පළාත් සභා ඡන්ද ක්‍රමය ගැන ආණ්ඩුවේ පක්ෂ අතර බෙදීමක්

  👤  3858 readers have read this article !
By mawbima 2018-06-22

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

පළාත් සභා මැතිවරණය පවත්වනු ලබන ක්‍රමය සම්බන්ධයෙන් ආණ්ඩුව නියෝජනය කරනු ලබන දේශපාලන පක්ෂවල ප්‍රබල බෙදීමක් හටගෙන තිබේ.

කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21දා) පාර්ලිමේන්තුවේ කථානායක කාර්යාලයේදී පැවැති පක්ෂ නායක රැස්වීමේදී මෙම බෙදීම දැකගත හැකි විය.
පළාත් සභා මැතිවරණය නව මැතිවරණ ක්‍රමයට අනුව පැවැත්විය යුතුය යන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය බව මෙම පක්ෂ නායක රැස්වීමට සහභාගි වූ පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ප්‍රකාශ කර තිබේ.

එහෙත් දෙමළ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය, ද්‍රවිඩ ප්‍රගතිශීලී පෙරමුණ නියෝජනය කරනු ලබන පක්ෂ නායකයන් දැඩිව ප්‍රකාශ කර තිබෙන්නේ පළාත් සභා මැතිවරණය පැරැණි ක්‍රමයට පැවැත්විය යුතු බවයි.

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමේ බහුතරයද පැරැණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බව ප්‍රකාශ කරන නිසා එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ නායක නියෝජිතයන්ද පක්ෂ නායක රැස්වීමේදී ප්‍රකාශ කර තිබෙන්නේ පැරැණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවයි.

"මේ හදන්නේ කෙසේ හෝ පළාත් සභා මැතිවරණය කුමන හෝ ආකාරයකින් කල් දැමීමට උපක්‍රම යෙදීම බවත් එම නිසා පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතු බව ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පක්ෂ නායක රැස්වීමේදී ප්‍රකාශ කර තිබේ.

මේ අතර ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කර දෙන ලෙසට කථානායක කරු ජයසූරිය මහතාට එවන ලද ලිපියක්ද කථානායකවරයා මෙම පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත් කොට තිබේ.

නව මැතිවරණ ක්‍රමයට පළාත් පාලන මැතිවරණය පැවැත්වීම නිසා පළාත් පාලන ආයතන සැලකිය යුතු සංඛ්‍යාවක සභා පිහිටුවා ගැනීමේ අර්බුදයක් හටගත් නිසා එවැනි තත්ත්වයක් ඇති නොවෙන ලෙස පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවටද මෙහිදී පක්ෂ නායකයන් කිහිප දෙනකුම අදහස් ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව පළාත් සභා මැතිවරණ ක්‍රමය සහ පළාත් සභා මැතිවරණය පැවැත්වීම ගැන ජූලි මස 6 වැනි දින දවස පුරා පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමක්ද ඊයේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී තීරණය විය.

මීට අමතරව ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර අස්සන් කරන ලද නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ ජුලි 18 වැනි දින පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමටද මේ රැස්වීමේදී තීරණය විය. එම විවාදය ලබාදී තිබෙන්නේ ඒකාබද්ධ විපක්ෂයේ ඉල්ලීමට අනුවය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon