ඥානසාර හිමියන්ට ජම්පරය ඇන්දවීමට විරෝධයt

  👤  3558 readers have read this article !
By mawbima 2018-06-18

ඥානසාර හිමියන්ට බන්ධනාගාරයේදී
චීවරය දැරීමට ඉඩ සලසන්න

හර්ෂනී අර්සකුලරත්න, කුමුදු උපුල් ශාන්ත

රාජ්‍ය නායකයාට ජාතික වැදගත්කමක් ඇති කරුණු සම්බන්ධයෙන් සිය අභිමතය පරිදි තීරණ ගැනීමට ව්‍යවස්ථාව හරහා අවකාශ සලසා ඇති හෙයින් බන්ධනාගාරය තුළදී පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ හට චීවරය දැරීමට ඉඩ ලබා දෙන ලෙස බන්ධනාගාර නිලධාරීන් හට නියෝග කිරීමට ජනාධිපතිවරයාට හැකියාව ඇති බව ප්‍රකාශ කරමින් ජාතික නිදහස් පෙරමුණ ජනපති මෛත්‍රිපාල සිරිසේන වෙත පසුගියදා ලිපියක් යොමු කර තිබේ.

උන්වහන්සේගේ මහජන ක්‍රියාකාරකම් සහ මත ප්‍රකාශ කිරීම් පිළිබඳ යමකුගේ කැමැත්ත හෝ අකැමැත්ත හෝ නොසලකා බුද්ධ චීවරයේ ගෞරවය රැකීමට වහාම පියවර ගන්නා ලෙසට එම ලිපියෙන් ජාතික නිදහස් පෙරමුණ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ජා.නි.පෙ. ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි ජයන්ත සමරවීරගේ අස්සනින් යුතුව යොමු කර ඇති එම ලිපියේ සඳහන් පරිදි උන්වහන්සේට දඬුවම් විඳින කාලය තුළ චීවරය දරා සිටීමට අවස්ථාව ලබා නොදුනහොත් එය සම්බුද්ධ ශාසනයේ සංඝ සමාජයේ ගෞරවයට, පෞරුෂයට හා අභිමානයට බලවත් හානියක් බව ජාතික නිදහස් පෙරමුණේ විශ්වාසය වේ.

එසේම එය සම්බුද්ධ ශාසනයත්, සංඝ සමාජයත් ගර්හාවට, අපකීර්තියට හා නොසලකා හැරීමට ලක් කිරීමේ රටට හතුරු දෙස් විදෙස් බලවේගවල වුවමනාවන් ඉටු කිරීමක් බවද තමන් ඇතුළු ජා.නි.පෙ. අවධාරණය කරන බවද එම ලිපියේ සඳහන් වේ. අධිකරණ තීන්දු පිළිබඳ විනිශ්චය දීමට තමාට නීතිමය අයිතියක් නොමැති වුවද උන්වහන්සේ දඬුවම් ලබන්නේ යම් ජාතික වැදගත්කමක් සහිත නඩු විභාගයකට අදාළව හැඟීම්බරව ක්‍රියා කිරීම සම්බන්ධයෙන් යැයිද ඒ පිළිබඳ මුළු රටම දන්නා බවද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

වත්මන් ආණ්ඩුවේ ඇමැතිවරු දෙන්නෙක් මේ පිටිපස්සේ ඉන්නවා

වැලිවිටිය දිවිතුර - උපුල් මහේෂ්

යහපාලන ආණ්ඩුවේ පාලකයෝ ජාත්‍යන්තර ප්‍රජාව, කොටි ත්‍රස්තවාදීන් හා එන්ජීඕ නඩ සතුටු කරන්න ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවෝ බිල්ලට දුන්නා යැයි බොදුබල සේනාවේ සාමාජික මාලිගාකන්දේ සුදත්ත හිමියෝ පැවැසූහ.

උන්වහන්සේ එසේ ප්‍රකාශ කළේ පෙරේදා (16දා) පස්වරුවේ සීනිගම දේවාලයේ බොදුබල සේනා සාමාජිකයන් විසින් පවත්වනු ලැබූ දේව කන්නලව්වට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කරමිනි.

තවදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේද පැවැසූහ.

එදා ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් විසින් ඉංග්‍රීසි කොඩිය බිම දාලා අභීත සිංහනාද කරපු අපේ වාරියපොළ සුමංගල හාමුදුරුවෝ අපවත් වෙනතුරු යාපනය බන්ධනාගාරයේ සිරගත කළා. හැබැයි එවකට හිටපු ඉංගී්‍රසි අධිරාජ්‍යවාදීන්වත් වාරියපොළ සුමංගල හාමුදුරුවන්ගේ කසාවත ඉවත් කළේ නැහැ. නමුත් වර්තමානයේ මේ පාලකයෝ ඥානසාර හාමුදුරුවන් සිරගත කරලා. ඒ අරහත් සාධකය උන්වහන්සේගෙන් ඉවත් කරන්න තරම් නිවට පාලකයන් බවට පත්වෙලා තියෙනවා.

ඒ නිසා බොහොම පැහැදිලියි මේ කුමන්ත්‍රණය කොහෙන්ද ආරම්භ වෙලා තියෙන්නෙ කියලා. මේ වෙනකොට ජාත්‍යන්තර ක්ෂමා ආයතනය නිවේදනයකුත් නිකුත් කරලා තියෙනවා ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවන් වහන්සේ සිරගත කිරීම ඇගැයීමට ලක් කරලා. අපි අහනවා මෙහෙම නම් මේක කොහෙන්ද පටන් අරන් තියෙන්නේ. ජාත්‍යන්තර ප්‍රජාව, එන්ජීඕ සංවිධාන වාගේම ඔවුන්ගේ බත් බැලයන් සතුටු කිරීමට උන්වහන්සේව පාවිච්චි කරලා තියෙනවා.

අප ඉතාමත් වගකීමෙන් කියනවා මේක පිටිපස්සේ ඉන්නවා වත්මන් ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරු දෙන්නෙක්. ඒ දෙන්නාගේ නම් අපි ඉදිරියේදී හෙළි කරනවා. හැබැයි මේ වෙලාවේ ඉඟියක් දෙනවා. එක්සත් ජාතික පක්ෂය වගේම ඒ තුළ තියෙන බෞද්ධ ඡන්ද පදනම දියාරු කරන්න කටයුතු කරන ජාත්‍යන්තර වෙළෙඳ සම්බන්ධතාවක් තියෙන ඇමැතිවරයෙක් මේකට ඍජුවම සම්බන්ධයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon