රජය පාසල්වලින් බුද්ධාගම, ඉතිහාසය, සාහිත්‍යය කප්පාදු කරන්න යනවා - මල්වතු පාර්ශ්වයේ අනුනාහිමි

  👤  3543 readers have read this article !
By mawbima 2018-06-18

මහනුවර
_ ගයා ශ්‍රී කාරියවසම්

'අපේ පාසල්වල දරුවන්ට ඉතිහාසය උගන්වන්නේ ඒ ගැන අධ්‍යයනය කර හැදෙන්නයි. එහෙත් පාසල් විෂය ධාරාව තුළ ඉතිහාසය උගන්වන්නේ නැති නම් එය රටට විශාල හානියක්' යැයි මල්වතු පාර්ශ්වයේ අනුනාහිමි අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියෝ පැවැසූහ.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මල්වතු පාර්ශ්වයේ අනු නාහිමියන් බැහැ දැක ආශීර්වාද ලබාගැනීමට පැමිණි අවස්ථාවේදී උන්වහන්සේ මෙසේද කීහ.

"මේ රජයේ අධ්‍යාපන ඇමැතිවරයා දරුවන්ගේ පාසල් නිල ඇඳුමේ පාට වෙනස් කරන්න ගියා. එය හරි ගියේ නැහැ.ඊට පසුව ගැබිනි ගුරු මහත්මීන්ට වෙන ඇඳුමක් ගැන කීවා. ඒකත් හරිගියේ නැහැ. අ.පො.ස. (සා.පෙළ) විෂය නිර්දේශය අඩු කරන්න ගියා. එවිට විද්‍යාව, ගණිතය වගේ විෂයන්වලටත් සිංහල, ඉංග්‍රීසි විෂයන්ටත් කාලපරිච්ඡේද වැඩි කරන්න පුළුවන්. බුද්ධාගම විෂය, සාහිත්‍ය විෂය, ඉතිහාසය විෂය යන විෂයන් කප්පාදු කර නැති කරන්න යන බවත් දැනගන්න ලැබුණා.

එහෙත් මේ සිංහල බෞද්ධ රටේ එලෙස බුද්ධාගම දරුවන්ට උගන්වන්නේ නැති නම් සාහිත්‍ය, ඉතිහාසය දරුවන්ට උගන්වන්නේ නැති නම් ඇති ඵලය කුමක්ද? ඉතිහාසය උගන්වන්නේ අපේ ඉතිහාසය දෙස බලා දරුවන්ට හැදෙන්නයි. ඒ විෂය නැති නම් එය රටට විශාල හානියක්. ඒ නිසා එය මේ රටට කෙලෙසක බලපායිද යන්න ප්‍රශ්නයක්. ඒ නිසා ඔබතුමන් මේ ගැන සොයා බලා රට දැනුවත් කරන්න.

අප කිසිදිනක අනෙක් ආගම් සහ ජාතීන් පසෙකට දමන්න කියන්නෙ නැහැ. නමුත් අපිට යාපනේ ගිහින් අපිට පන්සලක් හදා ගන්න බැහැ. බුදු පිළිමයක් තියන්න බැහැ.

චෛත්‍යයක් හදන්න බැහැ. නමුත් පුරාණ කාලේ මේ සියල්ලම එහි තිබුණු දේවල්. අදත් ඒවගේ සාක්ෂි නටබුන් තිබෙනවා. නමුත් ඒ ඇත්තන්ට මෙහෙ ඇවිත් ඉඩමක් ගන්න ගෙයක් ගන්න, ගෙයක් හදාගන්න, පල්ලියක්, කෝවිලක් හදාගන්න තහනමක් නැහැ.

ඉගෙන ගන්න, පාසලකට යන්න රැකියාවක් කරන්න තහනමක් නැහැ. නමුත් අපේ දරුවන්ට බෞද්ධ භික්ෂුන් වහන්සේට ඒක ඒ පළාතේ ප්‍රශ්නයක්. අප කියන්න ඕන දේ කිව යුතුයි. පාලකයන්ට අපි හරි වැරැදි පෙන්විය යුතුයි. අප පක්ෂග්‍රාහී විය යුතු නැතැයි ද උන්වහන්සේ කීහ."

ඒ අවස්ථාවේ අනුනාහිමියෝ හිටපු ආරක්ෂක ලේකම්වරයාට පිරිත් නූලක් බැඳ ආශීර්වාද කළහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon