එළවළු මිල වැඩි කරන මාෆියාව මෙන්න

  👤  3630 readers have read this article !
By mawbima 2018-07-11

අපේ රටේ එළවළු කොපමණ වගා කළත් ඒවා නිසි ලෙස කළමනාකරණයට ලක්වන්නේ නැත. එසේ කළමනාකරණය වූයේ නම් රටවටා එළවළු නිසි ලෙස බෙදී යා යුතුය. එළවළුවල මේ තරම් මිල ඉහළ නොයනු ඇත.

පසුගිය දිනවල අධික වර්ෂාව හේතුවෙන් එළවළු වගා කළ බිම් ජලයෙන් යටවීම නිසා එළවළු මිල වැඩි වූයේ යැයි වෙළෙන්දෝ කියති. අපද එය පිළිගන්නේ ඇත්ත යැයි සිතමිනි. එහෙත් එළවළු මිල වැඩි වන්නේ මේ හේතු නිසාමද? අපි ඒ ගැන සෙවීමට දඹුල්ලට පසුගිය දිනෙක ගියෙමු.

එළවළු මිල වැඩිවීමට බලපාන එක් සාධකයක් ලෙස පැවැති වර්ෂාවද පෙන්වා දිය හැකිය. එහෙත් අධික ලෙස එළවළු මිල වැඩිවන්නේ වැස්ස නිසාම නොවේ. ඒ පිටුපස ඇත්තේ වෙනම මාෆියාවකි. මේ මාෆියාව රටේම එළවළු මිල පාලනය කිරීමට උත්සාහ කරයි. ඒ උත්සාහයේ ප්‍රතිඵලය නිසා අද වන විට එළවළු මිල අධික ලෙස ඉහළ ගොස් ඇත.
දඹුල්ල ආර්ථිකයට අප ගිය විටද මේ මාෆියාවේ අයගෙන් තර්ජන ගර්ජනද ආවේය.

"ඇයි මහත්තයා ෆොටෝ ගන්නේ පත්තරේ දාන්නද? පත්තරේ ෆොටෝ දාන්න එපා" එක් අයෙක් කීවේ තර්ජනාත්මකවය. ඔහුට නොදැනෙන්න අප ඔහු පසුපස ගියේ ඔහු දඹුල්ල ආර්ථිකය තුළ කරන වැඩේ සොයා ගැනීමටය.

නුවරඑළිය, ගලේවෙල, පොළොන්නරුව, හබරණ, ත්‍රිකුණාමලය, මාතලේ ආදී ප්‍රදේශවලින් දඹුල්ලට එළවළු ගෙන එයි. මේ එළවළු ගෙන එන අයගෙන් බොහෝ දෙනෙක් ගොවීන්ගෙන් එළවළු එකතු කරගෙන ආර්ථික මධ්‍යස්ථානයට ගෙන එන මුදලාලිලාය. අනෙක් පැත්තෙන් එළවළු වගා කරන ගොවියෝද එළවළු ලොරියක පටවාගෙන විත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු දීමට පෝලිමේ බලා සිටිති.

එහෙත් මේ අයගෙන් වැඩ මිලක් ඇති එළවළු ගන්නේ පොරකාගෙනය. කැරට්, බීට්, ලීක්ස්, බෝංචි කිලෝවක තොග මිල රුපියල් 150-200 අතරය. තොග මිල 150-200 වන විට මේ එළවළු මීගොඩ ආර්ථිකයට එන විට කිලෝව 400ක් පමණ වෙයි. ලොරි කුලිය පැටවුම් කුලිය ලෙස මිල වැඩි යැයි හැඳින්වුවත් අමතර රුපියල් 200 වාසිය ගන්නේ අතරමැදියාය. මේ හැමදේම ඔහු කරන්නේ කිසිදු මහන්සියකින් තොරවය. ඔහු අත ඇත්තේ පෑනක් සහ කුඩා පොතක් පමණි

දඹුල්ල ආර්ථිකයට එන ලොරිවලින් ඔහුට අවශ්‍ය එළවළු ටික තෝරාගනී. එළවළු ගෙන ආ ගොවීන් හෝ එළවළු මුදලාලිලාගේ මිල ඔහු අසයි. කැරට් කිලෝව රුපියල් 180 යැයි කීවොත් ඔහු එම ගණන හෙට්ටු කරයි. ඒ හෙට්ටු කිරීම මත රුපියල් 5ක් අඩු වුවත් එය ඔහුට වාසියකි. තමන්ගේ මිලට එළවළු ටික ආවේ නම් ලොරියෙන් තමන්ට අවශ්‍ය එළවළු කෑලි 5-6ක් ඔහු මිලට ගනී.

ඊට පසු ඔහු කඩේට යයි. ඔහුගේ ගණන කිලෝවකින් රුපියල් 5 තියාගෙන එළවළු ටික කඩවලට ලබාදෙයි. එසේ නැත්නම් පිට පළාත්වලින් එළවළු ගෙන යෑමට පැමිණි අයට දෙයි. එළවළු ගෙන යෑමට ආ අයට කෙළින්ම එළවළු ගෙන එන අය හා සම්බන්ධවීමට මේ තැරැව්කරුවන් දෙන්නේ නැත. ඒ තරමට මේ මාෆියාව ක්‍රියාත්මක වෙයි. මොවුන්ගෙන් එළවළු මිලදී ගන්නා අය එම රුපියල් පහද අල්ලා තම ලාභය තියාගෙන එළවළු අවශ්‍ය අයට ලබාදෙයි. සමහර විටෙක ඒ මිලට එළවළු ගැනීමට එන්නේ පිට පළාත්වල ඉන්නා තැරැව්කරුවෙකි. එවිට ඔහුද තව ගණනක් තියාගෙන එළවළු මිල නියම කරයි.

කොළඹ මැනින් වෙළෙඳපොළට හෝ මීගොඩ ආර්ථිකයට එන විට දඹුල්ලට වඩා එළවළු මිල දෙගුණයක් වී හමාරය. කොළඹදී එළවළු කඩවලින් අප ග්‍රෑම් 250-500 මිලදී ගන්නට යන මිල දඹුල්ලේදී එම එළවළුවේ කිලෝවක තොග මිලය. දඹුල්ලෙන් මිලදී ගන්නා එළවළු කිලෝවක මිල කොළඹට එද්දී 3-4 ගුණයකින් ඉහළ ගොස් ඇත.

එළවළු මිලේ මේ වාසිය ගන්නේ අතරමැදියාය. මෙය දඹුල්ල ආර්ථිකයේ වන ක්‍රියාදාමයක් පමණක් නොව. රට වටා ඇති සියලු ආර්ථික මධ්‍යස්ථාන ඇතුළේ සිදුවන ක්‍රියාවකි.
බොහෝ විට කොළඹට එළවළු ගෙන එන්නේ මේ මාෆියාවේ අයයි. ඔවුන් මේ සියලු කාර්යයන් කරන්නේ දුරකථනයෙනි. කොළඹට අවශ්‍ය එළවළු ප්‍රමාණය ඔවුන් දනී. එළවළු මිල වැඩිකොට තම වාසිය ගැනීමට ඔවුන්ට අවශ්‍ය නම් එම එළවළු ඩිමාන්ඩ් කිරීමට ඔවුන්ට පුළුවන. 'මට එළවළු කෑලි මෙච්චර ඕනෑ' ඔහු කියන්නේ දඹුල්ලේ සිටින තැරැව්කරුටය. දඹුල්ලේ තැරැව්කරු අවශ්‍ය එළවළු තොග මිලක් නියම කරගෙන කොළඹට පටවයි. එවිට කොළඹ එළවළු මිල නියම වෙයි.

එළවළු මාෆියාවේ සිටින මේ අය නිසා රටේ එළවළු මිල වැඩි කිරීමට ඉඩදී බලා සිටින වගකිවයුතු අයද සිටිති.
එළවළු වවන ගොවියාට මේ වාසිය නැත. තොග වෙළෙන්දන් එළවළු ගොවියාගෙන් එළවළු ටික මිලට ගන්නේ කුණු කොල්ලයටය. අපට දැන ගන්නට ලැබුණු ආකාරයට නුවරඑළියේ ගොවීන්ගෙන් කැරට්, ලීක්ස් කිලෝව මිලට ගන්නේ රුපියල් 80-100 මිලකටය. එය දඹුල්ලට එන විට රුපියල් 200කි. කොළඹට එනවිට 400කි.

අතරමැදිකරුවන්ට හසු නොවී එළවළු දඹුල්ලට කෙළින්ම විකිණීමට එන ගොවීන්ගේ එළවළුවලට මිලක් නියම වන්නේ නැත. සමහර වේලාවට පාන්දර 5.30 සිට සවස් වනතුරු සිටියත් ඔවුන්ට විකුණා ගත හැකි වන්නේ එළවළු කෑලි 2-3කි. එසේ කිරීමට පෙර මේ තැරැව්කරුවෝ එක් එක් අය යොදා මිල හෙට්ටු කිරීමද කරති. ඊට එකඟ වුවහොත් ලොරියේ එළවළු ටික විකුණා ගත හැකිය. නැත්නම් ගොවියාට සිදුවන්නේ එළවළු ටිකද රැගෙන ආපසු යෑමටය.

අප ගිය දිනයේ දඹුල්ලේ එළවළු තොග මිල ගණන් යටතේ වට්ටක්කා කිලෝව රුපියල් 10කි. කැකිරි රුපියල් 5-10අතරය. ඩුබායි වට්ටක්කා රුපියල් 8කි. රතු ලූනු කිලෝව 80කි. අඹ රුපියල් 20කි. මුකුණුවැන්න මිටි 1ක් රුපියල් 10කි. ගස්ලබු කිලෝව රු. 60කි. කොමඩු කිලෝව රුපියල් 60කි. බඩ ඉරිඟු කරලක් රුපියල් 12කි. ඇඹුල් කෙසෙල් කිලෝව රුපියල් 20-25කි. වැටකොළු කිලෝව රුපියල් 50කි. මෑ කරල් කිලෝව රුපියල් 40කි. කැරට් කිලෝව 180-200කි. ලීක්ස් කිලෝව රුපියල් 200 - 220කි. පොල් රුපියල් 40-60ය. අන්නාසි කිලෝව රුපියල් 40කි.

මේ එළවළු කොළඹට සහ පිට පළාත්වලට යෑමේදී මිල දෙගුණ වන්නේ ඒවා බෙදාහැරීම ගැන නිසි කළමනාකාරිත්වයක් පාලකයන්ට නැති හෙයිනි.
මීට සති කිහිපයකට පෙර දඹුල්ලේ එළවළු මිල අඩු වී එළවළු කුණු වී විසි කළේය. දැන් එළවළු මිල වැඩි වී ඇත. එළවළු මිලේ වැඩිවීම ගොවියාටද නැත. එළවළු මිල වැඩිවීම මත පාරිභෝගිකයන් වැඩි මිලක් ගෙවන්නේ අතරමැදියාටය. අප දඹුල්ල ආර්ථිකයට යන විටත් තැන් තැන්වල එළවළු විකුණාගත නොහැකිව විසිකර තිබිණි. කෙසෙල් කැන් පිටින් තැන තැන කුණු වීමට ඉඩහැර තිබිණි. එළවළු ගෙන ආ ගොවීහු තම බලාපොරොත්තු සුන් වී හූල්ලති.

එහෙත් අන්තිමට එළවළු මිලේ වාසිය යන්නේ අතරමැදියාටය. අප කියූ කාරණාවලට උදාහරණද අප සතුය. අපට හමු වූ එක් ගොවියෙක් සිටියේය. ඔහු නමින් අජිත්ය. උදේ පාන්දර 5.30ට කුලියට ගත් ලොරි රථයකින් වට්ටක්කා කෑලි 22ක් ගෙනැවිත් තිබුණේ විකුණා ගැනීමටය. වට්ටක්කා එක් කෑල්ලක් යනු කිලෝ 80ක ගෝනියකි. ඔහු සතුව වට්ටක්කා කිලෝ 1,760කි. මේ ඔහුගේ වට්ටක්කා වවා ඇති අක්කර දෙකහමාරෙන් තුනෙන් එකකි. අක්කර දෙකහමාරක් වට්ටක්කා හැදීමට ඔහුට රුපියල් 1,40,000ක මුදලක් වැය වී තිබිණි. ඉන් වට්ටක්කා කිලෝ 5,000-7,000ක පලදාවක් ඔහුට ලැබෙයි.

එහෙත් ඔහු දඹුල්ලට උදේ 5.30ට ආවත් සවස 5.30 වන විට විකුණා ගත හැකි වූයේ වට්ටක්කා කෑලි 2කි. එනම් කිලෝ 160කි. ඒ වට්ටක්කා කිලෝව රුපියල් 10 ගණනේය.

මුකුණුවැන්න පටවාගෙන විත් තිබූ ලොරි රථයේ ගොවියාගේ ඉරණමද එසේ විය.

රට වටා එළවළු ඕනෑ තරම් තිබේ. වර්ෂාව නිසා බොහෝ ප්‍රදේශ ජලයෙන් යට වූ බව ඇත්තකි. එහෙත් යාපනයේ ඕනෑම එළවළුවක් දැන් වවයි. කැරට්, බීට්, ලීක්ස්, බෝග වවයි. මේවායේ පලදාවද වෙළෙඳපොළට පැමිණෙයි. නමුත් නිසි ලෙස බෙදා හැරීමට ඉඩ නොදීම මත එළවළු මිල වැඩි වී තිබේ. කෘෂිකර්ම අමාත්‍යාංශය, පාරිභෝගික කටයුතු අමාත්‍යාංශය එක්ව රටේ එළවළු නිසි ලෙස බෙදා හැරීමේ වැඩපිළිවෙළක් සැකසුවේ නම් එළවළු මිල මේ තරම් වැඩි වන්නේ නැත.

එහෙත් අමාත්‍යාංශ නිලධාරීන් තම රාජකාරිය ඉටු නොකර සිටීමෙන් එළවළු මාෆියාවේ යෙදෙන අයට එළවළු මිල පාලනය කිරීමට හැකිව තිබේ. ඔවුන් වැස්සත් එළවළු මිල වැඩි කරයි. දැඩි නියඟය තිබ්බත් එළවළු මිල පාලනය කරයි. මේ නිසා රටපුරා එළවළු මිල වැඩි වෙයි. වැසි කාලයට තද පෑවිල්ලට එළවළු පලදාව අඩුවිය හැකිය. එය සාමාන්‍ය දෙයකි. එහෙත් එසේ කියා එළවළු මිල මේ තරම් වැඩිවීමට කිසිසේත්ම නොහැකිය. එළවළු මාෆියාවේ යෙදෙන ඇතැම් අය තමන්ට ලැබෙන මුදලින් ආරක්ෂක අංශවල අයට, දියවන්නාවේ අයටද කොටස් ලබාදෙන බවටද තොරතුරු තිබේ. දියවන්නාව නියෝජනය කරන ප්‍රබල ඇමැතිවරයකුට ආර්ථික මධ්‍යස්ථානවලින් විකිණෙන සෑම එළවළු කිලෝවකින්ම ශත 50ක් තවමත් ලැබෙන බවද වාර්තා වෙයි. මෙවැනි කාරණා නිසා එළවළු මිල වැඩි වෙනවා මිස ස්වාභාවික හේතු පෙන්නා මේ තරම් එළවළු මිල වැඩි වීමක් ඇත්තෙන්ම සිදුනොවේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon