අස්ගිරි අනුනායක හිමියන්ගේ අනුශාසනාවේ ඇත්ත යුත්ත කුමක්ද?

  👤  4069 readers have read this article !
By mawbima 2018-06-25

ගෝඨාභයට සුදු රෙදි අන්දවා කැන්දාගෙන ආවත් රාජපක්ෂ මිලිටරි ජුන්ටාවකට ජනතාව
යළි ඉඩ දෙන්නේ නෑ

ධර්මද්වීපය හිට්ලර්ලාගේ මිලිටරි පාලනයකට යට කරමුද? යන ප්‍රශ්නාර්ථය සනිටුන් කරමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් විශේෂ නිවේදනයක් නිකුත් කොට තිබේ.

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වේඬරුවේ උපාලි ස්වාමීන් වහන්සේගේ ප්‍රකාශය පදනම් කරමින් නිකුත් කළ එම නිවේදනය මෙසේය.
හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ 69 වැනි උපන්දිනය නිමිත්තෙන් මහ සංඝරත්නයේ ආශිර්වාදය ලබාදෙමින් අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වේඬරුවේ උපාලි ස්වාමීන් වහන්සේ විශේෂ ප්‍රකාශයක් කර තිබිණි.

උන්වහන්සේගේ ප්‍රකාශය මෙසේය. "ඔබතුමා ගැන සඳහන් කරන කොට හිට්ලර් හැටියටත් හඳුන්වලා තිබුණා. ඉතිං අපි මතක් කරනවා. හිට්ලර් කෙනෙක් වෙලා හරි මේ රට හදන්න කියන එක තමයි මහ සංඝරත්නය අවසාන වශයෙන් මතක් කරන්නෙ. ඔබතුමා මිලිටරි පාලනයක් හරි අරගෙන ඇවිල්ලා මේක හදන්න කියලා නැවතත් මතක් කරනවා"

මේ රටේ වැදගත්, පිළිගත් නායක හාමුදුරුවන් වහන්සේ නමක විසින් මේ කරන ලද ප්‍රකාශය බැරෑරුම් ද්වේෂසහගත ප්‍රකාශයක් බවත්, බුද්ධ දර්ශනය පිළිගන්නා සැබෑ බෞද්ධයකු වශයෙන් මම එකී ප්‍රකාශය සම්බන්ධයෙන් අතිශය ලැජ්ජාවට පත්වන බවත් පළමුව ප්‍රකාශ කළ යුතුය. මන්ද, ජර්මනියේ නාසි පාලකයා වූ ඇඩොල්ෆ් හිට්ලර් පිළිබඳව හෝ ඔහු ගෙනගිය මිලිටරි පාලනය පිළිබඳ අංශු මාත්‍රයක් හෝ දන්නා සිහිබුද්ධිය ඇති කිසිවකු මෙවැනි නිර්ලජ්ජිත ප්‍රකාශයක් නොකරන බව මා තරයේ විශ්වාස කරන බැවිනි.

එසේම මෙවැනි ඒකාධිපති පාලනයන්ට අනුබල දීමට තම ශ්‍රාවකයන් වහන්සේලාට බුදුන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්ම දේශනාවේ කිසිදු තැනක උපදේශයක් හෝ අනුග්‍රහයක් දක්වා නැත. ඒ නිසාම දේවදත්ත පරම්පරාවේ භික්ෂුවක හැර සැබෑ බුද්ධ වංශයේ කිසිදු භික්ෂුන් වහන්සේ කෙනකු මෙවැනි දුර්දාන්ත බියකරු ප්‍රකාශයන් සිදු නොකරන බව බුද්ධ දර්ශනය ඉහළින්ම පිළිගන්නා බෞද්ධයකු ලෙස මම විශ්වාස කරමි.

එබැවින් කෙටියෙන් නමුත් රාජ්‍ය පාලනය පිළිබඳ බුදුන් වහන්සේ ගෙනහැර දැක්වූ කරුණු කිහිපයක් මෙසේ සිහිපත් කරදීමට කැමැතිය.
රාජ්‍යයක පාලන තන්ත්‍රය ධාර්මික පදනමක් මත ගොඩනඟා ගත යුතු බව දීඝ නිකායේ චක්කවත්ති සීහනාද සූත්‍රය, අග්ගඤ්ඤ සූත්‍රය, කූඨ දන්ත සූත්‍රය ආදී සූත්‍ර දේශනා තුළ මැනැවින් විග්‍රහ කර ඇත.

ඉහත සඳහන් සූත්‍ර තුළ පෙන්වා දී ඇති මූලික කරුණු අතර සප්ත අපරිහානීය ධර්ම, දසරාජ ධර්ම, දස සක්විතිවත්, සතර සංග්‍රහවස්තු, සතර බ්‍රහ්ම විහරණ, සතර අගති ආදිය වැදගත් රාජ්‍ය සංකල්පයන් වේ.

'සබ්බං රට්ඨං සුඛං සේති - රාජාචේ හෝති ධම්මිකෝ' යනුවෙන් බුදු දහමේ පෙන්වා දී ඇත්තේ රජු දැහැමි වුවහොත් සියලුම ජනයා සුවසේ ජීවත් වන බවයි.

එසේම රටක පාලකයකු අවම වශයෙන් පංචශීල ප්‍රතිපත්තිය අනුගමනය කරන්නකු විය යුතු බව අවධාරණය කර ඇත්තේද බුදුදහම තුළය.
මෙම කරුණු තුළින් බුදු දහම පෙන්වා දී ඇති සමාජ සාධාරණත්වයේ, යුක්තිගරුකත්වයේ රාජ්‍ය පාලනයක ඇති වැදගත්කම අප රටේ කුඩා පාසල් සිසුන් පවා හොඳින් දනී. අස්ගිරියේ අනුනායක හිමියන් මේ සියල්ල දැනගෙන නම් එවැනි ප්‍රකාශයක් කළේ අප රටේ සියලු බෞද්ධයන් වැඩි වැඩියෙන් ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතුය. මන්ද බුද්ධ දේශනාවේ නැති, බුද්ධ දර්ශනයට ඉඳුරාම පටහැනි, සමාජ සම්මතයට එකඟ නැති, සමාජ සාධාරණත්වය අගයන කිසිදු මිනිසකු මොනම තත්ත්වයක් යටතේවත් ප්‍රාර්ථනා නොකරන මිනිස් ඝාතක පාලනයක් ඉල්ලා සිටීම, හුදෙක් අධම පවිටු චේතනාවෙන් සිදුකළ ප්‍රකාශයක් වන හෙයිනි.

ඉතිහාසය පුරාම බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වූ ශ්‍රී ලංකාවේ සමාජ සංස්කෘතික දේහය තුළ බලහත්කාරී ඒකාධිපති පාලනයන්ට කිසිදු අවසරයක් ලබාදීමට මේ රටේ ජනතාව ඉඩ තැබුවේ නැත.

ලෝකයේ ඒකාධිපතිවාදී පාලන ඉතිහාසය තුළ ප්‍රචණ්ඩතම පාලකයා ජර්මනියේ ආඥාදායකයා වූ හිට්ලර්ය. ඒ පිළිබඳව කිසිදු විවාදයක් නැත. එදා පැවැති සමාජ ආර්ථික දේශපාලන ගැටලු හමුවේ ඇති එකම විසඳුම ලෙස හිට්ලර් අදහනු ලැබුවේ ජර්මානු ජාතිකවාදයයි. දේශප්‍රේමීත්වය ඔසවා තබා "ශුද්ධ වූ ආර්ය ජාතිය ජර්මානුවන්ය" යන මතවාදය තුළ සිය බල ව්‍යාපෘතිය ගොඩනඟා ගත්තේය.

බලයෙන් මත් වූ හිට්ලර්ගේ ම්ලේච්ඡ වූ සංහාරයේ තරම කෙසේද යත් සමස්ත ජර්මානු රාජ්‍යයම එකම සිරකඳවුරක් බවට පත්කළා පමණක් නොව එක් දිනකදී යුදෙව්වන් 20,000ක අධික ප්‍රමාණයක් ඝාතනයද කළේය. හිට්ලර්ගේ පාලන කාලය තුළ අහිංසක මිනිසුන් මිලියන ගණනින් මරා දැමුවේ මිනිස්කම තිරිසන්කමටත් වඩා පහත් අඩියකට තල්ලු කරමිනි. මිනිසුන් මරා දැමීම, වෙඩි උණ්ඩයට පමණක් සීමා නොකළ හිට්ලර් නම් වූ මිනිස් ඝාතකයා ගෑස් කාමර වැනි අති අමානුෂික විධි ක්‍රම භාවිත කරමින් අනෙකාගේ මරණය දැක අශ්ලීල සතුට වින්දනය කළේය.

හිට්ලර්, සිය ඝාතන ලැයිස්තුව සැකසුවේ සිය නට්සි පාලන තන්ත්‍රයේ පැවැත්මට එරෙහිවේ යැයි සැක කළ සියලු දෙනා වෙනුවෙනි. එහිදී වෘත්තීය සමිති නායකයන්, සමාජවාදීන්, වෙනත් ආගමිකයන් මෙන්ම විශේෂයෙන් යුදෙව් ජාතිකයන් ඇතුළත් කළේය. එපමණක් නොව ආසියාවේ, අප්‍රිකාවේ මිනිසුන් තිරිසනුන්ටත් වඩා පහත් කොට සලකා කටයුතු කළේය. හිට්ලර් පාලනය තුළ නට්සි ඝාතකාගාර තුළ ජීවිතයට සමුදුන් එකදු මිනිසකු පිළිබඳවවත් හිට්ලර් කිසිදු අවස්ථාවක ශෝක නොවීම තුළින් පවා තහවුරු වන්නේ ඝාතකයාගේ පරම සතුට අනෙකාගේ මරණය පමණක් බවයි.

එදා මෙදා තුර මිනිස් ශිෂ්ටාචාරයේ අතිශය කෘෘරතම පාලකයා වූයේ හිට්ලර්ය. එසේම ඔහුගේ ම්ලේච්ඡ පාලන තන්ත්‍රය බවට වූයේ නට්සි හමුදා නිලධාරීන්ය.

ලංකාවේ පැවැති රාජපක්ෂ පාලනය තුළ දී මීට නොවෙනස් ගති ස්වභාවයන් පෙන්නුම් කරමින් පැවැති බව රහසක් නොවේ. එහි පළමු පියවර වූයේ දේශප්‍රේමීත්වය උත්කර්ෂයට නංවා මිනිස් පරිණාමයේ බැහැර කළ යුතු ජාතිවාදී ආගම්වාදී ගෝත්‍රිකත්වයට මුළු රටම ඇදගෙන යෑමයි. එය ලංකාවේ මෑත ඉතිහාසයේ අඳුරුතම දශකය නිර්මාණය කිරීමේ මූලික පදනම ද කරගත්තේය.

එදා මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ රාජපක්ෂ පවුල් පාලනයට එරෙහි වූ කිසිවකුට මේ රටේ ජීවත් වීමට අවසරයක් නොතිබිණි. ඒ නිසාම රාජපක්ෂලාගේ උදහසට ලක් වූ බොහෝ දෙනා රට හැර ගියේය. රට හැර නොගිය බොහෝ දෙනා රට තුළ තැන තැන ඝාතනය වූහ. තවත් පිරිසකට ජීවත් වීමට වාසනාව අත්වුවද අත්පා අහිමි විය. අදටත් ඒ රාජපක්ෂ භීෂණයෙන් බැට කා යම්තමින් සිය ජීවිතය අහිමිකර නොගත් මිනිසුන් මීට සාක්ෂි දරනවා ඇත.

හිට්ලර් වගේම රාජපක්ෂවරුද වෙඩි උණ්ඩයට පමණක් 'මරණය' සීමා නොකළේය. සුදු වෑන්, ගන් සයිඩ්, රිය අනතුරු, ගෙල වැලලා ගැනීම් වැනි උපක්‍රම පමණක් නොව 'ග්‍රීස් යක්කු' පවා මරණ වරෙන්තුව අරගෙන ගෙයින් ගෙට ආ බවද මතක් කළ යුතුව ඇත.
එපමණකින් නොනැවතුණු මහින්ද රාජපක්ෂ සිය ජීවිත කාලය පුරාම මේ රටේ තනි ඒකාධිපති පාලකයා වීමේ වියරු ආශාව 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා සඵල කර ගත්තේය.

එදා රාජපක්ෂවරුන්ගේ බලලෝභයේ ආනුභාවය නිසා තම ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූ කිසිවකු ගැන අද ද රාජපක්ෂලාට කනගාටුවක් නැත. අද රාජපක්ෂලා වෙනුවෙන් පෙනී ඉන්න කිසිදු අයකුට ද ඒවා ගැන දුකක් නැත. 'ගොබෙල්ස්ලා' සේවය කරන්නේ හිට්ලර්ලාට මිස දැහැමි පාලනයන්ට නොවන බව අපි මතක තබාගත යුතුය.

ලෝකයම දන්නා ඉතිහාසයක් එසේ තිබියදී මිලිටරි, හිට්ලර් පාලනයක් ඉල්ලා මේ රටේ මහ සංඝරත්නය නමින් එක් නායක ස්වාමීන්වහන්සේ කෙනකු මෙවැනි ප්‍රකාශයක් කළේ ඇයිද යන්න, දේශපාලනයේ 'අ' යන්න දන්නා සෑම පුද්ගලයකුටම මනාව පැහැදිලිය.
2015 ජනවාරියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්වූ පසු අප රටේ එක්තරා ජනප්‍රිය ගායිකාවක් 'ඇයි සර් මරලා හරි ගත්තේ නැත්තේ' කියා ප්‍රසිද්ධියේ ප්‍රශ්න කළා මේ රටේ කිසිවකුට අමතක නැත. එදා රාජපක්ෂවරුන්ට අවශ්‍ය වුවත් කරගැනීමට නොහැකි වූ දේද එයයි. එතැන් සිට එකී දුර්දාන්ත මතය රාජපක්ෂලා ලංකාවේ මුරදේවතාවුන් වශයෙන් සැලකෙන බෞද්ධ සංඝයා වහන්සේ අතරටද කූට ලෙස ගෙන ගොස් ඇති බව මෙම කුප්‍රකට ප්‍රකාශය තුළ පිළිබිඹු වේ.

ඒකාධිපති පාලකයන්ගේ ස්වභාවයම සිය පරම්පරාවේම අයකු ඊළඟ පාලකයා වනු දැකීමය. මහින්ද රාජපක්ෂ මහතා සුරුවමක් යැයි අදහන, වන්දනාමාන කරන අසරණ මිනිසුන්ට ඔහු ඇවෑමෙන් තවත් සුරුවමක් ඇවැසිය. ඒ අඩුව පුරවනු පිණිස ගෝඨාභය රාජපක්ෂව සුදු රෙදි අන්දවා කැඳවාගෙන ඇවිත් නැවතත් රාජපක්ෂලා ප්‍රමුඛ මිලිටරි ජුන්ටාවකට අපේ රට බිලිදීමට කිසිදු පුරවැසියකු ඉඩ නොදෙන බව පැහැදිලිව සඳහන් කළ යුතුයි.
පසුගිය කාලයේ ගෝඨාභය රාජපක්ෂ පෙරටුකර විශ්‍රාම ගිය හමුදා පිරිස් විසින් සංවිධානයක් අටවා ගත් පළමු මොහොතේ මා ප්‍රකාශ කළාසේ මේ සූදානම් වන්නේ, මුළු මහත් සමාජයම 'විපත් මඟට' යොමු කිරීමට බව දැන් පැහැදිලිය. මාගේ ප්‍රකාශය නිවැරැදි බව යළිත් තහවුරු කිරීම වෙනුවෙන් සාක්ෂි දරන්නේද එකී සංවිධානවල ප්‍රකාශයන්ම වීම ගැන සතුටු වන්නෙමු.

පසුගිය වසරේ ඔක්තෝබර් 21 වැනිදා ගම්පහදී පැවැති 'විපත් මඟ' රැස්වීමකදී 'නව ව්‍යවස්ථාවට සහාය දක්වන්නන් දේශද්‍රෝහීන් බැවින් ඒ දේශද්‍රෝහීන්ට මරණය ලබාදිය යුතු' බව විශ්‍රාම ගිය හමුදා නිලධාරියකු වූ කමල් ගුණරත්න මහතා ප්‍රකාශ කළේ, ඝෝඨාභය රාපක්ෂද මුලසුනේ තබාගෙනය.

එසේම පසුගිය ජුනි 12 වැනිදා විශ්‍රාම ගිය තවත් හමුදා නිලධාරියකු වූ සරත් වීරසේකර පවසා සිටියේ 'බලහත්කාරී අතුරුදන් කිරීමට එරෙහි පනත, අතුරුදන් වූවන්ගේ කාර්යාලය සහ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රතිසංස්කරණ කිරීමට සහයෝගය දක්වන සියලු දෙනා සිය පාලනයක් යටතේ එල්ලා මරා දමන' බවයි.

මේ සියලු ප්‍රකාශ සනාථ කරනුයේ ශ්‍රී ලංකාව නම් වූ ධර්මද්වීපය සුනුවිසුනු කොට මිලිටරි පාලනයකට නතු කිරීමේ සැබෑ වුවමනාව ඇත්තේ රාජපක්ෂලාට බවය. ඒ වෙනුවෙන් අපේ සමාජයේ ඇති සෑම ශුද්ධ වස්තුවක්ම කුණු කානුවට ඇද දැමීමට පවා රාජපක්ෂලා කටයුතු කරමින් සිටින බවයි.

එසේම වරදාන, වරප්‍රසාදවලට මුවා වෙලා, මිනීමරු රාජපක්ෂලා ආරක්ෂා කරන, නැවත ඒකාධිපති ගමනට පාර කපන 'දේවදත්ත' පරම්පරාවේ භික්ෂුන්ගෙන් සියලු බෞද්ධයෝ පරිස්සම් විය යුතු බව නැවත අවධාරණය කරමි. මන්ද අද ලංකාවේ ජනප්‍රිය තලයේ ඇතැම් භික්ෂූහු රාජපක්ෂලාගේ අන්තේවාසිකයන් ලෙස බෞතීස්මය ලබා බුද්ධ වංශයේ භික්ෂුත්වය අතහැර ඇති බැවිනි. ඒ නිසාම භික්ෂුත්වයට මෙන්ම බුද්ධ දර්ශනයටද අදාළ නැති බොහෝ දේ ඔවුහු සිදුකරමින් සිටිති. එබැවින් බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සලකා මේ තත්ත්වය වහාම වෙනස් කළ යුතු නොවේද?

ථෙරවාදී බුද්ධ දර්ශනයේ අනාගත පැවැත්මට මෙන්ම සමාජ සාරධර්මයන්ට අතිශය හානිදායී වර්තමාන දුශ්ශීල භික්ෂුන් වහන්සේගෙන් මේ ශාසනය බේරා කරගැනීම වෙනුවෙන් එදා 'සුභද්ද භික්ෂුවගේ අභග්ග වචනය' පදනම් කරගෙන පළමු සංගායනාව කළාසේ, 'වේඬරුවේ උපාලි හිමියන්ගේ මේ අශිෂ්ට ප්‍රකාශය' පදනම් කරගෙන හැකි ඉක්මනින් භික්ෂු සංගායනාවක් කැඳවීමට කටයුතු කළ යුතු බව අවධාරණය කරමි.

හිට්ලර් - මිලිටරි වැනි වචන අල්ලාගෙන මත පළකිරීම අන්ධයන් ඇතාගේහැඩරුව කීවාට සමානයි

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් සිදු කළ දානමය පුණ්‍යකර්මයකදී සිය දීර්ඝ ධර්ම දේශනයේ අන්තර්ගත වූ හිට්ලර්, මිලිටරි යන වචන පමණක් ගෙන මත ඉදිරිපත් කිරීම අන්ධයකු ඇතාගේ වලිගය අතගා ඇතා කොස්සක් වැනි යැයි කීවාක් හා සමාන යැයි අස්ගිරි විහාර පාර්ශ්වයේ අනුනායක ශාස්ත්‍රපති වේඬරුවේ ධර්මකීර්ති ශ්‍රී රතනපාල උපාලි හිමියෝ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසති.
එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේයි.

ඉකුත් දිනක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් සිදු කරන ලද දානමය පුණ්‍ය කර්මයකදී මා විසින් සිදු කරන ලද දීර්ඝ ධර්මදේශනයක අන්තර්ගත වූ හිට්ලර්, මිලිටරි යන වචන පමණක් ගෙන රටේ ප්‍රධාන දේශපාලන නායකයන්, බෞද්ධ භික්ෂුවකට නොගැළපෙන ප්‍රකාශයක් කළා යැයි මත ඉදිරිපත් කිරීම පිළීබඳව කනගාටුව ප්‍රකාශ කරමි.

කොළඹ ප්‍රදේශයේ වැදගත් නායක හිමිවරුද, මහින්ද රාජපක්ෂ මහතා සහ පක්ෂ විපක්ෂ දේශපාලන නායකයන් සමූහයක් ඉදිරියේ සිදු කරන ලද ධර්ම දේශනය විනාඩි 30ක පමණ දේශනයකි. එහි එක් වචනයක් පමණක් ගෙන සමස්තය අර්ථ දැක්වීම අන්ධයකු ඇතාගේ වලිගය අතගා ඇතා කොස්සක් වැනි යැයි කීවාක් හා සමානනය.

එහිදී මා කළ ප්‍රකාශයේ සංක්ෂිප්තය වනුයේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා හිට්ලර් කෙනෙක් ලෙස හඳුන්වා ඇති බවත් එසේ හෝ රට සංවර්ධනය කරන්න යන්න මතක් කරන බවත්ය. එහිදී මෙම ප්‍රකාශයේ වචනාර්ථය පමණක් ගෙන තම දේශපාලන මත ඉදිරිපත් කිරීමක් සිදු කරමින් පවතී. නමුත් රටක් පාලනයේදී ඍජු ප්‍රතිපත්ති තිබිය යුතු බව මා එයින් ප්‍රකාශ කළා විනා 'හිට්ලර්' සේ මිනිසුන් මරමින් ම්ලේච්ඡ පාලනයක් කළයුතු බවක් අදහස් නොකළෙමි. බුදුන් වහන්සේ එක් අවස්ථාවක.

සංගාමේ මේ මතංසෙයේ‍යා යංචෙ ජීවේ පරාජිතෙ

යනුවෙන් පරාජිතයකු ලෙස ජීවත් වනවාට වඩා සංග්‍රාම භූමියේදී මියයෑම උතුම් බව දේශනා කරති. එහිදී අදහස් කරනුයේ බුදුන් වහන්සේ යුද්ධය අගය කළ බවක් හෝ සියදිවි නසාගතයුතු යැයි දේශනා කළ බවක් නොවේ. පුද්ගල ශක්තිය අගය කිරීමකි.

තම තමන්ගේ දේශපාලන මතවලට අනුව මා කළ ප්‍රකාශය අර්ථගැන්වීම තවදුරටත් නොකළයුතු වරදක් ලෙසද දන්වනු කැමැත්තෙමි.

මෙහිදී විශේෂයෙන් සලකා බැලිය යුත්තේ මෙම ධර්ම දේශනයට අරමුණු කරගත් පිරිසය. බුදුන් වහන්සේ කාලාමයන්ට ගැළපෙන සේ කාලාම සූත්‍රය දේශනා කළා සේද කසීභාරද්වාජට ගැළපෙන සේ කසීභාරද්වාජ සූත්‍රය දේශනා කළාසේද, ගොවියන් පිරිසක් සිටිතැන මා ඔවුන්ට ගැළපෙන සේත් ළමයින් පිරිසක් සිටින තැන ඔවුන්ට ගැළපෙන සේත් කරුණු පැහැදිලි කළ යුතුය. මෙහිදී දේශපාලන නායකයන් පිරිසක් සිටි නිසා ඔවුන්ට ගැළපෙන දහමක් දේශනා කළා විනා පක්ෂග්‍රාහී දේශපාලනයක් කතා නොකළ බවද සඳහන් කළ යුතුය. මිල්ටරි පාලනය, හමුදාපාලනය, හිට්ලර් යන වචනවලින් ඍජු ප්‍රතිපත්ති මත සිට රාජ්‍ය පාලනයක් සිදු කළ යුතුය යන්න පැහැදිලි කළ අතර ඍජු ප්‍රතිපත්ති ඇති කර ගැනීම යනු දසරාජ ධර්මයන්ගෙන් එක් කරුණකි. එසේම උජු පටිපන්න වීම යනු සඟ ගුණයකි.

දේශපාලකයන්ට අනුශාසනා කිරීම භික්ෂුන් වහන්සේගේ කාර්යභාරයකි. එයට පක්ෂ විපක්ෂ භේදයක් නැත. බුදුන් වහන්සේ කොසොල් රජුටත්, බිම්බිසාර රජුට හා ලිච්ඡවින්ටත් විරුද්ධ පාර්ශ්ව දෙකක් වූ ශාක්‍ය හා කෝලියන්ටත් එක සේ අනුශාසනා කළහ. එසේම අපටද ඇත්තේ පක්ෂ භේදයක් නොව දේශපාලකයන් නිසි මඟ යැවීමය. නමුත් තම දේශපාලන මත කරපින්නාගත් ධර්මය අධර්මය සේ දක්වමින් මාධ්‍ය නිදහස වැරැදි ලෙස භාවිත කරමින් අන්තර්ජාල කැලෑපත්තර ප්‍රසිද්ධ මාධ්‍යවල ප්‍රචාරය කරමින් කරන අසත්‍ය ප්‍රකාශ සංවේගයෙන් යුතුව හෙළා දකින බවද ප්‍රකාශ කළ යුතුය. රටේ ජනමාධ්‍ය ඇමැතිවරයා පවා සත්‍යය තේරුම් නොගෙන මෙසේ ප්‍රකාශ නිකුත් කිරීම කෙතරම් යුක්ති සහගතද යන්න යළිත් සිතාබැලිය යුතුය.

රටේ ඇති වන විවිධ ප්‍රශ්න අමතක කරවීමට හෝ විවිධ සිද්ධීන් යටපත් කිරීමට හෝ ප්‍රවෘත්ති මැවීම ජනතාව නොමඟ යැවීමක් වන අතර නොදුටු බිල්ලන් මවාපාන අසත්‍ය මාධ්‍ය ප්‍රචාර පිළිකුලින් හෙළාදකින බවත් සියලු දේශපාලකයන් රට වෙනුවෙන් තම යුතුකම ඉටු කිරීමට කටයුතු කළයුතු බවත් කාරුණිකව සිහිපත් කරනු කැමැත්තෙමි.

දේශපාලන සර්වාංගයෙන්ම දේශද්‍රෝහියකු වූ මංගල බෞද්ධ ධර්මයේ ආරක්ෂකයා වෙලා

දේශපාලන සර්වාංගයෙන්ම, දේශද්‍රෝහියකු වූ මංගල පින්සිරි සමරවීර ඇමැතිවරයා, හදිසියේම නිර්මල ථෙරවාදී බෞද්ධ ධර්මයේ ආරක්‍ෂාව උදෙසා නැඟී සිට ඇති බවත්, පූජ්‍ය වේඬරුවේ උපාලි හිමියන් කළ ප්‍රකාශයක් හේතුකොට ගෙන මංගල පින්සිරි සමරවීර ඇමැතිවරයා බුද්ධාගම රැක ගැනීමේ සටන අරඹා ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ පවසයි.

මන්ත්‍රිවරයා මේ බව සඳහන් කරන්නේ මංගල ඇමැතිවරයා පූජ්‍ය වේඬරුවේ උපාලි හිමියන්ගේ ප්‍රකාශයක් පදනම් කර ගනිමින් මාධ්‍යට නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමිනි. 'ධර්මද්වීපය දේශපාලන හාල්පාරුවන්ගේ දේශපාලන අසූචි වළක් බවට පත් කරලීමට ඉඩදී බලා සිටිමුද?' යන මැයෙන් නිකුත් කළ එම නිවේදනය මෙසේය.

උක්ත ලිපිය මඟින් පින්සිරි සමරවීර පෙන්වා දෙන්නේ අතිපූජ්‍ය වේඬරුවේ උපාලි ස්වාමීන් වහන්සේ කරන ලද ප්‍රකාශයක බරපතළකමය. ඔහුට ප්‍රශ්නය වී තිබෙන ගරුතර ස්වාමීන් වහන්සේ සිදු කළ ප්‍රකාශය මෙසේය. ''ඔබතුමා ගැන සඳහන් කරනකොට හිට්ලර් හැටියටත් හඳුන්වලා තිබුණා. ඉතින් අපි මතක් කරනවා. හිට්ලර් කෙනෙක් වෙලා හරි මේ රට රැකගන්න කියන එක තමයි මහා සංඝරත්නය අවසාන වශයෙන් මතක් කරන්නේ. ඔබතුමා මිලිටරි පාලනයක් හරි අරගෙන ඇවිල්ලා මේක හදන්න කියලා නැවතත් මතක් කරනවා.'' පින්සිරි සමරවීර අමාත්‍යවරයා කලබල වී ඇත්තේ මෙම ප්‍රකාශයේ සඳහන්ව ඇති ''හිට්ලර් කෙනෙක් වෙලා හරි මේ රට හදන්න'' කියන කොටසටය. ඔහුට අනුව එය නිර්මල බුදුදහමට පටහැනිය.
දැන් මෙරට සියලු භික්‍ෂුන් වහන්සේ බෞද්ධ ධර්මයට අනුකූල කුමක්ද, අනනුකූල කුමක්ද යන්න විමසා දැනගත යුත්තේ පින්සිරි සමරවීර උපාසක අමාත්‍යවරයා වෙතිනි. එසේම හිට්ලර්ගේ වධකාගාරවලටත් එහා ගිය වධකාගාර පවත්වාගෙන ගිය බටලන්ද ඝාතකයෝ, තම නායකයා කරගත් මේ උපාසක තෙමේ දෙසන 'බණ' ඇසෙන විට අපට ඇති වන්නේ අරුම පුදුම ප්‍රීතියකි.

පූජ්‍ය වේඬරුවේ උපාලි ස්වාමීන් වහන්සේගේ අදාළ ප්‍රකාශය තේරුම් ගත යුත්තේ ඊට අදාළ සන්දර්භය මත තබා මිස, එයින් වියුක්තව නොවේ. උන්වහන්සේ මේ සරලව පවසන්නේ ගෙවුණු වසර 3ක කාලය තුළ පින්සිරි සමරවීරලාගේ 'සමරිසි' ආණ්ඩුව මේ රට ඇදවට්ටවා ඇති ප්‍රපාතයේ තරමය. 'යහපාලනය' නමැති වචනය ගණිකා ව්‍යාපාරයේ යොදවා බලයට පැමිණ සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික යන සෑම අතින්ම රට ඇදගෙන ගොස් ඇත්තේ දශක ගණනාවකින් පසුපසටය. පින්සිරි සමරවීරලාගේ දක්‍ෂතාව හේතුකොට ගෙන අද රුපියල ඇ.ඩො. 161 දක්වා බාල්දු වී ඇත.

පින්සිරිලා ජිනීවා ගොස්, ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාව හතුරුව ගෙන එන ලද 30/1, යෝජනාවට සම්පූර්ණ අනුග්‍රහකත්වය දැක්වීමේ ප්‍රතිඵලයක් ලෙස අද රට බේරාගත් රණවිරුවන් ඉන්නේ හිරගෙදරය. අද ආරක්‍ෂක හමුදාව 25%කින් කප්පාදු කිරීම අරඹා ඇත්තේද පින්සිරිලාගේ ජිනීවා පාවාදීමට අනුවය. දැනට පවතින හමුදා කඳවුරු සියයක් ගැලවීමට තීරණය කර ඇත්තේ ඒ පාවාදීමට අනුවමය. 'මිලේනියම් සිටි' කුප්‍රකට බුද්ධි අංශ පාවාදීමට වරදකරුවන් වූ හමුදා නිලධාරීන්ට හිඟ වැටුප් හා උසස් වීම් සමඟ විශ්‍රාම යෑම සලසා දුන්නේ පින්සිරිලාගේ ආණ්ඩුවමය. ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේදී පසුගියදා ක්ලේමෝ බෝම්බ, වෙනත් ආයුධ, කොටි නිල ඇඳුම් හා කොටි කොඩි සමඟ කොටි සැකකරුවන් පොලිසියට හසුවන්නේ පින්සිරිලා ලබාදී තිබෙන අපූරු යහපාලනයට පින් සිදු වන්නටය.

බදු බර අහස උසටය. රාජපක්‍ෂ පාලන සමයේ රටවැසියා වෙතින් අය කරන ලද මුළු බදු ප්‍රමාණටට වඩා දෙගුණයකටත් වැඩි බදු බරක් පින්සිරිලාගේ ආණ්ඩුව ජනයා මත පටවා ඇත. අද ව්‍යාපාරිකයන් මහන්සි වන්නේ ලාභය වැඩිකර ගැනීමට වඩා, සිය ව්‍යාපාරය වැසී යෑමට නොදී රැකගැනීමටය. පින්සිරිලාගේ ආර්ථිකයේ නියම තත්ත්වය වටහා ගැනීමට නම් බැංකුවක කළමනාකරුවකුගෙන් දිනකට අගරු වන චෙක්පත් ප්‍රමාණය කොපමණදැයි විමසා බැලිය යුතුය. මහජනතාවගේ මුදලින් කොටි ත්‍රස්තයන්ගේ පිළිම උතුරේ හැදුවද පොදු ජනතාවගේ සැබෑ අවශ්‍යතා ඉටු කරන සංවර්ධනයක් පෙනෙන තෙක් මානයක නැත.
අනෙක් අතට පින්සිරිලාගේ ආණ්ඩුව කරන හොරකම්වලද කෙළවරක් නැත. අර්ජුන මහේන්ද්‍රාලාට නීතිය ක්‍රියාත්මක වන අපූරු අන්දම දෙස මහජනතාව බලා සිටින්නේ ඉමහත් උත්ප්‍රාසයෙන් යුතුවය. පාතාල කල්ලි දිනපතා මිනී මරන්නේ පින්සිරිලාගේ පාලනයෙන් ලැබී තිබෙන අපූරුව දනවමින්ය. පින්සිරිලා කියන මහින්ද රාජපක්‍ෂ යුගයේ (පින්සිරිලාට අනුව කළු දශකය) රට තිබූ තැනත් අද වැටී තිබෙන තැනත් ගැන මෙරට මහජනතාවට ඇත්තේ දැඩි කනස්සල්ලකි.

පූජ්‍ය වේඬරුවේ උපාලි ස්වාමීන් වහන්සේගේ ප්‍රකාශය වෙතින් පිට වන්නේ, මුළුමහත් සමාජය තුළ දැඩිව පවතින මෙම කනස්සල්ලය. එසේ නොවේ නම්, රටට සිදු වෙමින් තිබෙන විනාශය පිළිබඳ කලකිරීමය. මෙම කලකිරීමේ ප්‍රතිඵලය වන්නේ 'යකෙක් හරි කමක් නෑ දැන්නම්' කියා හිතෙන මට්ටමට මිනිසුන් පත්වීමය. 'හිට්ලර් වෙලා හරි කමක් නෑ මේ රට හදන්න!' යන ප්‍රකාශයෙන් උන්වහන්සේ පවසන්නේ ගෝඨාභය රාජපක්‍ෂ මහතාට හිට්ලර් වන්නට නොවේ. මොන විදියකින් හරි මේ වැටෙන රට හදන්නට ප්‍රමුඛත්වය ගන්න කියාය. පින්සිරිලාද මාධ්‍ය නිවේදන මඟින් කුමක් කීවත්, සත්‍ය මෙය බව නොදන්නවා නොවේ.

අලි පැටවකු පන්සලේ ඇතිදැඩි කළ වරදට පවා භික්‍ෂුන් වහන්සේ සිරගත කළ පින්සිරිලාගේ ආණ්ඩුවට, බුද්ධාගම රැක ගැනීමට සිතක් පහළ වීමද එක අතකින් සතුටට කාරණයකි. සමරිසි ජීවිතය ගැන පෙර පාසල්වල සිට පාසලේ 3 වැනි පන්තිය දක්වා කියා දෙන්නට රාජ්‍ය නොවන සංවිධාන ජාලය සමඟ වැඩසටහන් පවත්වාගෙන යන පින්සිරිලාගේ ආණ්ඩුවට බුද්ධාගම ගැන 'හිට්ලර්' කෙනෙක් නිසා හෝ ඇල්මක් ඇති වී තිබේ නම් එයද යහපතකි.

රාජපක්‍ෂලාගේ ඊනියා කළු දශකයක් ගැන කියමින්, අසත්‍ය චෝදනා කරමින් නැවත නැවතත් පච වැපිරීම පින්සිරිලාගේ ආණ්ඩුව කරන එකම රාජකාරියය. පසුගිය වසර 3 පුරාම සිදු කළේ එකී පච බේගල් නැවත නැවතත් වැපිරීම මිස අන් යමක් නොවේ. ඔවුන්ට ඉදිරියටද කරන්නට ඇත්තේ ඒ වැඩේ පමණි. අවසන් වශයෙන් මා පින්සිරි අමාත්‍යවරයා වෙතින් ඉල්ලා සිටින්නේ ඔබට හා ඔබ පසුපස සිටින විදේශීය හාම්පුතුන්ට රාජපක්‍ෂලා කෙරෙහි ඇති වී තිබෙන වෛරය ගරුතර මහ සංඝරත්නය වෙතින් පිට නොකරන මෙන්ය. කසාවතට මේ මවු පොළොව සමඟ ඇති ඓතිහාසික බැඳීම් නොදන්නා ඔබ වැන්නකු, එයින් සිදු කර ගන්නා අගතිය සුළුපටු නැත. එදා 'රනිල්ට බෑ!' කියූ ඔබ අද 'රනිල්ට පුළුවන්!' කියන විට ඔබ වැන්නකු ගැන අපට කතා කරන්නටවත් කිසිවක් ඉතිරි වී නැත. බුද්ධාගම හෝ ශාසනය ගැන හෝ වධ නොවී, ඩොලරයට සාපේක්‍ෂව රුපියලේ ඇදවැටීම වළක්වන්නට හැකි නම් පියවර ගන්නා මෙන් ඔබ වෙතින් ඉල්ලා සිටිමි.

පින්සිරි අමාත්‍යවරයාගේ යහපත පිණිස, අවසාන වශයෙන් මම බුදුන් වහන්සේ දේශනා කරන ලද ධම්මපදයේ වන පහත සඳහන් ගාථාව ඉදිරිපත් කරමි.
'අත්ථානමේච පඨමං
පතිරූපේ නිවේසයේ
අථඤ්ඤ අනුසාසෙයිය
නිබ්චිලේ සෙයිය පණ්ඩිතෝ'
මෙහි අර්ථය මෙසේය.

'අන්‍යයන්ට උපදෙස් දීමට පෙර තමා පළමුව සුදුසු තැනක පිහිටිය යුතුය.'

හර්ෂණී අර්සකුලරත්න

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon