‘සුරක්ෂිතලත් ගනුදෙනු’ පනතට කැබිනට් අනුමැතිය

  👤  3880 readers have read this article !
By mawbima 2018-06-22

දෙනගම ධම්මික රණවීර

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ව්‍යාපාර දියුණු කර ගැනීමට ණය ලබා ගැනීමේදී ඔවුන් සතු වත්කම්වලින් වැඩි ප්‍රමාණයක් සුරැකුම් ලෙස තැබීමට හැකි වන පරිදි 2009 අංක 49 දරන පනත වෙනුවට "සුරක්ෂිතලත් ගනුදෙනු" පනතක් ගෙනඒමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

ග්‍රාමීය ප්‍රදේශවල නැවුම් කිරි නිෂ්පාදන හැකියාව ඉහළ නැංවීම සඳහා කුඩා ප්‍රමාණයේ කිරි සැකසීමේ මධ්‍යස්ථාන 6ක් සංවර්ධනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කොට ඇත. කඩුවෙල, අත්තනගල්ල, පොළොන්නරුව, මඩකළපුව, වාරියපොළ සහ වෙන්නප්පුව ප්‍රදේශවල එම මධ්‍යස්ථාන පිහිටුවන අතර ඊට සමගාමීව කිරි ඵකතු කිරීමේ මධ්‍යස්ථාන 30ක් ස්ථාපිත කෙරේ.

රට අභ්‍යන්තර ගුවන් සේවා පවත්වාගෙන යෑම සඳහා ආයතන 5ක් වෙත කැබිනට් මණ්ඩලය අනුමැතිය පළ කර ඇත. රාජ්‍ය හා පෞද්ගලික සහයෝගිතාව මත නියමිත කාලසටහනකට අනුව එම ගුවන් ගමන් සිදුකිරීමටද නියමිතය.

ගුවන් සේවා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර එකඟතා ගිවිසුමක් අස්සන් කිරීමටද කැබිනට් මණ්ඩලය අනුමැතිය පළ වී තිබේ.

අධිතාක්ෂණික හා ස්වයංක්‍රිය යන්තේ‍රා්පකරණ සඳහා වරාය හා ගුවන්තොටුපළ සංවර්ධන බදුවලින් 75%ක බදු සහනයක් ලබාදීමටද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
දේශීය ලොකු ලූනු නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව බීජ නිෂ්පාදකයන් සතුව ඇති බීජ තොගවලින් කිලෝ 5000ක් මිලදී ගෙන 2018 යල කන්නයේදී හෙක්ටයාර් 1000ක් වගා කිරීමටද, තවත් බීජ කිලෝ 2000ක් මිලදී ගෙන ගබඩා කර තැබීමටත් නියමිතය.
තොරතුරු දැනගැනීමේ 2016 අංක 12 පනත සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. තොරතුරු ලබාගැනීමේ ක්‍රමවේදයේ අඩුපාඩුකම් මඟහැරවීම එම තීරණයට හේතුවී තිබේ.

ආදර්ශ ගම්මාන හරහා ග්‍රාමශක්ති වැඩසටහන ක්‍රියාවට නැංවීමටද කැබිනට් මණ්ඩලය අනුමැතිය දී ඇත. ග්‍රාමීය ජනතාව සාමුහිකව සවිබල ගන්වන්න ඔවුන්ගේ ජීවනෝපාය සංවර්ධනය කිරීමේ අරමුණින් එය ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කෙරේ.

හජ්ජි වන්දනා ගමන් හා සම්බන්ධ කටයුතු නියාමනය කිරීමට පනතක් සකස් කිරීමටද කැබිනට් මණ්ඩලය අනුමැතිය දී ඇත. වාර්ෂිකව හජ්ජි වන්දනාවේ යෑමට ඉල්ලුම්පත්‍ර 7000 - 10,000ක් ලැබුණත් එම අවස්ථා උදා වන්නේ 2200 - 3400 පිරිසකට වීම නව පනත සකස් කිරීමට හේතු වී තිබේ.

පුත්තලම අරුවක්කාලු ප්‍රදේශය දක්වා ඝන අපද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා දුම්රිය එන්ජින් 4ක්, බහාලුම් වැගන් 34ක් සහ බහාලුම් පෙට්ටි 94ක් යොදාගැනීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇත. එම දුම්රිය එන්ජින් 4 ඇමෙරිකානු ඩොලර් මිලියන 8.27කට චීනයෙන් මිලදී ගැනීමටද එහිදී තීරණය කොට තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon