දිගන සිදුවීම්වලට සැක සිවු දෙනකුට ඇප මහසොහොන් බළකායේ නායකයාත් සෝභිත හිමිනමත් යළි රිමාන්ඩ්

  👤  3886 readers have read this article !
By mawbima 2018-06-25

තෙල්දෙණිය - කේ. නිශ්ශංක

පසුගිය මාර්තු මස පස් වැනි දින දිගන අවට සිදුවූ සිද්ධීන් තුනකට සම්බන්ධ සැකකරුවන්ගෙන් සැකකරුවන් හතර දෙනකුට මහාධිකරණයෙන් ලබාදී තිබුණු ඇප නියෝග තෙල්දෙණිය මහෙස්ත්‍රාත් දිසා විනිසුරු ශානක කලන්සූරිය මහතා ඉදිරියේදී ප්‍රකාශයට පත් කරමින් එම සැකකරුවන් හතරදෙනා රුපියල් ලක්‍ෂ පහ බැගින් පිළිගත් ශරීර ඇප තුනක් මත හා රුපියල් පන්දහස බැගින් රුපියල් විසි දහසක මුදල් ඇප මත මුදා හැරිණි.

මෙම සැකකරුවන් හතර දෙනාට සෑම මසකම අවසන් ඉරුදින පෙරවරු නවයත් ‍ෙදාළහත් අතර කාලයේදී තෙල්දෙණිය පොලිසියේ පෙනී සිටීමටත්, සැකකරුවන්ට නොවැම්බර් මස නව වැනි දින යළි තෙල්දෙණිය අධිකරණයේ පෙනී සිටීමටත් නියෝග කෙරිණි.

මෙම සිද්ධියේ හත්වැනි සැකකාර කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ පොදුජන එක්සත් පෙරමුණ සභික, සමන්ත පෙරේරා, සමන් ධම්මික, සමන්කුමාර ලංකා හා ලලිත් යන සැකකරුවන් හතර දෙනාට විසිවැනි දින මහනුවර මහාධිකරණයෙන් ලබාදී තිබුණු ඇප නියෝග තෙල්දෙණිය අධිකරණයේදී සැකකරුවන් ඉදිරියේදී ප්‍රකාශයට පත් කරමින් ඇප කොන්දේසි මත එදින ඔවුන් මුදා හැරිණි.

මාර්තු මස පස්වැනි දින දිගන නගරය අවට සිදුවූ මෙම සිද්ධීන් පිළිබඳව ත්‍රස්ත විමර්ශන අංශයේ නිලධාරීන් හා තෙල්දෙණිය පොලිසියේ අපරාධ අංශයේ නිලධාරීන් පිරිසක් මෙදින තෙල්දෙණිය අධිකරණයේ පෙනී සිටි අතර තෙල්දෙණිය පොලිසියේ අපරාධ අංශයේ පොලිස් සැරයන් වෑත්තෑව මහතා වැඩිදුර වාර්තාවක් මෙදින අධිකරණයට ඉදිරිපත් කළේය.

මෙම සිද්ධීන් තුන පිළිබඳ සැකකාර මහසොහොන් බළකායේ නායක අමිත් වීරසිංහ ඇතුළු සෙසු සැකකරුවන් දහසය දෙනා යළිත් ලබන ජූලි මස හය වැනි දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට තෙල්දෙණිය මහෙස්ත්‍රාත් දිසා විනිසුරු ශානක කලන්සූරිය මහතා මෙදින යළි නියෝග කළේය.

මෙම සැකකරුවන් දහසය දෙනා අතර සිටින සෝභිත නමැති තරුණ හිමිනමද මෙදින රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

මෙම සැකකරුවන් දහසය දෙනාගෙන් මහසොහොන් බළකායේ නායක අමිත් වීරසිංහ පමණක් අනුරාධපුර රක්‍ෂිත බන්ධනාගාරය වෙත තනි බස් රථයකින්ද සෙසු සැකකරුවන් පහළොස් දෙනා යළිත් පල්ලේකැලේ දුම්බර රක්‍ෂිත බන්ධනාගාරය වෙතද රැගෙන ගියේය.

සැකකරුවන් වෙනුවෙන් නීතිඥ බාන්ස් රඹුක්වැල්ල, නීතිඥ සරත් ප්‍රේමකුමාර හා නීතිඥ සමන් රත්නායක යන මහත්වරු පෙනී සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon