විග්නේශ්වරන්ලා වීරවංශලා කරන්නේ ජාතිවාදයෙන් රට ගිනි තැබීමයි

  👤  3800 readers have read this article !
By mawbima 2018-06-22

උප්පැන්න සහතික දෙකක්, හැඳුනුම්පත් දෙකක්, විදේශ ගමන් බලපත්‍ර දෙකක් පාවිච්චි කරමින් වරින්වර බිල්ලෝ මවමින් බොරුවෙන් ජීවත්වන විමල් වීරවංශ මහතා ජනතා බදු මුදලින් එල්.ටී.ටී.ඊ.යට වන්දි ගෙවන්න ආණ්ඩුව සූදානම් වන බවට චේතිය බොරුවක් පවසමින් දකුණේ ජාතිවාදය යළි ඇවිළීමේ ප්‍රයත්නයක යෙදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා පවසයි.

ජීවිතයම බොරුවෙන් ගෙවන වීරවංශ මහතාට ජාතික සමඟිය, සංහිඳියාව අරහන් වචන බව පෙන්වා දෙන මුජිබර් රහුමාන් මන්ත්‍රිවරයා ඒකායන ප්‍රාර්ථනය වන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් වෙනවෙනම ජීවත්වෙමින් මේ රටේ ජාතිවාදය හා ආගම්වාදය පවත්වාගෙන යමින් එකිනෙකා භේදභින්න කිරීම බවද සඳහන් කරයි.
පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයේදී ඊයේ (21දා) දහවල් පැවැති මාධ්‍ය හමුවේදී මෙම අදහස් පළ කළ මන්ත්‍රිවරයා බොරුවෙන් තොර පැවැත්මක් වීරවංශ මන්ත්‍රිවරයා ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂයට නැතැයිද ප්‍රකාශ කළේය.

මන්ත්‍රිවරයා වැඩිදුරටත් එහිදී මෙසේද කීය.
එල්.ටී.ටී.ඊ.යට වන්දි ගෙවන්න කියලා කැබිනට් පත්‍රිකාවක් ස්වාමිනාදන් අමාත්‍යවරයා කිසිවිටෙක ඉදිරිපත් කළේ නැහැ. එතුමා ඉදිරිපත් කළේ රාජපක්‍ෂ ජනාධිපතිවරයා ඉදිරිපත් කළ එල්.එල්.ආර්.සී. කමිටුවේ නිර්දේශ සාධාරණ ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා වූ කැබිනට් පත්‍රිකාවක්.
ඒ වගේම එම කැබිනට් පත්‍රිකාවට ඇමැති මණ්ඩල අනුමැතිය ලැබුණා. එදා මහින්ද රාජපක්‍ෂ පත්කළ කමිටුවේ නිර්දේශ ඉදිරිපත් වන විට වීරවංශලා සද්දේ දැම්මේ නැහැ. අද වීරවංශලා කතා කරන්නේ මැරිලා උපන් අය විදියටයි.

එදා කේ.පී.ට කන්න බොන්න දීලා රාජපක්‍ෂලා නවාතැන් දෙන විට, කරුණා අම්මාන්ට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ උප සභාපති තනතුර දීලා ඇමැතිකම් දෙන විට පිල්ලෙයාන්ලට නැඟෙනහිර පාලනය දෙන විට වීරවංශලා හිටියේ කොහේද? එදා ඒ ගැන එක වචනයක් වීරවංශලා කතා කළාද? ඔවුන්ගේ එකම ප්‍රාර්ථනාව ප්‍රභාකරන්ලා, අනුගාමිකයෝ සමඟ යුද්ධය නැවතත් ඇතිවෙනවා දකින්නයි. එහෙම වුණොත් විතරයි ඔවුන්ට පැවැත්මක් තියෙන්නේ.

එල්.ටී.ටී.ඊ.ය නිසා නොමඟ ගිය තරුණ තරුණියෝ පුනරුත්ථාපනය කරනවාට වීරවංශලා විරුද්ධයි.
ඒකයි බදු ගෙවන්න එපා කියලා දකුණේ ජනතාවට කියන්නේ.

වීරවංශ මහතාගේ පාර්ලිමේන්තු පඩිය ගෙවන්නෙත් ජනතා බදු මුදලින් කියලා ඔහුට අමතකයි. උතුරේ ඉන්නෙත්, දකුණේ ඉන්නෙත් ශ්‍රී ලංකාවේ දරුවෝ කියලා හිතන්නට ඒ අය සූදානම් නැහැ. ඒ තරුණයන් පුනරුත්ථාපනය නොකර මරල දාන්න කියලද වීරවංශ මහත්තයා කියන්නේ?

ඒ කාලේ ආයුධ අරන් හිටිය ජවිපෙ කරපු අය පුනරුත්ථාපනය කරල සමාජගත කළා. ඒ නිසා සමහරුන්ට පාර්ලිමේන්තු එන්නත් පුළුවන් වුණා.
උතුරේ තරුණයන්ට අත දෙන එක නරකයි. වීරවංශලා වගේම උතුරේ විග්නේශ්වරන්ලාත් කෑගහන්නේ ඔවුන්ගේ න්‍යාය පත්‍රය වූ ජාතිවාදය අවුළුවන්නයි. අපි ජාතික ගීයේ කියන්නේ එක මවකගේ දරුවෝ කියලයි. එය ගීයට සීමා වෙලා වැඩක් නැහැ. යථාර්ථයක් විය යුතුයි. ඒගොල්ලන්ගේ න්‍යාය පත්‍ර අනුව ගිහින් සියලු ජාතීන් එක්වන, ජාතික සමඟිය, සංහිඳියාව තියෙන රටක් හදන්න බැහැ.

උපතිස්ස පෙරේරා

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon