අමාත්‍යාංශවල විගණන කෙරුවාව හෙළිවෙයි

  👤  3440 readers have read this article !
By mawbima 2018-06-20

දයා පෙරේරා, ජේ.ටී. ද සිල්වා

අමාත්‍යාංශ පනස් එකෙන් අඩකට වැඩි කොටසක මූල්‍ය පාලනය හා කාර්ය සාධන ක්‍රියාවලිය දුර්වල මට්ටමක පවතින බව රාජ්‍ය ගිණුම්කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවෙහි සඳහන් වෙයි.

2016 මුදල් වර්ෂයට අදාළ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ වාර්තාවෙහි සඳහන් අන්දමට අමාත්‍යාංශ විසිහයක් ස්ථාවර වත්කම් ලේඛනය යාවත්කාලීනව පවත්වාගෙන ගොස් නොමැත.

අමාත්‍යාංශ විසි අටක් භාණ්ඩ සමීක්ෂණ වාර්තා ක්‍රියාත්මක කර නැති බවත් අමාත්‍යාංශ හතළිහක් වසරකට වැඩි අත්තිකාරම් ගිණුම් පියවා නොමැති බවත් වාර්තාවෙහි සඳහන් වෙයි.

අමාත්‍යාංශ විසිනවයක් විගණන විමසුම් සඳහා නියමිත කාලය තුළ පිළිතුරු සපයා නොමැති බවද වාර්තාව කියා සිටී.

වසරකට වැඩි කාලයක සිට පැවත එන හිඟ ණය විගණකාධිපති දෙපාර්තමේන්තුවද ගෙවා නොමැති බව පෙන්වා දෙන එම වාර්තාවෙහි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවද විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් අවම වශයෙන් වාර තුනක්වත් පවත්වා නැති බව සඳහන් වෙයි.

එම දූෂණ විමර්ශන කොමිෂන් සභාව භාණ්ඩ සමීක්ෂණය කර විගණකාධිපතිවරයා වෙත වාර්තා ඉදිරිපත් කර නැති බවත් මුදල් රෙගුලාසි අනුව කටයුතු නොකළ අවස්ථාද පවතින බවත් එහි දැක්වේ.

පාර්ලිමේන්තුවද ස්ථාවර වත්කම් ලේඛන තොග පොත්, පරිගණක උපාංග හා මෘදුකාංග භාණ්ඩ වට්ටෝරු ලේඛන යාවත්කාලීන කර නොමැති අතර විගණන විමසුම් සඳහා නියමිත කාලය තුළ පිළිතුරු සපයා නොමැති බවද වාර්තාවෙහි සඳහන් කර ඇත.

පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළයුතු කාර්ය සාධන වාර්තාද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් නියමිත ලෙස ඉදිරිපත් කර නැති බවද ගිණුම්කාරක සභා වාර්තාව මඟින් අනාවරණය කර තිබේ.

නීතිපති දෙපාර්තමේන්තුවද ස්ථාවර වත්කම් ලේඛනය යාවත්කාලීන කර නොමැති අතර විගණන විමසුම්වලට පිළිතුරු සපයා නොමැති බවත් භාණ්ඩ සමීක්ෂණයක් සිදුකර නොමැති බවත් එම වාර්තාවෙහි දක්වා ඇත.

එම දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළයුතු කාර්ය සාධන වාර්තා නියමිත ලෙස ඉදිරිපත් කර නොමැති අතර සංචිත වාහනවල දෛනික ධාවන සටහන් හා මාසික සාරාංශ විගණකාධිපතිවරයාට වාර්තා කර නොමැති බවත් තොග පොත් යාවත්කාලීන කර නොමැති බවත් ගිණුම්කාරක සභා වාර්තාවෙහි සඳහන් වෙයි. අමාත්‍යාංශ අතුරෙන් මූල්‍ය හා කාර්යසාධන නියමයන් පිළිබඳව වඩාත් සතුටුදායක ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය අනුගතවී ඇතැයිද එම මට්ටම සියයට අනූ දෙකක් බව ගිණුම්කාරක සභාව සඳහන් කර ඇත.

භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව හා සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව සියයට සියයක් සාර්ථක බව වාර්තාව පෙන්වා දෙයි.

විගණකාධිපති දෙපාර්තමේන්තුව සියයට 99ක්, ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සියයට 96ක්, සීතාවක ප්‍රාදේශීය සභාව සියයට 95.5ක් සාර්ථක ලෙස මූල්‍ය හා කාර්ය සාධන නියමයන්ට අනුගත වී ඇතැයි ගිණුම්කාරක සභා වාර්තාවෙහි දැක්වේ.

රාජ්‍ය ගිණුම්කාරක සභාවේ සභාපති මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න විසින් ඊයේ (19දා) මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සභාගත කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon