සෙබළුන් පිරිසක් යටකර පලා යෑමට හැදූ ලොරිය අල්ලයි

  👤  3527 readers have read this article !
By mawbima 2018-06-21

මොනරාගල - සංජීව බණ්ඩාර

තණමල්විල කුඩාඔය පොලිස් වසමේ කුඩාඔය යුද හමුදා කොමාන්ඩෝ පුහුණු පාසලේ හමුදා නිලධාරි පිරිසක් යුද අභ්‍යාසයක නිරතව සිටියදී ඔවුන් යටකොට පලා යෑමට තැත්කළ ලොරි රථයක් හා එහි රියැදුරු පෙරේදා (19දා) අත්අඩංගුවට ගත් බව කුඩාඔය පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු අම්පාර සම්මන්තුරේ බිලිනේ අඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව අනාවරණය වී තිබේ.

මේ සිද්ධියෙන් යුද අභ්‍යාසයේ යෙදී සිටි හමුදා නිලධාරීන් තිදෙනකු බරපතළ තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මොනරාගල මහ රෝහල වෙත මාරුකර යවා ඇත.

තණමල්විල-වැල්ලවාය මාර්ගය ආසන්නයේ මේ යුද හමුදා නිලධාරීන් පිරිස යුද අභ්‍යාසයක නිරතව සිටියදී වැල්ලවාය ප්‍රදේශයේ සිට තණමල්විල දෙසට ගමන්ගත් මේ ලොරි රථය එම හමුදා නිලධාරීන් යටකොට පලායමින් සිටියදී මහත් පරිශ්‍රමයක් යොදා අත්අඩංගුවට ගත් බව කුඩාඔය පොලිසිය පවසයි.

සිද්ධියෙන් තුවාල ලැබූ යුද හමුදා නිලධාරීන් තිදෙනාගේ තත්ත්වය තරමක් බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මොනරාගල කොට්ඨාසය භාර පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල, සහකාර පොලිස් අධිකාරි ඩී.පී.යූ. අමරතුංග යන මහත්වරුන්ගේ උපදෙස් හා නියෝග මත කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රභාත් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකෙරේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon