අඩි 100 විරෝධතාකරුවන් සූරියවැව-හම්බන්තොට ප්‍රධාන මාර්ගය හරස් කරයි

  👤  3484 readers have read this article !
By mawbima 2018-06-21

මත්තල - ඩී.එන්. ජයසේකර

සූරියවැව - හම්බන්තොට අඩි 100 මාර්ගය පුළුල් කිරීමේදී ඉඩම් හා නිවාස අහිමි වූවන් ඊට වන්දි ඉල්ලා සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසලින් සූරියවැව - හම්බන්තොට ප්‍රධාන මාර්ගය හරස් කර විරෝධතාවක නිරත විය.

පසුව එම ස්ථානයට පැමිණි සූරියවැව පොලිස් ස්ථානාධිපති කේ.කේ. රංගජීව මහතා විරෝධතාකරුවන්ට පැවැසුවේ මාර්ගය වසා සිටීමෙන් ගැටලුවට විසඳුමක් නොලැබෙන බවත් මාර්ගයෙන් ඉවත්ව විසඳුමක් දෙන තුරු රැඳී සිටින ලෙසත්ය. ඒ අනුව මාර්ගය හරස් කරගෙන විරෝධතාවයේ නිරත පිරිස මාර්ගයෙන් ඉවත්ව සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගේට්ටුව අවහිර වන පරිදි වාඩි වී නැවතත් විරෝධතාවයේ නිරත විය.

පසුව විරෝධතාවයේ නිරත පිරිසගෙන් නියෝජිතයන් කිහිප දෙනකුට ගැටලුව සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරයා හමුවී සාකච්ඡා කිරීමට අවස්ථාව හිමිවිය. ඒ අනුව ප්‍රාදේශීය ලේකම්වරයා විරෝධතාවයේ නිරත පිරිසට පැවැසුවේ පැය 24ක් ඇතුළත මාර්ග සංවර්ධන අධිකාරියේ වගකිවයුතු නිලධාරියකු සමඟ සාකච්ඡාවක් ලබාදී ගැටලුවට නිසි විසඳුම් ලබාදීමට පියවර ගන්නා බවයි. ඒ අනුව විරෝධතාවයේ නිරත පිරිස් ප්‍රාදේශීය ලේකම්වරයා දුන් පොරොන්දුවට අනුව අවහිර කර තිබූ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගේට්ටුව නිදහස් කෙරිණි. කෙසේ වෙතත් විසඳුමක් ලැබෙන තුරු විරෝධතාකරුවෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙහි රැඳී සිටිති.

විරෝධතාව හේතුවෙන් පැය තුනක පමණ කාලයක් සූරියවැව - හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා සිදු විය.

අප මේ සම්බන්ධයෙන් සූරියවැව ප්‍රාදේශීය ලේකම් සුභාෂ් නානායක්කාර මහතාගෙන්ද විමසීමක් කළ අතර එහිදී ඔහු මෙසේ පැවැසීය.

ප්‍රදේශයේ යම් සංවර්ධන කාර්යයක් සිදු වෙනකොට එහි මැදිහත්කරුවා ලෙස ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කටයුතු කරනවා. ඉතින් මොන ප්‍රශ්නයක් ආවත් මිනිස්සු දුවගෙන ඇවිත් දුක කියන්නේ මෙතැනට තමා. ඇත්තටම මේක සංවේදී කාරණයක්. අද මේ අය ඇවිත් කියන දේ මට විතරක් තනියම මෙතැන කරන්න පුළුවන් දෙයක් නෑ. මම මේ සම්බන්ධයෙන් දැනුවත් කළ යුතු ඉහළ අනෙකුත් ආයතන මේ වන විට දැනුවත් කරලා තියෙනවා. මට මේ අයට දීමට අදාළ වන්දි මුදල් ලැබුණු වහාම එම මුදල් ඒ අයට ලබාදීමට මා පියවර ගන්නවා යැයි පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon