න බයයි. එවැනි තත්ත්වයක් තුළ කොහොමද ඇත්ත කතාව එළියට ගන්නේ? තුන්වැනුව ජනාධිපතිවරයා කිව්වේ ලංකාව රුපියල් ටි්‍රලියන 10.3ක ණය බරක ඉන්නවා කියලා. රටක් විදියට බරපතළ අගාධයක සිටින බව එතුමා පැහැදිලි කළා. ලංකාවේ ජාතික ආදායමෙන් 80%ක් ණය පොලී වාරිකය ගෙවනවා.
රට ගෙනියන්න ඉතුරු වෙන්නේ 20%යි. ණය

විෂම චක්‍රයට පත්වෙලා. අපි රත්වෙන දිය හැළියේ ඉන්න කකුළුවා වගේ විවිධ ශබ්ද දාමින් ක්‍රියාකාරකම් කරමින් සතුටින් ඉන්නවා. මොනතරම් ගොඩනැඟිලි හැදුණත් ලංකාවේ දුප්පත්කම පිළිබඳ ප්‍රශ්නය දැවැන්ත අභියෝගයක්. සංඛ්‍යාලේඛන අනුව අපි නිරපේක්ෂ දුප්පත්කමින් මිදෙමින් තිබෙනවා. ඒක ඇත්ත. නමුත් ඒ දුප්පත්කමයි අපි සියලු දෙනා අත්විඳින දුප්පත්කමයි අතර වෙනසක් තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා කිලෝ කැලරි 2,200ක් දෛනික ශක්ති පරිභෝජනය බව. පාරිභෝගික දර්ශකය අනුව කිලෝ කැලරි 2,200ක් මිලදී ගන්න හතර දෙනෙක් සිටින පවුලකට අඩුම වශයෙන් රුපියල් 500ක් වියදම් වෙනවා. මාසයකට 15,000යි. අනෙක් වියදම් එකතු වුණාම 30,000යි. මේක තමයි සාපේක්ෂ දුප්පත්කම. අපේ රටේ සාපේක්ෂ දුප්පත්කමේ පරිමාව දෙස බලද්දී අඩුම වශයෙන් ජනගහනයෙන් 50% ඉක්මවා යනවා. ලංකාවේ යමක් කරගත හැකි සමාජ ස්තරය වෙන්නේ දළ ජාතික නිෂ්පාදනයෙන් 45%ක් භුක්ති විඳින ජනගහනයෙන් 5%ක්. ඒ කියන්නේ මිලියන 20න් 19ක්ම විවිධ ආර්ථික අපහසුතාවලින් දුක් විඳිනවා. කොළඹ පාරවල්වල බෙන්ස්, අවුඩි වාහන ගියත් බරපතළ ප්‍රශ්නය සියලු දෙනාම දුක් විඳීමයි. රුපියල් තිස් දහසේ සීමාව තියෙන අයගේ කෑම පිඟානේ මාළුකෑල්ලක්වත් නෑ. එවැනි පසුබිමක් ඇතුළේ කොහොමද මේක ජයග්‍රහණය කරන්නේ? අද මාධ්‍ය තුළ, සමාජ මාධ්‍ය තුළ සාකච්ඡාවට ලක් වෙන්නේ මේ ගැටලු නෙවෙයි. සාකච්ඡාවට ලක් වෙන්නේ දේශපාලන බල අරගලය ගැනයි. 2020දී මීළඟ ජනාධිපතිවරයා පත් කර ගැනීම ගැනයි. ඒ ඇරෙන්න ආර්ථික, සමාජීය ප්‍රශ්න ගැන සාකච්ඡාවක් මෝදු වෙන්නේ නෑ. මොකද කුණු රසය නැති නිසා. කුණු රසය නැත්නම් මාධ්‍යවල මතු කරන්න ඉඩක් නැහැ.

ඒ වගේම අවුරුදු තුනක මේ රාජ්‍ය නොහැකියාව ගැන කවුරුන් හෝ කතා කරනවා නම් ඒ සමාජ කතිකාවතක් නොමැති වීමත් ඊට හේතුවක්.

2015 ජනවාරි 8දා මේ ආණ්ඩුවට සමාජය බලය දුන්නේ ආර්ථික න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කරන්න නෙවෙයි. ප්‍රජාතන්ත්‍රීකරණයට අදාළ න්‍යාය පත්‍රයක් කරන්නයි. නමුත් ඒකෙන් කියන්නේ නෑ ආර්ථිකය නොසලකා හැරිය යුතුයි කියලා. මොකද ආර්ථිකය තමයි දේශපාලනය තීරණය කරන්නේ. ආර්ථිකය හැසිරවීමට බැරි නම් දේශපාලනය හසුරවන්නත් බැහැ. අද අපිට වැරැදිලා තියෙන්නේ දේශපාලන ආර්ථික දෘෂ්ටියේ උෟනතාවක් නිසා අදටත් අපි ක්‍රියාත්මක කරන්න හදන්නේ නව ලිබරල් ආර්ථික ක්‍රමයක්. මෙය පදනම් වුණේ වොෂින්ටන් සංකල්පය මතයි. ඉන් එක් සංරචකයක් වූ විවෘත ආර්ථිකය 77න් පස්සේ අපේ රටේ යථාර්ථය වුණා.

රජය සහ ආර්ථිකය අතර පවත්වා ගත යුතු අනුපාතය පිළිබඳව අපට ප්‍රශ්නයක්. වොෂින්ටන් සම්මුතිය ක්‍රියාත්මක කළ ලෝක බැංකුවම පසුකාලයේ එය අසාර්ථක වෑයමක් බව පිළිගත්තා. නමුත් අවාසනාවකට 2001දී ලංකාවේ ගෙඩිය පිටින් ක්‍රියාත්මක කරන්න ගිහින් අනාථ වුණා. ඒකෙන් කියැවෙන්නේ නෑ අපි සම්පූර්ණයෙන්ම ආවෘත හෝ සමාජවාදී ආර්ථිකයට යායුතුයි කියලා. ඒ කටුක අද්දැකීම් තමයි මෑතකදී මහ බැංකු අධිපතිවරයා කිව්වේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක තිබෙන ගිවිසුම වැරැදියි කියලා. ඒක ඇත්ත. අද අපිට මුහුණ දෙන්න වෙලා තියෙන හුඟක් ප්‍රශ්න, ණය කළමනාකරණය නාමයෙන් වැරැදි ආර්ථික පාරේ යෑමේ ප්‍රතිඵලයන්. ඒ එක්කම අපි ප්‍රාර්ථනා කරනවා මේ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයන්ට යථාර්ථවාදීව සලකා බලන්න ඇස් ඇරේවා කියලා.

උදාහරණයක් විදියට තෙල් මිල වැඩි කළ යුතුයි. වාදයක් නැහැ. නමුත් වැඩිකළ යුත්තේ කෙසේද? කොටස් තුනකට වැඩි කළා නම් කොහොමද? රජයේ බදු කොතෙක් ප්‍රමාණයක් තියා ගත යුතුද? දැනට අපිට විවේචනය තිබෙද්දී එය ස්වයං විවේචනයක් විදියට ඉදිරිපත් කරනවා නම් අපි දැනට අනුගමනය කරන දේශපාලන ආර්ථිකයේ තිබෙන වැරැදි වහ වහා වෙනස් කර ගත යුතුයි. එසේ නොකළහොත් ආර්ථිකය විසින් දේශපාලනය තීරණය කරන හින්දා දේශපාලනය අවුල් වෙනවා. දේශපාලනය අද අවුල් වගේ පේනවා නම් ඊට හේතුව ආර්ථිකය තුළ අපි අනුගමනය කරන ක්‍රියාමාර්ගයි. ලංකාව බහු වාර්ගික සමාජයක් කිව්වට මං කැමැති අන්තර්වාර්ගික සමාජයක් කියනවට. බහුවාර්ගික කියන්නේ තාප්ප දාගෙන බෙදිලා ඉන්න සිංහල, දෙමළ මිනිස්සු. හැබැයි අන්තර්වාර්ගික කියන්නේ එකිනෙකා මත යැපෙන සමාජයක්. මේ තුළින් තමයි නව සහජීවන කතාවක් ඇති කර ගත යුත්තේ.
මොකද මේ ජාතීන් තුන සහ කුඩා ජාතීන්ගේ සහජීවනයෙන් තොරව ස්ථාවර ලංකාවක් ගැන හිතන්න බැහැ. ආර්ථිකයයි දේශපාලනයයි දෙකම අවුල් වෙනවා. මේ ස්ථාවරභාවය නැති වුණොත්. මහ ජාතිය වන සිංහල ජාතියත්, දෙමළ,මුස්ලිම් අනෙක් ජාතීන් අතරත් සම්මුතියක් ඇති කර ගත යුතුයි. නමුත් මේ වසර තුනේදී මේ ආණ්ඩුවට ඒක කරගන්න බැරි වුණා.

මං විශ්වාස කරනවා ඉකුත් මැයි 8දා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ සිදු කළ කතාව සමාජ කතිකාවතක් බවට පරිවර්තනය කළ යුතුයි කියලා. මොකද ඒ කතිකාවත තුළ තමයි ලංකාවේ සංවර්ධන අභියෝග, දේශපාලන අභියෝග ගැන කතා කෙරෙන්නේ. මොන ආණ්ඩුව ආවත් මේ විෂයයන් ගැන හරවත් සංවාද නොකර ඉදිරියට යන්න බෑ. කවුරු ආවත් මේ අභියෝග ජය ගැනීමට ස්ථීරසාර ප්‍රතිපත්තියක් තියෙනවා. නමුත් අවාසනාවට සමාජයේ මේ ගැන කතා නොකරන තාක් දේශපාලනඥයන්ට පුළුවන් ඔබේ ඇස් නිලංකාර කරලා තමන්ගේ වැඩේ කරගන්න.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon