එදා මම එතැන හිටියා නම් කතා කරන්නේත් ඒ විදියට තමයි

  👤  4082 readers have read this article !
By mawbima 2018-06-25

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සිරගත වීමට සිදු වූයේ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට තර්ජනය කිරීම නිසයි.උසාවියේ ඇයව ආමන්ත්‍රණය කළ ආකාරය අනුමත කරන්න පුළුවන්ද?

හාමුදුරුනමක් කියන්නේ ගමට ඉන්න ප්‍රධානියානේ. සමහරුන්ට දැඩි ස්වරයෙන්, සමහරුන්ට සරල ස්වරයෙන්, සමහරුන්ට උපේක්ෂා ස්වරයෙන් කතා කිරීම හාමුදුරුවන් වහන්සේලාගේ සිරිතක්. හැම හාමුදුරුනමකගේම න්‍යාය පත්‍රයේ තියෙන්නේ පළමුවැනි තැන රට, දෙවැනි තැන ජාතිය, ඉන්පස්සේ ආගමයි. රටට ජාතියට ආගමට විපත්තියක් වෙන ආකාරයට කිසියම් කෙනකු හැසිරෙනවා නම් ඔහුට හාමුදුරුවන් හොඳින් කියනවා. නැත්නම් තදින් කියනවා. ඒක හාමුදුරුවන්ගේ වගකීමක්. ඒක තර්ජනයක් නෙවෙයි. හාමුදුරු කෙනකු බැන්නා වගේ පෙනුණට එය බැනීමක් නෙවෙයි. රට ජාතිය ගැන තියෙන හැඟීම තමයි ඒ හාමුදුරුවන් පිට කරන්නේ. ඥානසාර හිමියන් විතරක් නෙවෙයි මම එතැන හිටියත් ඕක ඔහොමම තමයි.

එක්නැලිගොඩ මහත්මිය රටට, ජාතියට ද්‍රෝහි වුණා කියලද ඔබ වහන්සේ කියන්නේ?

එක්නැලිගොඩ මහත්තයාට කොටි ත්‍රස්තවාදීන් එක්ක සම්බන්ධකම් තිබුණා කියලා චෝදනාවක් තියෙනවා. කොටි ත්‍රස්තවාදීන්ට එරෙහිව වැඩ කළ අයට එරෙහිව තමයි, දෙමළ ඩයස්පෝරාවනේ, දැන් නැඟිටලා තියෙන්නේ. කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට එරෙහිවනේ මේ යහපාලන සෙට් එක කටයුතු කරන්නේ. යහපාලන කණ්ඩායමට වුවමනාව තියෙන්නේ මේ පොළොව, මේ කොඩිය, මේ ජාතිය නෙවෙයි. ඒ අයට ඕනෑ විදේශිකයන් සතුටු කරන්නයි. විදේශිකයන් සතුටු කිරීමේ කොන්ත්‍රාත් එක ඔවුන් කළා ඥානසාර හාමුදුරුවන් හිරේ දාලා. ඒ අය එහෙම සතුටු වුණා. මේ අපේ ජනතාව පෙළ ගැහිලා වෙනම පිලකට වැටුණා.

උසාවියට අපහාස කිරීම, බීමත්ව රිය පැවීම වැනි චෝදනාත් ඥානසාර හිමියන්ට මීට පෙර එල්ලවී තිබුණු චෝදනා. මේවාත් සැලසුම් සහගත ලෙස කළ චෝදනාවන්ද?

ඥානසාර හාමුදුරුවෝ කියන චරිතය ගැන මට වගකීමක් දරන්න බැහැ. මට කිසිම කෙනකුගේ චරිතය ගැන වගකීමක් පෞද්ගලිකව දරන්න බැහැ. නමුත් රටට එරෙහිව යන තැනක බැන වැදීම භික්ෂුවගේ කාර්යයක්. රට වෙනුවෙන් තනතුරු ප්‍රතික්ෂේප කිරීම, රට ජාතිය වෙනුවෙන් හිරගත වීමට පවා භික්ෂුවට සිදු වුණා. ඒක භික්ෂුවගේ භූමිකාවේ තියෙන එකක්. භික්ෂුවක් එහෙම කරන්නේ නැත්නම් තමයි ප්‍රශ්නය. රට ජාතිය විනාශ කරනකොට භික්ෂුවක් නැඟිටින්නේ නැත්නම් තමයි ජනතාව අහන්නේ ඇයි හාමුදුරුවන්ට කට නැද්ද කියලා.

තවත් බෞද්ධ හිමිවරුන් රැසක් මේ වන විට සිරගතව සිටිනවා. ඔවුන් ගැන මෙවැනි කතාබහක් ඇති වුණේ නෑ, ඥානසාර හිමියන්ට පමණක් මොකද්ද මේ වෙනසකියලා ඇතමකු ප්‍රශ්න කරනවා.

යහපාලන සෙට් එකේ අයනේ ඔය ප්‍රශ්නේ අහන්නේ. යහපාලන සෙට් එක උසාවිය ලියාගෙන කියන එකයි ඒකෙන් පේන්නේ. උසාවි තීන්දුවක් කියන්නේ කාටත් පොදු එකක්නේ. මේ සම්බන්ධයෙන් කවුරුත් කම්පා වෙනවා. ඒකෙන් පේනවා ලංකාවේ ජනතාව ප්‍රකෝප කිරීම, කොටි ඩයස්පෝරාව සතුටු කිරීම කොන්ත්‍රාත්තුවක් බව පේනවා.

ඇත්තටම ඒ විදිහට සිරගත කළ බෞද්ධ හිමිවරුන් පිළිබඳව කතා නොකළේ ඇයි?

වරද කියලා එකක් තියෙනවා. වරදේ ස්වභාවය කියලා එකක් තියෙනවා. කෙනකු වරද කරලා දඬුවමකට ලක්වුණාම එයා නිවැරැදිකරු කරන්න කවදාකවත් හාමුදුරුවරුන් නැඟිට්ටේ නෑ. වරදක් කළාම ඒ වරදේ හැටියට දඬුවම් විඳින්න ඕනෑ. හාමුදුරු කෙනකුගේ සිවුර කරේ තිබුණත් වරදක් කළොත් දඬුවම් විඳින්න ඕනෑ. භික්ෂු විනයේත් දඬුවම් තියෙනවා. දඬුවම පිළිබඳව නෙවෙයි මෙතන ප්‍රශ්නය. මෙතන චෝදනාව කාන්තාවකට බැන්නා කියන එකයි. මේ වගේ චෝදනා උසාවියට යන්නේ නෑ. පොලිසියෙන්ම විභාග කරලා ඉවර කරනවා. එහෙම නැත්නම් සමථ මණ්ඩලයට දානවා. එහෙම නඩුවක් මේක. මේකේ වුවමනාව විදේශීය රාජ්‍ය නොවන සංවිධානවල කොන්ත්‍රාත්කාරයන්ගෙයි. ඒ කොන්ත්‍රාත්කාරයන්ට ඕන කරලා තිබෙනවා හාමුදුරුවරුන් බැඳ දාන්න, භික්ෂුව හතුරෙක් කියලා හිතාගෙන. යහපාලන සෙට් එක එහෙමයි කරන්නේ. ජනාධිපති මේ දවස්වල පන්සල්වල පින්කම්වලට ගියාට එයා බෞද්ධ වුණාට එයාට ඕන හැටියට දැන් හැසිරෙන්න බෑ. එයා දැන් වෙන කෙනෙක්ගේ හිරකාරයෙක් වෙලා. ඒ නිසා භික්ෂුව බැඳ දැමීමේ පළමුවැනි පියවර තමා මේක. මෙතැන තියෙන්නේ ඥානසාර හාමුදුරුවන් හිරේ දැම්මා කියන එක නෙවෙයි. මේක රණවිරුවන් පාවාදීමට විරුද්ධව රාජ්‍ය නොවන සංවිධානවලට එරෙහිව හාමුදුරුවෝ බැන වැදීමක් මේ කළේ. තොගේ මිනිහා කොටියෙක් කියන එක කීවේ. ඒක උසාවි යන සිදුවීමක් නෙවෙයි. මේක උසාවියට අරන් ගියේ විදේශීය කුමන්ත්‍රණයක් නිසා. මේ අයට ඕන අලුත් ව්‍යවස්ථාවක් හදන්න. ඒකටයි මේ අත පෙව්වේ.

බෞද්ධ හිමිවරුන් සම්බන්ධ වෙනම උසාවියක් ගෙන ඒමේ යෝජනාවක් ආණ්ඩුව ඉදිරිපත් වෙලා තියෙනවා?

පිස්සන්ගේ පිස්සු කතාවලට උත්තර දෙන්න ඕන නෑනේ. බුදු බණේ කියන්නේ පැමිණි වේදනාවට විසඳුමක් හොයන්න කියන එක. පැමිණි ප්‍රශ්නයට විසඳුම් දෙනවා කියන්නේ හාමුදුරුවන්ට උසාවි දැමීම නෙවෙයිනේ. ඒක දීර්ඝ කාලීන එකක්. දීර්ඝ කාලීනව කරන්න යහපාලන සෙට් එක 2020න් පස්සේ ඉඳියිද? ඔය මිනිස්සු හොයන්න හම්බ වෙයිද?ඥානසාර හාමුදුරුවෝ ගෑනියකුට බැන්නා කියලා හිරේදැම්මා කියන අපවාදෙන් යහපාලන සෙට් එකට මිදෙන්න බෑ. ඒ අය හිතුවේ නෑ මේක මේ තරම් සිදුවීමක් වෙයි කියලා. නමුත් අද රටම මේකට කම්පා වෙනවා. ඥානසාර හාමුදුරුවන්ට බැනපු මිනිස්සු පවා අද ඥානසාර හාමුදුරුවන්ගේ පැත්තට එකතු වෙලා. හිරේට ගිය ඥානසාර හාමුදුරුවෝ නෙවෙයි හිරෙන් එන්නේ. හිරගත කිරීමෙන් කළේ ජනමතය වෙන පැත්තට හැරවීමක්. මේ සියල්ල බලපානවා ආණ්ඩුවට.

බෞද්ධ හිමිනමකගේ සිවුර ඉවත් කළා කියලා භික්ෂූත්වය අහිමි වෙනවාද කියන කාරණය පැහැදිලි කළොත්?

බුද්ධාගමේ උගන්වන සියල්ල චේතනාවත් එක්කනේ තියෙන්නේ. සිවුර කියන්නේ භෞතික සාධකයක්. සිවුර නැතත් ප්‍රතිපත්ති රකින උතුම් මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. සිවුර තියාගෙනත් ප්‍රතිපත්ති නොරකින අය ඉන්න පුළුවන්. කිසියම් කෙනෙක් තමන්ගේ අකැමැත්තෙන් බලෙන් සිවුර ගත්තොතින් වෙනම සංඝ සභාවක තීන්දුවකට එන්න වෙනවා භික්ෂූත්වය අහිමි වෙනවාද නැද්ද කියන එක ගැන. පොහොය සීමාවකදී ගත යුතු තීන්දුවක් ඒක. ඥානසාර හාමුදුරුවන්ටත් ඒ තීන්දුව උරුමයි.

භික්ෂුවකගේ මේ වගේ හැසිරීමකදී සංඝාධිකරණවලින් තීන්දුවක් ගන්න බැරිද?

ශාසනික වශයෙන් විනය නීති තිබෙනවා. සිරගෙය ඉංග්‍රීසීන් හදපු එකක්. භික්ෂූන් වහන්සේ නමක් හිරේට නියම වුණාම ඒ තුළ සිවුරෙන් හිටියේ. සුද්දගේ කොඩිය ගලවපු වාරියපොළ සුමංගල හිමියන්ගේ සිවුර සුද්දවත් ගැලෙව්වේ නෑ. නමුත් විෂමාචාරවල යෙදිලා හිරේට ගිය අයගේ සිවුර ගලවන්න එපා කියලා අපට කියන්න බෑ. මේ වගේ කාර්යන්වලදී සිවුර ගලවන කෙනා බරපතළ අකුසලයක් කරගන්නේ. උසාවියට බෑ කෙනක් මහණ කරවන්න හෝ සිවුර ගලවන්න. උසාවිය පවා පිළිගන්නවා ශාසනික ප්‍රතිපදාව.

මේ ගැන සමාජ කතිකාවතක් ඇති කරන්න ඕනෑ. බුදු දහම ප්‍රමුඛ කරගත් ව්‍යවස්ථාවක් කියලානේ කියන්නේ. අද වෙනකම් ඒවා සකස් වෙලා නෑ. ඒවා සකස් කිරීමට වේදිකාවක් ගොඩනැඟුණේ මේ සිදුවීමෙන්.

ඒ වගේම කරන කිසිම යහපත් වැඩක ලකුණු ගන්න තරම් යහපාලන ආණ්ඩුව දක්ෂ වුණේ නෑ. ඒවා සියල්ලම අනිත් පැත්තට ලකුණු හැටියට වැටුණා. මේක හාමුදුරුවන්ට පෞද්ගලික ලාබ ගන්න කළ දෙයක් නෙවෙයි. රණවිරුවන් වෙනුවෙනුයි මේක කළේ.

මේ තීන්දු අරගෙන තිබෙන්නේ රටේ පොදු නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නේද?

තීන්දුවක් දුන්විට ඒ ගැන කතා කළහම ප්‍රශ්නයක් වෙනවා. මේක උසාවි දාන ප්‍රශ්නයක් නෙවෙයි. ඇප ඉල්ලුම්පතත් ප්‍රතික්ෂේප කර හිරේටම දැම්මේ කවුරු සතුටු කරන්නද?

උසාවියෙන් දෙන තීන්දුවකින් උසාවියට හෝ මේ පොළොවට හෝ යුක්තිය සාධාරණයට යහපතක් වෙන්න ඕනෑ. සතුට ලබන්නේ දෙමළ ඩයස්පෝරාව කියලයි මිනිස්සු කියන්නේ. දැන් ප්‍රශ්නයට දුන් විසඳුම නේද ප්‍රශ්නය වෙලා තියෙන්නේ.

කුමන්ත්‍රණකාරයන්ගේ වැඩ නිසා බෞද්ධ ශාසනය විනාශ වෙනවා කියනවා. භික්ෂූන් වහන්සේලාගේ හැසිරීමත් ශාසනය පරිහානියට ලක්වීමට හේතු වෙන්නේ නැද්ද?

ඔබ කියන භික්ෂුව වාරියපොළ සුමංගල හාමුදුරුවන්ද? බලන්ගොඩ ආනන්ද මෛත්‍රි හාමුදුරුවන්ද? උඩකැන්දන්වල සරණංකර හාමුදුරුවන්ද? මේ විවිධ චරිත තිබූ අයයි. එක එක්කෙනා එක එක දේශපාලන මතවල ඉඳගෙන පෞද්ගලික වාසි තකා වැඩ කරනවා. භික්ෂුවට පෞද්ගලික අරමුණු නෑ. ඉතිහාසයේ ඉඳන්ම භික්ෂුව වැඩ කළේ රට වෙනුවෙන්.

ජාතිය, ආගම ඊළඟට තමයි උන්වහන්සේලාට වැදගත් වුණේ. ආගම අතහැර යුද්ධෙට ගිය භික්ෂූන් තමයි ලංකාවේ හිටියේ. බෞද්ධ සංස්කෘතිය, බෞද්ධ ශිෂ්ටාචාරය, බුද්ධ ධර්මය, බුද්ධ දර්ශනය නොදන්නා අය කරන කතාවලින් පලක් නෑ.

සංවාදය - රසිකා හේමමාලි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon