කොටගල දෙමළ විදුහලේ අඩුපාඩු රැසක්

  👤  3442 readers have read this article !
By mawbima 2018-06-20

හැටන් - චන්න අද්දරගේ

දිරාගිය සෙවිලි තහඩු ආවරණය කර ඇති ගරාවැටුණ පැරැණි ගොඩනැඟිල්ලක පැදුරක වාඩි වී අකුරු කරන පාසල් දරුවන් පිරිසක් කොටගල ස්ටෝනි ක්ලිප් දෙමළ මහා විද්‍යාලයේදී දක්නට ලැබේ.

මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන නුවරඑළිය අධ්‍යාපන කලාපයට අයත් කොටගල ස්ටෝනි ක්ලිප් දෙමළ මහා විද්‍යාලය යනු ශිෂ්‍ය ශිෂ්‍යාවන් 550ක් පමණ අධ්‍යාපනය ලබන පාසලකි. පළමු ශේ‍ර්ණියේ සිට උසස් පෙළ දක්වා පන්ති පැවැත්වෙන මෙම පාසලේ දරුවන්ට ඉතා අඩු පහසුකම් මධ්‍යයේ කටයුතු කිරීමට සිදුවී තිබේ.

වසර 50කට වඩා පැරැණි අලුත්වැඩියාවක් නොකරන ලද මෙම පාසලේ පන්ති කාමර තුළට වර්ෂාව කාලයේදී දිරාපත් වුණ සිදුරු සහිත සෙවිලි තහඩුවලින් වැසි ජලය ගලා එනු ඇත. එමෙන්ම දැඩි හිරු රශ්මියද පන්ති කාමරයට පතිත වීම නිසා ඔවුන් අපහසුතාවට පත්වන බව පවසති. ජනෙල්වල වීදුරු කැඩී ගොස්ය. බිම සිමෙන්ති ගැලවී වළවල් සෑදී ඇත. ඩෙස්, පුටුද අබලන්ය. එවන් ශාලාවල 6 ශේ‍ර්ණියේ සිට 8 දක්වා පන්ති පවත්වනු ලැබේ.

පන්ති පැවැත්වීමට ඉඩකඩ ප්‍රමාණවත් නොවන නිසා වතු අධිකාරිවරයාගේ සහයෝගය මත ප්‍රජාශාලාවක ද පන්ති පවත්වන අතර පැදුරක වාඩි වී එහි අධ්‍යාපනය ලැබීමට ඔවුන්ට සිදුවී තිබේ.

මෙරට නගරබද පාසල්වල ඇති පහසුකම් ලබමින් තමන්ටද අධ්‍යාපනය ලැබීමට ආශාවක් ඇති බව පවසන මෙහි දරුවන් එම පහසුකම් ලබා දෙන ලෙස වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටිති.

වත්මන් විදුහල්පතිවරයා මෙම විද්‍යාලයට පැමිණ වසර 8ක් වන බව පවසන අතර පාසලේ පවතින අඩුපාඩු පෙන්වා සංවර්ධනය කර දෙන ලෙසට බලධාරීන් දැනුවත් කර ඇති බවත් කිසිදු ප්‍රතිචාරයක් මෙතෙක් නොලැබුණ බව පවසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon