විහාර භූමියේ නිදන් හැරූ හිමිනම රිමාන්ඩ්

  👤  3473 readers have read this article !
By mawbima 2018-06-20

හාලිඇළ - පියල් කිත්සිරි

සිය විහාර භූමියේ නිදන් හෑරීමේ චෝදනාව මත උෟව පළාත් පොලිස් පුරාවිද්‍යා විශේෂ වැටලීම් ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද පස්සර කහටරුප්ප උෟරුමීතැන්න පුරාණ විහාරාධිපති හිමියන් ලබන ජූලි මස තුන්වැනිදා දක්වා රිමාන්ඩ් ගත කරන ලෙස බදුල්ල මහෙස්ත්‍රාත් නයන්ත සමරතුංග මහතා ඊයේ (19දා) නියෝග කළේය.

සැකකාර හිමියන් අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ බදුල්ල පොලිසියේ දූෂණ මර්දන අංශයේ සැරයන් නන්දසේන (33783) මහතා කියා සිටියේ පස්සර කහටරුප්ප උෟරුමිතැන්න පුරාණ විහාර භූමියේ පිරිසක් කැණීම් කටයුතු සිදුකරන බවට ලැබුණු තොරතුරු මත උෟව පළාත් පොලිස් පුරාවිද්‍යා විශේෂ වැටලීම් ඒකකයට ලැබුණු තොරතුරක් මත ප්‍රදේශයේ වැටලීමක් සිදුකොට ඇතත් සැකකරුවන් කිසිවකුත් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බවයි.

පොලිසිය එහි යන විට විහාරාධිපති හිමියන්ද අතුරුදන්ව සිටි බව අධිකරණයේදී පැවැසූ පොලිස් සැරයන්වරයා විහාරාධිපති හිමියන් මාස දෙකකට පමණ පසුව අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවද කීය. පොලිස් පරීක්ෂණවලදී විහාර භූමියේ ස්ථාන ගණනාවක කැණීම් කටයුතු සිදු කර ඇතැයි අධිකරණයේදී වැඩිදුරටත් පැවැසූ සැරයන් නන්දසේන මහතා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් කැඳවා ඇති වාර්තාව මඟින්ද මෙම භූමිය පුරාවිද්‍යා භූමියක් බවට සනාථ කර ඇතැයිද ප්‍රකාශ කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත් නයන්ත සමරතුංග මහතා තමුන් වැරැදිකරු දැයි නිවැරැදිකරු දැයි සැකකාර හිමියන්ගෙන් විමසා සිටි අතර එයට පිළිතුරු දෙමින් සැකකරු ප්‍රකාශ කළේ නිවැරැදිකරු බවයි.

ඒ අනුව සැකකාර හිමියන් ලබන මස තුන්වැනිදා දක්වා රිමාන්ඩ් ගත කිරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා වැඩිදුර විභාගය එදින දක්වා කල් තැබීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon