ව්‍යාජ අස්සන් යොදා සමෘද්ධි බැංකුවෙන් ණය අරන්

  👤  3496 readers have read this article !
By mawbima 2018-06-21

වැල්ලවාය - ජී.අයි. රොෂාන්

තමන් විදේශගතව සිටින අවස්ථාවකදී හා ප්‍රදේශයේ නොමැති අවස්ථාවකදී අස්සන් ව්‍යාජ ලෙස යොදා ගනිමින් හම්බේගමුව සමෘද්ධි බැංකුවෙන් තණමල්විල, කොටවෙහෙරමංකඩ, සඳලංකාගම පදිංචි කාන්තාවක් විසින් 2010 මාර්තු මස 11 දින ලබාගත් රුපියල් ලක්‍ෂයක ණය මුදලක් සඳහා රුපියල් 1,93,831ක මුදලක් ගෙවීමට එන්තරවාසියක් ලැබී ඇතැයි කියන සිද්ධියක් හම්බේගමුව, කොටවෙහෙරමංකඩ, සඳලංකාගම පදිංචි ඒ.ඒ. බණ්ඩාර මැණිකේ හා ආර්.ජී. ස්වර්ණසීලි යන කාන්තාවෝ කියා සිටිති.

තමන්ට සිදුවී ඇති මෙම අසාධාරණය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු සාධාරණයක් ඉටුවී නොමැති බවත් සමෘද්ධි බැංකුවෙන් තමන්ට හිමි ප්‍රතිලාභයක් හෝ ණය මුදලක් පවා ලබාගැනීමට නොහැකිව අන්ත අසරණවී ඇති බවත් ඔවුහු කියා සිටිති.

මේ සම්බන්ධයෙන් මෙම කාන්තාවන් දෙදෙනා ජනාධිපති කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මොනරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති ආනන්ද කුමාරසිරි මහතා ඇතුළු ආයතන ප්‍රධානීන් රැසක් දැනුවත් කර ඇතත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් තමන්ට කිසිදු සාධාරණයක්, පිළිතුරක් ලැබී නැතැයි කියා සිටිති.

ආර්.ජී. ස්වර්ණසීලි මහත්මිය මෙසේ කියා සිටියාය.

අපි ජීවත්වෙන්නේ කොහොමද? කන්නේ කොහොද? කියලා ආවොත් බලාගන්න පුළුවන්. තාම ඉන්න ගෙයක්-‍ෙදාරක්වත් හරියට නෑ. මම ණය මුදලක් ලබාගන්න ගියේ ගේ හදාගන්න පුළුවන්ද කියලා බලන්න. එතකොට තමයි මේ සිද්ධිය මම දැනගත්තේ. මෙම කාන්තාව ණය අරගෙන තියෙන්නේ 2010.03.11 වැනිදා. ඒ වෙනකොට මම හිටියේ විදේශගත වෙලා.

මම විදේශගත වුණේ 2009 දෙසැම්බර් මාසේ. මට රටදී හරියට කරදර හිරිහැර වුණා. මගේ ඇඟ පවා උණු වතුරට පිච්චුණා. වැඩ කරපු සල්ලි ලැබුණෙත් නෑ. ඒ ඇවිල්ලා ඉන්නකොට සමෘද්ධි බැංකුවෙන් ගේ හදාගන්න ණයක් ගන්න ගියාම තමයි මේ ගැන දැනගත්තේ. මම අහන්නේ මම රටෙත් නැතිව, ගමෙත් නැතිව ඉද්දී කොහොමද මේ වගේ මගේ හොර අස්සන ගහලා මේ වගේ හොර වැඩ කළේ. මේ සම්බන්ධයෙන් මම ජනාධිපතිතුමාට, දිසාපතිතුමාට වගේම හැම කෙනකුටම ලියුම් මඟින් දැනුම්දීලා තියෙනවා. මේ ලක්‍ෂ දෙකකට ආසන්න ණය මුදලක් ගෙවනවා තියා එදාවේල කාලා ජීවත් වෙන්නෙ හරිම අමාරුවෙන්. අපි අන්ත අසරණයි. අපි ඉන්න තැනට ඇවිල්ලා බැලුවොත් ඕනම කෙනකුට තේරෙයි අපි විඳින දුක. මේකට අපිට සාධාරණයක් වෙන්න ඕනේ. හොර අස්සන් ගහලා කටයුතු කරපු අයට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. අපි කියන්නේ ඒකයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ.ඒ. බණ්ඩාර මැණිකේ මහත්මිය මෙසේ කියා සිටියාය.
මට ජීවත් වෙන්න ස්ථිර ආදායමක් නෑ. කාගෙ හරි වැඩක් පළක් කරලා හරි මොකක් හරි දෙයක් කරලා තමයි ලෙඩ දරුවෙක්ව ජීවත් කරන්නේ. ඒ දරුවා හඳපානාගල පැත්තේ තියෙන ළමා නිවාසෙකට දාන්න මම පොතේ තියෙන සල්ලි අරගන්න ගියේ. ලක්‍ෂයක ණයක් අරගෙන තියෙනවා. මට සල්ලි දෙන්න බෑ කියලා බැංකුවෙන් කිව්වා. මට හිතාගන්නවත් බැරි වුණා. මම ඒ වෙලාවේ ආපු කේන්තියට පොතත් ඉරලා දාලා අඬ අඬා පයින්ම කිලෝමීටර් හයක් විතර ආවා. මට ගෙදර එන්නවත් සල්ලි තිබුණේ නෑ. අවුරුදු 13ක් එක තැන ඉන්න ලෙඩ දරුවා තනියම ගේ ඇතුළට දාලා ‍ෙදාර වහලා දාලා ආවේ. මට කරගන්න දෙයක් නෑ. කවුරුවත් පිළිගන්නේ නෑ. ණය ගත්ත කෙනා කියනවා මම නම් ශත පහක්වත් ගෙවන්නේ නෑ කියලා. අපි ණය අරගෙනත් නෑ, අස්සන් කරලත් නෑ. මට වුණු අසාධාරණේ දිසාපති කාර්යාලයට දැනුම් දුන්නා. ජනාධිපති ලේකම් කාර්යාලයට දැනුම් දුන්නා. අවසානයට තමයි මේක මාධ්‍යයට කියන්න ඕනේ කියලා හිතුවේ කාගේ හරි අවධානයට ලක්වෙයි කියලා. මගේ ගේ හදාගන්න ඕනේ. මගේ පොතේ තියෙන සල්ලි ටික අරගන්න ඕනේ.

මේ සම්බන්ධයෙන් අපි හම්බේගමුව සමෘද්ධි බැංකු කළමනාකරු කේ.ටී. නිමල් ශාන්ත මහතාගෙන්ද විමසීමක් කළෙමු. ඒ මහතා මෙසේද කීය.

මම මේ බැංකුවේ වැඩ භාරගත්තේ මෑතකදී. මම දන්නේ මෙතැන තියෙන ලිපිගොනුවල තියෙන කාරණා විතරයි. මීට අවුරුදු අටකට දහයකට කලින් ලබාගත්ත ණය මුදලක් සම්බන්ධයෙන් තමයි ඔය කියන්නේ. මේ වෙනකොට අය නොවුණු ණය සම්බන්ධයෙන් නීති මඟින් කටයුතු කරන්න සියලු කටයුතු සූදානම් කරලා තියෙන්නේ. වැරැද්දක් වෙලාද නැද්ද කියලා මට හරියටම කියන්න බෑ. නීතිය හමුවට ගියාම කවුද හරි කියන එක අවබෝධ කරගන්න පුළුවන් වේවි. අනෙක ඔය ණය ගත්තේ එකම ගමේ අසල්වැසියෝනේ.

තමන්ගේ නම ව්‍යාජ විදියට යොදාගෙන තියෙනවා කියලා දැන ගත්තා නම් ඒ දවස්වලම මේකට විරුද්ධව ක්‍රියාත්මක වෙන්න තිබුණා. පොලිසියේ පැමිණිල්ලක් දාන්න තිබුණා. නමුත් ඒ දේවල් කරලා නෑ. අපිට තියෙන තොරතුරු පදනම් කරගෙන නීති මඟින් කටයුතු කරනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon