දකුණේ ජනතාව උතුරට සංහිඳියාවේ දෑත් දිගු කළද එය වැලඳ ගැනීමට උතුරේ ජනතාවගේ මනස හැඩ ගැසී නෑ

  👤  3878 readers have read this article !
By mawbima 2018-06-25

පහන් විජේසේකර මුලතිව් සිට
ඡායා - වෙනුර චන්ද්‍රමාලිත

පශ්චාත් යුද සමයකදී සැබෑ ජාතික සංහිඳියාවක් ඇති කළ හැක්කේ මිනිස් සිත්සතන්වල හික්මීමක් ඇති කිරීමෙන් බවත්, 'පොල් අරණින් තල් අරඹට' සමාජ ශාසනික සත්කාරක සේවය මඟින් ඊට අඩිතාලමක් දමා ඇති බවත් මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පැවැසූහ.

උන්වහන්සේ මේ බව පැවැසුවේ පසුගිය 22, 23 දිනයන්හි මුලතිව් දිස්ත්‍රික්කයේ වැලිඔය, හැලඹවැව ප්‍රදේශයේදී පැපිලියාන සුනේත්‍රා මහා දේවී සමාජ ශාසනික සත්කාරක පදනම මඟින් සංවිධානය කර තිබූ 'පොල් අරණින් තල් අරඹට' වැඩසටහනේදීය.

දකුණේ ජනතාව උතුරට සංහිඳියාවේ දෑත් දිගු කළද එය සහෝදරත්වයෙන් වැලඳ ගැනීමට තවමත් උතුරේ ජනතාවගේ මනස හැඩගැසී නැතැයිද එහිදී උන්වහන්සේ පෙන්වා දුන්හ.

උතුරේ ඇතැමුන්ගේ මානසික තත්ත්වය පසුගියදා කිලිනොච්චිය ගමකට වැදුණු කොටියා මරා උගේ මළ සිරුර සමඟ විනෝද වූ ආකාරයෙන් මනාව තේරුම් ගත හැකි බවද අභයතිස්ස හිමියෝ ප්‍රකාශ කළහ.

එහිදී උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළේ 'පොල් අරණින් තල් අරඹට' සමාජ සත්කාරක සේවය මඟින් ඔවුන්ගේ සිත් සන්සුන් කොට සුවපත් කිරීමටත් ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථික හා සමාජයීය මට්ටම වැඩිදියුණු කිරීමටත් බලාපොරොත්තු වන බවයි.

මෙම වැඩසටහන යටතේ මුලතිව් දිස්ත්‍රික්කයේ විහාරස්ථාන 50කට වැසිකිළි පද්ධති ඇතුළු සනීපාරක්ෂක පහසුකම් සහ ගොඩනැඟිලි පහසුකම් ලබාදීමත් එකක් රුපියල් ලක්ෂ 5ක් බැගින් වියදම් කර ඉදිකරන ලද වගා ළිං 20ක් ජනතා අයිතියට පත් කිරීමත්, කෘෂි උපකරණ බෙදා දීමත් ජාතික සංහිඳියාව ඇති කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන දිස්ත්‍රික්කයේ සිංහල, දෙමළ, මුස්ලිම් ගැබිනි මාතාවන් 200 දෙනකු සඳහා අයකුට රුපියල් දස දහසක් වටිනා උපකරණ කට්ටලත්, උපාසක උපාසිකාවන් 200 දෙනකුට සිල් රෙදිත් පරිත්‍යාග කෙරිණි.

මෙහිදී සුනේත්‍රා දේවි පිරිවෙන් ශාසනික සමාජ සත්කාර පදනම සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ 62 වැනි බළ සේනාංකය මඟින් භික්ෂුන් වහන්සේ 200 නමකට දහවල් දානය පිළිගැන්වීය.

මෙම වැඩසටහන් මාලාව ආරම්භ වූයේ කිවිපති, ශාස්ත්‍රපති පන්නල ඤාණාලෝක ස්වාමීන් වහන්සේ පැවැත්වූ සුමධුර කවි බණකිනි.

ජාතික සංහිඳියාව හා ශාසනික සමාජ සංවර්ධනය ඇති කිරීමේ අරමුණින් සංවිධානය කර තිබූ මෙම වැඩසටහන පැවැත්වුණේ කොටි ත්‍රස්තවාදීන් විසින් සිංහල ගම්වාසීන් 20 දෙනකුට අධික පිරිසක් ඝාතනය කළ ස්ථානයකදී වීම විශේෂත්වයක් බව මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ මෙහිදී අවධාරණය කළහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon