මල්වානේ ඉඩම සම්බන්ධයෙන් හිටපු ඇමැති බැසිල්ට හා නඩේසන්ට එරෙහි නඩුව නඩු විභාගය ජූලි 06ට කල් යයි

  👤  3973 readers have read this article !
By mawbima 2018-06-25

මිනුවන්ගොඩ -ටෝනි කේ. අතුකෝරල

‍ෙදාම්පේ මල්වාන මාපිටිගම ප්‍රදේශයෙන් අක්කර 16ක ඉඩමක් මිලට ගෙන එහි සුවිසල් නිවෙසක්, නාන තටාකයක් ඉදිකර ගොවිපොළක් පවත්වාගෙන යමින් රාජ්‍ය මුදල් අවභාවිත කිරීම සම්බන්ධ මූල්‍ය විශුද්ධිකරණ පනත යටතේ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාරන් නඩේසන් යන විත්තිකරුවන් දෙදෙනාට විරුද්ධව ඇති නඩු විභාගය ගම්පහ අංක 02 මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා ලබන ජූලි මස 06 වැනිදාට - 22 වැනිදා කල් තැබීය.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාරන් නඩේසන් යන විත්තිකරුවන් දෙදෙනා සහ එම නඩුවේ සාක්ෂිකරුවන් වන රාමවික්‍රම උපුල් කුමාර සහ උපාලි ජයකොඩි යන දෙදෙනාද 22 වැනිදා මහාධිකරණය හමුවේ පෙනී සිටියහ.

එම නඩුවේ සාක්ෂිකරුවකු වන රාමවික්‍රම උපුල් කුමාර යන අය වෙනුවෙන් මහාධිකරණයේ පෙනී සිටි නීතිඥ නන්දන ශ්‍රී කාන්ත මහතා පැවැසුවේ තම සේවාදායකයා නියුමෝනියා රෝගයෙන් පෙළීම නිසා අසනීප තත්ත්වයේ සිටින බවයි.
විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති
නීතිඥයන් මහාධිකරණය හමුවේ පැවැසුවේ උපාලි ජයකොඩි යන සාක්ෂිකරු මෙම නඩුවට අදාළව පූගොඩ සහ මාතර මහෙස්ත්‍රාත්වරුන් හමුවේ පාපෝච්චාරණයක් කර ඇති බවත් එම පාපෝච්චාරණයේ පිටපත් තවමත් ඔවුනට ලැබී නැති බවත්ය. නඩු විභාගයේදී තවත් ලේඛන රැසක් අවශ්‍යව ඇති බවත් පැවැසීය.
පැමිණිල්ල මෙහෙය වන රජයේ නියෝජ්‍ය සොලිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා පැවැසුවේ විත්තියට අවශ්‍ය යැයි කියා ලබාදුන් ලේඛනයට අදාළව සියලු ලේඛන විත්තියට ලබාදී ඇති බවත් තවත් ලේඛන අවශ්‍ය නම් ලේඛන ලයිස්තුවක් ලබාදෙන ලෙසත්ය.
විත්තිය ලබාදෙන ලේඛන ලැයිස්තුවට අදාළව එම ලේඛන ලබාදෙන ලෙස පැමිණිල්ල නියම කළ මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා නඩු විභාගය ජූලි මස 06 වැනිදාට කල් තැබීය.
අධිකරණය හමුවේ පෙනි සිටි විත්තිකරුවන් දෙදෙනාට යන සාක්ෂිකරුවන් දෙදෙනාටද එදින මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද වැඩිදුරටත් නියම කෙරිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon