උ/නැ. හමුදා කඳවුරු ඉවත් කරන කතාව ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක

  👤  4024 readers have read this article !
By mawbima 2018-06-25

චාමර අමරසූරිය

උතුර සහ නැඟෙනහිර පළාත්වල යුද හමුදා කඳවුරු ඉවත්කරන බවට හා යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සංඛ්‍යාව අඩු කරන බවට අඟවා මහජනතාව තුළ අවුල් සහගත තත්ත්වයක් ඇති කොට ඔවුන් නොමඟ යැවීමට උත්සාහ කරමින් ඇතැම් දේශපාලනඥයන් විසින් සිදුකරනු ලබන ප්‍රකාශ හේතුවෙන් රටේ ජාතික ආරක්‍ෂාව තර්ජනයකට ලක්වී ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බි්‍රගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කරයි.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව අවධාරණය කරයි.

එම නිවේදනයෙහි වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

"උතුර සහ නැඟෙනහිර පළාත්වල යුද්ධ හමුදා ක½දවුරු ඉවත් කරන බවට හා යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සංඛ්‍යාව අඩු කරන බවට, මහජනතාව අවුල් සහගත වන ලෙස නොමඟ යැවීමට උත්සාහ කරමින් ඇතැම් දේශපාලනඥයන් විසින් සිදු කරනු ලබන ප්‍රකාශ හේතුවෙන් රටේ ජාතික ආරක්‍ෂාව තර්ජනයට ලක්කර ඇත.

ඇතැම් පුද්ගලයන් ඔවුන් රටේ සන්නද්ධ හමුදාවන්හි සාමාජිකයන්ට වඩා දේශප්‍රේමීන් බව පෙන්වීමට කටයුතු කරන අතර අසත්‍ය ප්‍රකාශ කරමින් ඔවුන් පෙන්වීමට උත්සාහ කරන ආකාරයේ කිසිදු ක්‍රියාමාර්ගයක් යුද්ධ හමුදාව මේ වන විට ක්‍රියාත්මක කිරීමට අදහස් කර නැත. එබැවින් එම ප්‍රකාශය ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තරයේ ප්‍රතික්‍ෂේප කරනු ලබයි.

උතුර නැඟෙනහිර පළාත්වල පිහිටි කිසිදු කඳවුරක් ඉවත් කිරීමකින් තොරව යුද්ධ හමුදා සාමාජිකයන් ඒකාබද්ධ වෙමින් අනාගතයේදී ඕනෑම අභියෝගයකට මුහුණදීමට හැකිවන අයුරින් මූලෝපායික හා මෙහෙයුම් මට්ටමින් සෑමවිටම සිය කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට කැපවී සිටී.

මෙහි සැබෑ සත්‍යය නම්, සිවිල් සමාජයේ බොහෝ පිරිසකට යුද්ධ හමුදාව තුළ ව්‍යවහාරයේ යෙදෙන ඒකාබද්ධ කිරීම/ සටන්කාමී කාර්යක්ෂමතාව වැනි ඇතැම් කරුණු පිළිබඳ අවබෝධයක් නැත. එසේම යුද්ධ හමුදාවේ වාර්ෂිකව බඳවා ගැනීමේ සැලසුම අනුව 2018 වසරේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බළසේනාවට නිලධාරීන් 213ක් හා සෙසු නිලයන් 8631ක්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බළසේනාවට නිලධාරීන් 97ක් හා සෙසු නිලයන් 4252ක් බඳවා ගැනීමට සැලසුම් කර ඇත.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වසර ගණනාවකට පසුව මවුබිමට සාමය ගෙන එමින් ප්‍රීතිමත් කාල පරිච්ඡේදයක් උදාකරදුන් අතර, රටේ ජාතික ආරක්‍ෂාව සුරක්ෂිත කිරීම සඳහා අන් කවරකුටත් වඩා දිවිහිමියෙන් කැපවී සිටියි. එබැවින් යුද්ධ හමුදාව පිළිබඳ ප්‍රසිද්ධියේ සමච්චල් කරමින් බොරු ප්‍රචාර හා ව්‍යාජ තොරතුරු ලබාදෙමින් මහජනතාව නොමඟ යැවීමට උත්සාහ නොකරන ලෙස සියලු දේශප්‍රේමීන්ගෙන් ඉල්ලා සිටිමි."

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon