අනේ‍යාන්‍ය සහයෝගිතාව දැක්වීමේ පනත විදෙස් බලවතුන්ට දුන් සන්තෝසමක්

  👤  3590 readers have read this article !
By mawbima 2018-06-18

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය

සාපරාධී කාරණාවලදී අනේ‍යාන්‍ය සහයෝගිතාව දැක්වීමේ පනත සංශෝධනය කිරීමට ගෙනැවිත් තිබෙන පනත් කෙටුම්පත ආණ්ඩුව බලයට ගෙන ඒමට උදවු කළ විදේශ බලවතුන්ගේ අවශ්‍යතා ඉටුකිරීමක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඔහු සිය නිවේදනයෙන් පවසන්නේ මෙය ආණ්ඩුවේ නවතම පාවාදීම බවයි.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 2002 අංක 25 දරන සාපරාධී කාරණාවලදී අනේ‍යාන්‍ය සහයෝගය දැක්වීමේ පනත සංශෝධනය සඳහා රැගෙන ආ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මෙම පුවත්පත් නිවේදනය හිටපු ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබේ.
"රණවිරුවන් විදෙස් බලවතුන්ට පාවාදීමේ යාන්ත්‍රණය සැකසීම" යන මාතෘකාව යටතේ නිකුත් කළ එම නිවේදනය මෙසේයි.

වත්මන් ආණ්ඩුව විසින් 2002 අංක 25 දරන සාපරාධී කාරණාවලදී අනේ‍යාන්‍ය සහයෝගිතාව දැක්වීමේ පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට හඳුන්වා දී ඇත. 2002 මුල් නීතියේ අරමුණ වූයේ වෙනත් රටවල සැකකරුවන් හෝ සාක්ෂිකරුවන් ලංකාවේ සිටින්නේ නම් හෝ මෙරටට අවශ්‍ය එවැනි පුද්ගලයන් වෙනත් රටක සිටින්නේ නම් ඔවුන් හඳුනාගැනීම හා සොයාගැනීම, එවැනි පුද්ගලයන්ට සිතාසි වැනි ලියවිලි ලැබීමට සැලැස්වීම, සාක්ෂිකරුවන්ගෙන් ප්‍රකාශ ලබාගැනීම, සාක්ෂි සෙවීම, නඩු භාණ්ඩ සඳහා සෝදිසි කිරීම හා සන්තකයට ගැනීම, සාක්ෂිකරුවන් උසාවියට ඉදිරිපත් කිරීම, අපරාධ තුළින් උපයාගත් ධනය සෙවීම, එවැනි දේපළ අත්හිටුවීම වැනි කාරණාවලදී විදෙස් රටවල් හා අනේ‍යාන්‍ය සහයෝගයෙන් කටයුතු කිරීමයි. එම මුල් නීතිය බලපවත්වනු ලැබුවේ නම් කරන ලද පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් කිහිපයකට හා මෙවැනි කටයුතුවලදී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ගිවිසුම් ගතව සිටි රටවල් කිහිපයකට පමණි.

පවතින නීතිය සංශෝධනය කිරීමට ඉදිරිපත් කර තිබෙන පනත් කෙටුම්පතෙන් 2002 අංක 25 දරන පනතේ වගන්ති ගණනාවක්ම සම්පූර්ණයෙන්ම වෙනස් කිරීම තුළින් මුල් පනතේ ස්වරූපය සැලකිය යුතු ආකාරයට වෙනස් වනු ඇත. යෝජිත සංශෝධනයෙන් මේ නීතියේ බලපෑම ලංකාව අස්සන් කොට ඇති, සාපරාධි කාරණා සම්බන්ධ ජාත්‍යන්තර සම්මුතියකට බැඳී ඇති සියලුම රටවල් දක්වා පුළුල් කෙරේ. පවතින නීතිය රාජ්‍යයන්වලට පමණක් බලැපැවැත්වුවද යෝජිත සංශෝධනයෙන් එම පනතේ වපසරිය තුළට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වැනි ජාත්‍යන්තර සංවිධානද ඇතුළත් වෙයි. වෙනත් රටවලින් ලබා ගන්නා ලිඛිත සාක්ෂි හා වෙනත් රටවල සිටින පුද්ගලයන්ගෙන් වීඩියෝ තාක්ෂණය හරහා ලබාගන්නා සාක්ෂිත් උසාවි විසින් පිළිගත යුතු වන ආකාරයට විධිවිධාන යෝජනා වී ඇත. පිටරටින් එන ඉල්ලීම්වලට යුහුසුලුව ප්‍රතිචාර දැක්වීමට හැකි වන ආකාරයට සාපරාධී කාරණාවලදී අනේ‍යාන්‍ය සහයෝගිතාව දැක්වීමේ පරිපාලන යාන්ත්‍රණයද විශාල වශයෙන් පුළුල් කිරීමටද යෝජනා වී ඇත.

මේ යෝජිත සංශෝධනය වත්මන් ආණ්ඩුව විසින් මීට කලින් හඳුන්වාදුන් නව නීති දෙකක් සමඟ බැඳී පවතී. ඒ අතුරුදන් වූවන්ගේ කාර්යාල පනත හා අතුරුදන් කරවීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්තිය ලංකාවේ බලාත්මක කිරීම සඳහා ගෙන ආ පනතටය. අතුරුදන් වූවන්ගේ කාර්යාලය යනු සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කොට, විභාග පවත්වා සාක්ෂි ලබාගත හැකි විනිශ්චය සභාවකි. එහි නිලධාරීන්ට ඕනෑම වෙලාවක සෝදිසි වරෙන්තුවක් නොමැතිව ඕනෑම පොලිස් ස්ථානයකට, බන්ධනාගාරයකට හෝ හමුදා කඳවුරකට ඇතුළු වී ඔවුන්ට අවශ්‍ය යැයි හිතෙන ඕනෑම ලියවිල්ලක් හෝ භාණ්ඩයක් තමන් සන්තකයට ගැනීමට බලය ඇත. මෙම කාර්යාලයේ කටයුතුවලට සහයෝගය නොදෙන ඕනෑම කෙනකුට උසාවියට අපහාස කිරීමේ නීතිය යටතේ දඬුවම් පැමිණවිය හැකිය. සන්නද්ධ හමුදා හා බුද්ධි අංශ ඇතුළු සියලුම රජයේ ආයතන මේ කාර්යාලයේ වැඩ කටයුතුවලට සහයෝගය දැක්වීම අනිවාර්ය වන අතර රාජ්‍ය රහස් පනත අතුරුදන් වූවන්ගේ කාර්යාලය සිදුකරන විමර්ශනවලදී බල රහිත වේ.

2018 අංක 5 දරන පනතින් ලංකාවේ බලාත්මක කොට ඇති අතුරුදන් කරවීම්වලට එරෙහි ජාත්‍යන්තර ප්‍රඥප්තිය මඟින් අතුරුදන් කරවීම සම්බන්ධයෙන් අධිකරණ බලය එම ප්‍රඥප්තියට ඇතුළු වී සිටින සියලුම රටවල් අතරේ බෙදා හැර ඇත. ඒ අනුව ලංකාවේ සිදුවූ අතුරුදන් කරවීමක් සම්බන්ධයෙන් වෙනත් රටක නඩුවක් පවත්වාගෙන යෑමට අදාළ විදෙස් රටට බලය ලැබේ. අතුරුදන් කරවීම්වලට එරෙහි ජාත්‍යන්තර ප්‍රඥප්තියේ අංක 10,11 හා 13 වගන්තිවලට අනුව එම ප්‍රඥප්තියට ඇතුළු වී සිටින ඕනෑම රටකට ශ්‍රී ලාංකික සැකකරුවන් සිර භාරයට ගෙන එක්කෝ එම රටේම නඩු ඇසීම නැතිනම් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට භාරදීමට බලය ඇත. මෙකී ජාත්‍යන්තර ප්‍රඥප්තිය ලංකාවේ බලාත්මක කිරීම සඳහා සම්මත කරන ලද 2018 අංක 5 දරන පනතේ 8 වැනි හා 21 වැනි වගන්තිවලට අනුව ලංකාව තුළ අතුරුදන් කරවීමකට සම්බන්ධ යැයි සැක කරන පුද්ගලයන් තමන්ට භාරදෙන මෙන් එම ප්‍රඥප්තියට සම්බන්ධ විදෙස් රටකට ඉල්ලා සිටීමටද බලය ලැබේ.

මේ ආණ්ඩුව බලයට ගෙන ඒමට උදවු දුන් විදේශීය බලවතුන්ගේ වුවමනාවන් ඔවුන් ඉටු කරමින් සිටින විලාසයද ජනතාවගේ අවධානයට යොමු විය යුතුය. 2016 අගෝතු මාසයේදී මොවුන් අතුරුදන් වූවන්ගේ කාර්යාල පනත පාර්ලිමේන්තුවේදී බලහත්කාරයෙන් සම්මත කර ගනු ලැබුවේ එම පනත විවාද කිරීමට විනාඩි 40ක කාලයක්වත් නොදීය. ඒ විනාඩි 40න්ද වැඩි කාලයක් ගත වූයේ එදින එය විවාදයට ගත යුතුද නැද්ද යන්න ගැන තර්ක විතර්කවලටය. එය එදින විවාදයට නොගන්නා බවට ආණ්ඩුව කලින් ප්‍රතිඥා දී තිබිණි.
2018 මාර්තු මාසයේදී ආණ්ඩුව අතුරුදන් කරවීම්වලට එරෙහි ජාත්‍යන්තර ප්‍රඥප්තිය ලංකාවේ බලාත්මක කිරීමට අංක 5 දරන පනත සම්මත කරගනු ලැබුවේ නුවර දිස්ත්‍රික්කයේ සිදුවූ සිංහල - මුස්ලිම් කෝලාහලය නිසා ජනතාවගේ අවධානය වෙනතකට යොමුවී තිබීම ප්‍රයෝජනයට ගෙනය. මොවුන් මේ නීතිය සම්මත කරගනු ලැබුවේද තෛ්‍රනිකායික මහනාහිමිවරුන් පමණක් නොව තෛ්‍රනිකායික කාරක සංඝ සභාවලින්ද එය ඉවතලන මෙන් ආණ්ඩුවෙන් කර තිබූ ඉල්ලීම් නොසලකාය. මෙම වසරේ මැයි 18 වැනිදා එනම් කොටි සංවිධානයට එරෙහි යුද ජයග්‍රහණය සමරන සංවත්සර දිනයේදීම සාපරාධී කාරණාවලදී අනේ‍යාන්‍ය සහයෝගිතාව දැක්වීමේ 2002 පනතට මෙම සංශෝධන කෙටුම්පත ගැසට් කරන ලදී. ඒ අවස්ථාවේදීද රටේ විවිධ ප්‍රදේශවල ඇතිවූ ගංවතුර ආපදාව නිසා ජනතාවගේ අවධානය වෙනතකට යොමු වී තිබිණි. මේ රටේ දීර්ඝ ඉතිහාසය පුරා රටට ද්‍රෝහී වූ පිරිස් සිට ඇත. නමුත් මේ තරම් උන්නදුවෙන් හා කැපවීමෙන් පාවාදීම් කරන පාලකයන් පිරිසක් කිසිදාක මේ රටේ සිට නැත.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon