ඝාතකයන් සෙවීමට හැකියාව තිබියදී නි. පොලිස්පතිගේ ක්‍රියාකලාපයෙන් එය මඟ හැරුණා

  👤  1021 readers have read this article !
By mawbima 2018-06-20

කවින්ධ්‍යා පෙරේරා

සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතන සිද්ධියට අදාළ ඝාතකයන් සෙවීමට ගල්කිස්ස පොලිසියට හැකියාව තිබියදී ගල්කිස්ස පොලිසියේ හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාරගේ ක්‍රියාකලාපයන් හේතුවෙන් එය මඟහැරුණු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (19දා) ගල්කිස්ස ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා හමුවේ ප්‍රකාශ කර සිටියේය.

සිද්ධියට අදාළ නඩුව ඊයේ (19දා) කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙලෙස සඳහන් කළේය.

පුළුල් දැනුමක් තිබෙන නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස සේවය කළ ද සීසීටීවී දර්ශන හා වාහන අංක විස්තර පිළිබඳව විමර්ශනයක් සිදු නොකර ලසන්ත වික්‍රමතුංගගේ දුරකථනයට ලැබුණු ඇමතුම් සම්බන්ධයෙන් විමර්ශනය කර සටහන් තබාගෙන ඇති බවද මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට සඳහන් කර සිටියේය.

මේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති තිස්ස සුගතදාස මහතා සහ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් සහකාර පොලිස් අධිකාරි තිසේරා මහතා සමඟ සමූහ මිනීමැරුම් හා මංකොල්ල අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා සහ පොලිස් පරීක්ෂක සුදත් කුමාර මහතා අධිකරණයේ පෙනී සිටියහ.

දෙවන සැකකරු වන තිස්ස සුගතදාස වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රසික වීරතුංග මහතා විසින් ඇප ඉල්ලීමක් සිදු කරනු ලැබීය.

එහිදී ඒ මහතා සඳහන් කර සිටියේ තුන්වැනි සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා විසින් ඉකුත් දින කරනු ලැබූ ඇප ඉල්ලීමේදී තම සේවාදායකයාට හානි වන ආකාරයේ කරුණු කිහිපයක් ඉදිරිපත් කළ බවයි.

එසේම මෙම තුන්වැනි සැකකරු විසින් ඔහුගේ අනුදැනුම මත ලසන්තගේ ඝාතන සිද්ධියේ කටයුතු වෙනත් මාර්ගයකට යොමුකිරීමට දෙවැනි සැකකරුට තුන්වැනි සැකකරු උපදෙස් ලබාදුන් බවත් තුන්වැනි සැකකරු මෙය සැලසුම් කර සිදු කළ බවත් නීතිඥ රසික වීරතුංග මහතා වැඩිදුරටත් සඳහන් කරමින් සැකකරුට ඇප ලබාදෙන ලෙසට ඉල්ලා සිටියේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් සහකාර පොලිස් අධිකාරි තිසේරා මහතා වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට සඳහන් කර සිටියේ හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට පසුගිය සතියේ කටයුතු කළ බවත් එය ලබාගැනීමට
නොහැකි වූ බවත් එය ජුනි මස 22දා සටහන් කර ගන්නා බවයි.

එසේම සැකකාර තිස්ස සුගතදාස විසින් ලබාදෙනු ලැබූ ප්‍රකාශ ඔහුගේ දුරකථන විස්තර වාර්තා මඟින් සනාථ වන බවත් අදාළ වාර්තා අධිකරණයට ඉදිරිපත් කරමින් සහකාර පොලිස් අධිකාරි තිසේරා මහතා අධිකරණයට සඳහන් කරනු ලැබූ අතර තුන්වැනි සැකකාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාරගෙන් බන්ධනාගාරය තුළදී ප්‍රකාශයක් ලබාගැනීමටද ඒ මහතා අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේය.

සියලු කරුණු සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරයා ඒ අනුව සැකකරුවන් ලබන ජූලි 03 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon