12 දෙනකුගේ දුරකථන විස්තර ලබා ගැනීමට CIDට අවසර

  👤  3542 readers have read this article !
By mawbima 2018-06-21

කවින්ධ්‍යා පෙරේරා

2012 වසරේ නොවැම්බර් මාසයේදී වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ ගැටුමෙන් රැඳවියන් 27 දෙනකු මියයෑමේ සිද්ධියට අදාළව පුද්ගලයන් ‍ෙදාළොස් දෙනකුගේ දුරකථන විස්තර ලබා ගැනීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා පෙරේදා (19දා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අවසර දුන්නේය.

අදාළ නඩුව පෙරේදා (19දා) කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මඟින් අධිකරණයෙන් කරනු ලැබූ ඉල්ලීමක් සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා මෙම ඉල්ලීමට අවසර ලබා දුන්නේය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙලෙස දුරකථන විස්තර ලබා ගැනීමට අවසර ඉල්ලා ඇත්තේ මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක, මේජර් ජෙනරාල් රුවන් කුලතුංග, මේජර් ජෙනරාල් සුනිල් මානවඩු, හිටපු ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රා වාකිෂ්ඨ, හිටපු බන්ධනාගාර කොමසාරිස් පී.ඩබ්. කොඩිප්පිලි, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්‍ෂක රංගජීව නියෝමාල්, බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා, හිටපු බුද්ධි ප්‍රධානි ඉන්දික සම්පත් ඇතුළු 12 දෙනකුගේය.

වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට සඳහන් කර සිටියේ මෙම සිද්ධියට අදාළව හිස් පතරොම් කොපු සහ ගිනි අවි 161ක් මේ වන විට රජයේ රස පරීක්‍ෂකවරයා වෙත යොමු කර ඇති අතර ඒවායේ වාර්තා ලබා දීමට දීර්ඝ කාලයක් ගතවන අතර ඒවායේ විද්‍යාත්මක කොටස් වියැකී යෑමට ඇති බැවින් කොටස් වශයෙන් එම වාර්තා ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බවය.

වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් සතුව ඇති මත්ද්‍රව්‍ය, ජංගම දුරකථන හා වෙනත් නීති විරෝධී භාණ්ඩ අත්අඩංගුවට ගැනීම සඳහා 2012 නොවැම්බර් 9 වැනි දින පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ආරක්ෂක නිලධාරීන්ගේ සහාය ඇතිව සෝදිසි මෙහෙයුමක් දියත් කර ඇත. ඒ අතරතුරේදී රැඳවියන් කලහකාරී ලෙස හැසිරෙමින් දෛනික අවි නිකුත් කරන අවි ගබඩාව බිඳ අවි රැගෙන පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට වෙඩි තබමින් වැලිකඩ බන්ධනාගාර නිලධාරීන්ට පාලනය කළ නොහැකි පරිදි රැඳවියන් විසින් බන්ධනාගාර බලය සියතට ගැනීමෙන් ඇති වූ තත්ත්වය පාලනය කිරීමේදී රැඳවියන් ඝාතනය වීමට ලක්විය.

සියලු කරුණු සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරයා මේ වන විට රක්‍ෂිත බන්ධනාගාරගතව සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්‍ෂක රංගජීව නියෝමාල් මහතා සහ බන්ධනාගාර කොමසාරිස් එමින් රන්ජන් ළමාහේවා මහතා තවදුරටත් ලබන ජූලි 03 වැනිදා තෙක් රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියම කරමින් නඩුව එදිනට කැඳවීමට නියම කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon