සෑම විහාරාධිපතීන් වහන්සේ නමකටම ආරක්ෂාව සැපයෙන වැඩසටහනක් ක්‍රියාවට නැංවිය යුතුයි

  👤  3428 readers have read this article !
By mawbima 2018-06-18

කතරගම - සන්දිම දේවප්‍රිය, ඩී.එන්. කලුආරච්චි

කතරගම පුදබිමට කිසිදු දිනයක රට අල්ලාගත් විජාතිකයන්වත් ලේ සෙලවීමේ ක්‍රියාවක් කළේ නැහැ. කතරගම පුදබිම තුළ මහා සංඝයා වහන්සේ නමකට වෙඩි තැබීම සිදු කළේ කතරගම කිරිවෙහෙර භාරකාර හිමියන්ටයි. මෙය කිරිවෙහෙර සෑ රදුන්ට වෙඩි තැබීම හා සමානයි. එබැවින් මේ වැනි ක්‍රියා නැවත සිදුවන්නට පෙර අපි සෑම විහාරාධිපතින් වහන්සේ නමකටම ආරක්ෂාව සැපයෙන ලෙස වැඩසටහනක් ක්‍රියාවට නැංවිය යුතු බව රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කපුගම සරණතිස්ස හිමියෝ පැවැසූහ.

උන්වහන්සේ මේ බැව් පැවසුවේ කතරගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ හිමිවරුන් හා ගිහි සාමාජිකයන් අමතමිනි. කතරගම කිරි වෙහෙර රාජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධිය මුල්කරගෙන විශේෂ රැස්වීමක් කතරගම ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේදී ඉකුත් 15 වැනි දින පැවැත්විණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කපුගම සරණතිස්ස හිමියෝ මෙසේද පැවැසූහ. මෙම සිද්ධිය මුල්කරගෙන රටේ ජනයා කතරගම පුදබිම ගැන වැරැදි දෘෂ්ටිකෝණයකින් බලනවා. මේ අයගේ හැසිරීම නිසා කතරගම පුදබිම ගැන වැරැදි අවබෝධයෙන් හිතනවා. පසුගිය කාලයේදී හිටපු බස්නායක නිලමේවරයා තිරුපති කෝවිලක් සෑදීම මුල්කරගෙන දේවාලයේ යතුර ගැනීම නිසා කපු මහතුන් අතරත් අර්බුද ඇති වුණා. මේවා තවත් සිදුවීමට අපි ඉඩ තැබිය යුතු නැහැ. සිවුරකට වෙඩි තැබුවා කියන්නේ මුළු ශාසනයටම වෙඩි තැබුවා කියන එකයි.

මෙහිදී අදහස් දැක්වූ කතරගම ජයසුමනාරාම විහාරාධිපති නාවිමන නාලක හිමියෝ යම් සිද්ධියක් වූ විට අදාළ අපරාධකරුවා අල්ලා ගැනීමට පෙර එම අපරාධය සිදුවීම වැළැක්වීම තමයි පොලිසියේ යුතුකම. කොබවක ධම්මින්ද හිමියන්ට සිදු වූ මෙම වෙඩි තැබීම මුළු සංඝයා වහන්සේලාටම සිදු කළ දෙයක් ලෙස මා දකිනවා යැයි පැවැසූහ.

කතරගම අෂ්ටඵල බෝධියේ තේවාභාර තලගල ඤාණේන්ද්‍ර හිමියන් මෙසේ පැවැසූහ.
කොබවක ධම්මින්ද හිමියන්ගේ වකුගඩු ආසන්නයටම මෙම වෙඩි උණ්ඩයේ කැබලි කි¼දා බැස තිබෙනවා. තුවාල නවයක් පමණ ශරීරයේ තිබෙනවා. පසුගිය ජූලි මාසයෙන් පස්සේ කතරගම තුළ විශාල අපරාධ රැල්ලක් ඇතිවුණා.

මෙහිදී අදහස් දැක්වූ කතරගම පොලිස් ස්ථානාධිපති උපාලි කාරියවසම් මහතා පැවැසුවේ කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තබන අවස්ථාවේදී හිමියන්ගේ ආරක්ෂාවට සිටි ග්‍රාම ආරක්ෂක භටයා වෙඩික්කරුවන් පසු පස ලුහුබැඳීම නිසා අවියක් අත තැබූ පොලිස් නිලධාරියා වෙඩි තැබීම සිදු නොකළේ දිව යන ග්‍රාම ආරක්ෂක භටයාට වෙඩි වැදීමට සිදුවන නිසා බවත් සිද්ධිය වී සුළු කාලයක් තුළ අපරාධකරුවන් පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීමට පොලිසියට හැකි වූ බවත්ය.

මල්ලිකාරාම විහාරාධිපති හබරාදුවේ ඥානමෝලි හිමි, සෙල්ල කතරගම වතුරුවා රාජ මහා විහාරාධිපති දෙනගම ධම්මරතන හිමි, දියවර ගම්මානයේ සිරිසුමනාරාමය විහාරාධිපති මතුගම සුමනසිරි හිමි, කතරගම වල්ලිමාතාගම රාජමහා විහාරාධිපති ඇත්කඳුරේ විපුල භද්ද්‍ර හිමි, කතරගම පොලිස් ස්ථානාධිපති උපාලි කාරියවසම් මහතා ප්‍රමුඛ රාජ්‍ය ආයතනවලට අයත් පිරිස්ද මෙම අවස්ථාව සඳහා පැමිණ සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon