මහින්ද අගමැති නොකළොත් මේ රටේ අවසානය කඩිනම් වෙනවා

  👤  3966 readers have read this article !
By mawbima 2018-06-18

නලිනිකා ලක්ෂාණි
මාතලේ - හේවා පී. කරුණාරත්න

මහින්ද රාජපක්ෂ මහතා කල්නොයවා අගමැති නොකළොත් මේ රටේ අවසානය කඩිනම් වන බව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චන්දිම වීරක්කොඩි පැවැසීය.

මාතලේ කානිවල් පිටියේදී පෙරේදා (16දා) පැවැති 'හෘද සාක්ෂියේ නිදහස' දෙවැනි සම්මන්ත්‍රණය ඇමැතූ මන්ත්‍රිවරයා අවධාරණය කළේ මහින්ද රාජපක්ෂ සමඟ මෛත්‍රිපාල සිරිසේන එකතු කර අලුත් ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවය.

වීරක්කොඩි මහතා මෙසේද කීය.

2015දී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීමට බලමුළු බැඳ ගෙන කටයුතු කළා. ශ්‍රී ලනිපයේ අපේක්ෂකයා හැටියට පක්ෂය වැටිච්චි වෙලාවෙත් පක්ෂය එක්ක සියලු කැපවීම් කළා. එදා මේ රටේ ත්‍රස්තවාදය නැති කරන්න එජාපයේ ජී. එල්. ඇතුළු 33 දෙනකු අපේ ආණ්ඩුවට එකතු වුණා. අපි සියලු කැපකිරීම් කරලා අපේ සංවිධායකකම් පවා දන් දෙන්න සිදු වුණා. ආපු තිස් ගාණට එන්න එපා කීවේ නැහැ.

අපි ජනවාරි 08 පැරදුණා. ජනවාරි 08 පැරදුණු අපි පක්ෂයේ තීන්දුව මත නායකකම මෛත්‍රිපාල සිරිසේන මහතාට දීලා එතුමාගේ නායකත්වයෙන් මැතිවරණයට ඉදිරිපත් වුණා. පක්ෂයේ තීන්දුව අනුව ජාතික ආණ්ඩුවට එක්වුණා. ඒ තීන්දුවත් සමඟ ගමේ ඉන්න බැරි තත්ත්වයක් ඇතිවුණා. ජාතික සම්පත් විකුණා කන වැඩපිළිවෙළක්, මිනිස්සු පීඩාවට පත් කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුණා. විවිධ බලවේගවලට ආස විදියට මේ රටේ නායකත්වය තීන්දු ගන්න වැඩපිළිවෙළ තුළ අපි හිරවුණා. තෙල් ටැංකි ටික සංවර්ධනය කිරීමට කැබිනට් එක අනුමත කළා. ඒත් රනිල් වික්‍රමසිංහ කැබිනට් පත්‍රිකාවක් දාලා අපි සියලු දෙනා ගත්ත තීන්දුව වළක්වනවා. අද එක එක්කෙනාට ඕන විදියට නටවන මට්ටමට රට පත්වෙලා. මේ රටේ ස්වාධිපත්‍ය වෙනුවෙන් නිදහසේ අභිමානය වෙනුවෙන් ලක්ෂ සංඛ්‍යාත රණවිරුවන් ජීවිත පූජා කළා. අතපය නැති කර ගත්තා. ඒ සියල්ල කළේ අපේ අභිමානය වෙනුවෙන්.

මේ රටට 48 නිදහස ලැබුණට රාජ්‍ය නිල නායකයා ලෙස අග්‍රාණ්ඩුකාරයා පත් කළේ කිරීටයට ඕන විදිහට. සිරිමාවෝ මැතිනිය ඒ තීරණය වෙනස්කොට මාතලෙන් බිහිවුණු විලියම් ගොපල්ලව මහතා ලාංකේය රාජ්‍ය නායකයා බවට පත් කළා. එදා සිට ඒ අභිමානවත් ගමන ගියා. ඒත් අද රටේ ජනාධිපති අපේක්ෂකයා තීන්දු කරන එකටත් සමහර රටවල් ඇඟිලි ගහන්න බලාගෙන ඉන්නවා. අපි මේවාට එකඟ වෙනවාද? මේ රටට තවදුරටත් මෙහෙම ගමන් කරන්න ඉඩ දෙනවාද? මේ නිසා අපට සිදු වුණා මුළු කතාවම නොකිව්වට එළියට එන්න. මහින්ද රාජපක්ෂ මහතා එක්ක මෛත්‍රිපාල සිරිසේන මහතා එකතු කරලා වහාම මේ රටේ අපේ ආණ්ඩුවක් බිහිකරල මහින්ද රාජපක්ෂ මහතා අගමැති නොකළොත් මේ රටේ අවසානය කඩිනම් වෙනවා.

අපට කෙළවුණේ මොකද? සාගරයට අතු ගංගා එනවලු. සාගරයට කුණු මාළු එකතු වෙනවාලු. අපි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ විදියට මහින්ද රාජපක්ෂ මහතාට වැඩ කළාට ගම්පහ පැත්තෙන් ආපු කුණු කානු මේ සාගරයට එකතු වීම තුළින් මහා සාගරය අපවිත්‍ර වෙලා. අපි පරාජයට පත්වෙලා. මේ කුණු දිය වැලකට අහුවෙලා ඇමෙරිකාව පැත්තට ගහගෙන ගියා. දැන් ශ්‍රී ලනිපය ජයග්‍රහණය කළ හැකි වාතාවරණයක් ඇති වෙමින් තිබියදී ප්‍රාදේශීය සභා මැතිවරණය ආවා. ශ්‍රී ලනිපයේ අපි දෙකට කැඩුණා.

අපේම සහෝදර කණ්ඩායමක් වූ පොහොට්ටුව අපට වඩා විශාල ජයක් වාර්තා කළා. දැන් ප්‍රාදේශීය සභා නම් දිනුවා. හැබැයි ඒ ජයග්‍රහණය පාර්ලිමේන්තු ජයග්‍රහණයකට ප්‍රමාණවත්ද කියන එක ප්‍රශ්නයක්? රා බීපු මීයො කියූ කතාව වගෙ සමහරු දැන් අපි දිනල ඉන්නේ මේකට ආයෙ ඇතුළු වෙන්න බැහැ කියනවා. බුද්ධිමත්ව කල්පනා කරන්න. තේරුම් ගන්න. මේ ජයග්‍රහණය වෙනුවෙන් අනාගතයේදී සියලු බලවේග එකතු කර ගත යුතුය. ශ්‍රී ලනිපයේ පොහොට්ටුවේ සියලු දෙනා එකතු කර ගත යුතුය. කිසා ගෝතමිය සියල්ල නැති වුණාම කෙස්ස කඩාගෙන බුදුන් හමුවුණා. නොමළ ගෙයකින් අබ මිටක් ගේන්න කීවා. දැන් මේ ආණ්ඩුවට විරුද්ධ නැති ගෙයක් හොයාගන්න එකත් මේ අබ මිටක් හෙව්වා වගේ වැඩක්. ආණ්ඩුවේ ඉන්න ශ්‍රී ලනිපයේ 23 දෙනාටත් මේ යථාර්ථය තේරුම් ගෙන සත්‍ය අවබෝධ කර ගන්න වෙනවා. කරුණාකරලා නිවැරැදි පැත්තට එකතු වෙන්න. හෘද සාක්ෂියට අනුව කටයුතු කරන්න. රටේ ජනතාවගේ බලාපොරොත්තුව ගොඩනැඟිය යුතුයි.

පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා,

මහින්ද රාජපක්ෂ මහතා විසින්ම පක්ෂයේ නායකත්වය මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට දුන්නට පස්සෙයි අපි ගියේ. අද කකුල් දෙක දෙපැත්තේ තියන අය එදා හිටියෙ ඇමෙරිකාවෙ. අපි කවදාවත් කකුල් දෙක දෙපැත්ත තියාගෙන හිටිය අය නොවෙයි. අපිට ඇඟිල්ල දික් කරනකොට උඹලට ඇඟිලි 3ක් දික්වෙලා තිබෙනවා.

මහින්ද රාජපක්ෂ කියන වීරයගෙ නායකත්වය බාල්දු කරමින් වැඩ කළේ අපි නොවෙයි. එජාප මන්ත්‍රිවරුන්ගේ ගොඩනැඟිලි කෝටි ගණන් දීල අමාත්‍යාංශය කුලියට ගත්තේ අපි නොවෙයි. කකුල් දෙක දෙපැත්තෙ තියාගෙන ඉන්න අයට කියනවා අපට ඕනා උඹලවත් රනිල්වත් ගෙදර යවන්න කියලා. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති කාලේ 16ක් විපක්ෂයෙන් ආණ්ඩුවට ආවා ඇමැතිකම් ගන්න. රාජිත සේනාරත්න ආවෙත් ඒ වෙලාවේ. රාජිතගේ මුඛයයි අධෝ මුඛයයි අතර වෙනස අඟලයි. ඒකයි ගඳ ගහන කතා කියන්නේ.

අපි 16 දෙනා ඇමැතිකම් ගන්න ආවේ නැහැ. ඇමැතිකම් දාලයි ආවේ. රනිල් වික්‍රමසිංහ කියන දේම ඒකාබද්ධයේ අයත් කියනවා. මේ නිසා සැකයක් ඇති වෙනවා මේ අයටත් රනිල්ට වගේ කකුල් දෙක ගැන කියන රෝගයවත් බෝවෙලාද කියලා. ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්න රට සූදානම් විය යුතුය. ජනාධිපතිවරණය තෙක් රනිල් මේ රටේ අගමැතිකමේ තිබ්බොත් මොකා ජනාධිපති වුණත් පාලනය කරන්න රටක් ඉතුරු වෙන්නේ නැහැ. මේ නිසා 2020 වෙනකල් බලාගෙන ඉන්න බැහැ. රනිල් දැන් දැන්ම ‍ෙදාට්ට දාන්න ඕනෑ. ඒ සඳහා කළ යුතු එකයි. වර්තමාන ජනාධිපතිවරයාගේ කැමැත්ත ගන්න වෙනවා.

ඇයි අපි ජනපති සමඟ ඉන්නේ. අගමැති වෙනස් කළ හැකි ජනපතිට විතරයි. අපේ වෑයම මේ සන්ධානයේ තියෙන පක්ෂ එකතු කරලා මහින්ද රාජපක්ෂ මහතා අගමැති කිරීම. යූඇන්පීයට කේලාම් කියූ දුමින්ද ඉවත් කළා වගේ මේ අගමැතිත් ‍ෙදාට්ට දාලා මහින්ද රාජපක්ෂ පුටුවෙ ඉන්දවනවා. මේවා කියන කොට සමහර අයගෙ මල්ලිලාට අපිව නිකං වෙනම පේන්නේ. අපි ඒ මල්ලිලාට කියනවා. ඔය ගොල්ලන්ගෙ අයියලමයි පුටුවල වාඩි කරවන්නේ කියලා. මෛත්‍රිපාල සිරිසේන මහත්තයාගේ කැමැත්ත ඇතිව මහින්ද අගමැති වුණාම අපට මොකවත් එපා. ඊළඟ ජනාධිපතිවරණයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා නම් කරන්නේ කිනම් අපේක්ෂකයාද ඒ අපේක්ෂකයා වටා මේ රටේ සියලු බලවේග පෙළ ගස්වන්න. ඇයි මහින්ද රාජපක්ෂ මහතා නම් කරන කෙනෙක් කීවේ. ඕනෑම මැතිවරණයකදී ඡන්දදායකයා පිළිගන්නේ තමන්ට පිළිගත හැකි නායකයා. රනිල් වික්‍රමසිංහ පරද්දන්න මහින්ද මහත්තයා එක් කෙනෙක් නම් කළ යුතුයි. ඇයි මහින්ද මහත්තයට ජනාධිපතිවරණය ඉල්ලන්න බැහැ. නීත්‍යනුකූලව බැහැ. අර මාල කඩා ගත්ත කෙනෙක් කියනවා අනේ අපට බැහැ මහින්ද අගමැති කරන්න ඕනෑ නැහැ කියලා. එයා ජනාධිපති කරන්නයි කියලයි කියන්නේ. ඒත් නීතියට අනුව මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති කරන්න බැහැනේ. නීතියේ නැහැ. මාල කඩන්න ලේසියි. හැබැයි ජනාධිපතිකම් කරන්න ලේසි නැහැ.

ආණ්ඩුවෙන් ඉවත්වුණු 16 ගැන මේ සියලු දෙනාට සැක සාංකා මතුවෙනවා. ඒත් අපි ආයෙත් මාතලේට එන්නේ මහින්ද රාජපක්ෂ මහතා අගමැති පුටුවේ වාඩි කරලයි.

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර

ආණ්ඩුවෙන් පිරිසක් එළියට එනකොට සාමාන්‍යයෙන් ආශීර්වාද කරල විපක්ෂයෙන් පිළිගන්නවා. ඒත් අද අපි ඒගොල්ලන්ට පේන්නේ බිල්ලො වගේ. මෛත්‍රිගෙ බිල්ලෝ. අපට තියෙන්නේ එක සටනයි. ඒ සටන තමයි ශ්‍රී ලනිපය අනිකුත් පක්ෂ සියල්ල එකතු කර ගෙන නව ආණ්ඩුවක් පිහිටුවා ගැනීම.

මේ වෙනකොට ඒගොල්ලො කියනවා අපි කටු සූප්පු කරන්න ගිය කට්ටිය කියලා. කටු සූප්පු කරන්න ගිහිල්ල තමයි එයා මහින්ද රාජපක්ෂ මහත්තයව පරාජය කළේ. හොඳට තිබුණු ආණ්ඩුව පරාද කළේ. ඒගොල්ලෝ අපි වැඩ කළේ මහින්ද රාජපක්ෂ මහත්තයගෙ ජනාධිපතිවරණයට. ලංකාවේ හැම අස්සක් මුල්ලක් නෑරම රැස්වීම් තිබ්බෙ මහින්ද දිනවන්න. මෛත්‍රි දිනවන්න නොවෙයි. එදා පැරදුන ලක්ෂ සංඛ්‍යාත අම්මලා තාත්තලා උයා ගත්ත බත් පත කන්නේ නැතිව අඬ අඬා ඉද්දි තමන්ගේ සහෝදරයා දාල පැනලා ගිය බැසිල් රාජපක්ෂ මහත්තයා අද අපට දැන් මේ කතා කියන්නේ. යූඑන්පීයට වැඩ කරනවා නම් යූඑන්පීයෙ වැඩ කරන්නෙ. අපි ඉන්නේ යූඑන්පීයෙ වැඩ කරන්න නොවෙයි. මහින්ද රාජපක්ෂ මහත්තයට තියෙන ආදරේ අඩුවක් වෙන්නේ නැහැ. ඒ හින්ද අපි හදන්නේ අනාගතයේදී එතුමත් මෛත්‍රිපාල සිරිසේන මහත්තයත් එකතු වෙච්චි ආණ්ඩුවකට කියල කියන්න කැමැතියි. එහෙම එකතු කරලා ආණ්ඩු හදන්න බැහැ කියල කවුරු හරි ඔළුව උදුම්මගෙන කියනවා නම් මං කියන්න කැමැතියි ඒ අය යූඑන්පීය ආපසු හදන්න නායකත්වය දෙන්න හදනවා කියලා. මේ පක්ෂෙ නායකයො ඉන්නවා.

පොදුජන පෙරමුණ දැවැන්ත සංවිධානයක්. මේ කලින් කාටවත් තිබුණු සංවිධානයක් නොවෙයි. මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් කාටත් එකතු වෙන්න පුළුවන් තැනක්. මනෝ ගනේෂන්ලා දිගම්බරන්ලා මේ ඔක්කොම එකතු කර ගත්තොත් අපට ආණ්ඩුවක් හදන්න පුළුවන්. නැතුව නිකං පැත්තකට වෙලා කෑගහල හිටියට හරි යන්නේ නැහැ. මේ ගමන අප පටන් ගත්තේ ඉස්සරහට යන්න. අලුතෙන් ගෙනැල්ලා තියෙනවා ජනාධිපති ක්‍රමය නැති කරන්න 20 වැනි සංශෝධනය. ඒ 20 වැනි සංශෝධනයෙන් විධායක ජනාපති ක්‍රමය වෙනස් කිරීමයි සූදානම. 19 ගෙනැල්ල ජනාධිපතිගෙ බලතල කපල දැම්ම. බලතල ඔක්කොම රනිල් වික්‍රමසිංහගෙ ඔඩොක්කුවට දැම්මා. දැන් 20 වැනි සංශෝධනයක් ගෙනල්ලා. මේක පැණි තැවරූ වස ගුළියක්. ජනාධිපතිවරයා ඊළඟ පාර්ලිමේන්තුවෙන් පත් කරන බඩුවක් බවට පත්කරන්නයි මේ සූදානම.

වෙලාව ආවහම කියන්නම් ඊළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකයා කවුද කියලා. අපේක්ෂකයො ගණනාවක් ඉන්නවා. හදිස්සි වෙන්න එපා. ගෝඨාගෙ නම කී තරමින් වෙව්ලනවා. මේ අය හිරේ දාන්න වැඩපිළිවෙළ කරල තියෙන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රි - එස්. බී. දිසානායක

16 කණ්ඩායමේ පසුගිය ජනාධිපතිවරණයේදී අපි වැඩ කළේ අපේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයාට. පක්ෂයේ ලේකම්වරයා පොදු අපේක්ෂකයා වීම ගැන වේදනාවෙන් බලාගෙන හිටියා. අපි සියලු උත්සාහයන් ගත්තේ මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කරවීමට.

සමහර අය පක්ෂයත් දාලා අනාථ වෙලා හිටි මහින්ද රාජපක්ෂ මහත්තයාව දාලා පිට රට ගියා. සමහර එක්සත් ජාතික පක්ෂය යටතේ ඇමැතිකම් ගත්තා. අපි පක්ෂෙ හිටියා. පක්ෂය රැකගන්න පාක්ෂිකයො ආරක්ෂා කර ගන්න කියල මහින්ද රාජපක්ෂ මහතා පක්ෂෙ මෛත්‍රිට දෙනවා. ඔහු පක්ෂය ආදරෙන් භාර ගන්නවා. නිල වශයෙන් එතුමා පක්ෂෙ සභාපති වෙනවා. පක්ෂය ඒකමතිකව තීන්දුවක් ගන්නවා ආණ්ඩුවට එකතු වෙන්න. අපි මුලදි බෑ කියනවා. අවසානයේ බොහොම අමාරුවෙන් එජාපය සමඟ එකතුවෙලා ආණ්ඩු දීගය ගෙන ගියා. මේක හරිම අප්‍රසන්නයි. හරිම සංකීර්ණයි. මේ දුෂ්කර ගමන යද්දී කරදර බාධක ආවා.

ශ්‍රී ලංකා මහ බැංකු වංචාව සිදුවුණේ ආණ්ඩුව පටන් ගත්ත ගමන්මය. බිලියන 15,000ක හොරකම් කියන්නේ කවදාකවත් වෙච්චි හොරකමක් නොවෙයි. හොරකම කරන වෙලාවෙ එතැනට යවනවා එජාපයේ සභාපති මලික් සමරවික්‍රම ඇමැතිතුමා. මහලේකම් කබීර් හෂීම් යනවා. කෙළ හලා යනවා රවි කරුණානායක. මහ බැංකු අධිපති විදේශිකයෙක්. ඔහු විදේශිකයකු බව හංගලා අධිපතිකම දෙන්නේ. ජනාධිපතිවරයා 8 වතාවක් රනිල්ට කීව යන්න කියලා. පක්ෂෙ සියලු දෙනා කීව යන්න කියලා. ඒත් කිසිම ගානක් නැතිව ඉද්දි තමයි විශ්වාසභංගයක් ගෙනාවේ. විශ්වාසභංගයේදී හෘද සාක්ෂියට එකඟව ඇමැතිවරු 16 දෙනෙක් ඡන්දය දුන්නා. අපි එළියට බැස්සේ හොරකම් කරන කාලකණ්ණි එළියට දාලා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමයි මහින්ද රාජපක්ෂ මැතිතුමයි එකඟත්වයකට එන්න ඕනෑ මේ ආණ්ඩුව පලවා හැර අපේම ආණ්ඩුවක් පිහිටුවා ගැනීමටයි.

රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ජෝන් සෙනෙවිරත්න හා මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ ලක්ෂ්මන් වසන්ත පෙරේරා, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ද කතා කළහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon